සටහන - බිඟුන් මේනක ගමගේ

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු බිහි වී ඇතැයි යන දේශපාලන සංවාදය තිබෙන්නේ දැන් කලෙක පටන්ය. මේ තර්කය ඇත්ත නම් ඒ ඒකාධිපතියාට ව්‍යවස්ථාදායකය හා රාජ්‍ය පරිපාලන කටයුතු තමන්ට රිසි සේ හැසිරවීමට හැකි විය යුතුය. එහෙත් එවැනි හැකියාවක් ජනාධිපතිවරයාට නැති බව දැනටම අපට ඇස් පනාපිට පැහැදිලි වී තිබේ. ඊට හොඳම උදාහරණ තුනක් දක්වන්නට හැකිය. ආසන්නතම උදාහරණය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්නට නොහැකි වීමය. 

දෙවැන්න 2001-2004 පාලන කාලයේ දී විධායක ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කරකියාගත නොහැකි තැනට වැටීමය. පාර්ලිමේන්තු බලය පක්ෂයෙන් ගිලිහී ගිය අවස්ථාවේ ඇය පත් වූයේ මහත් දුෂ්කර අඩියකට ය. රාජ්‍ය නායිකාව මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඇයට වුණේ සිදුවන දේ බලාගෙන සිටින්නට ය. එහෙත් එක්සත් ජාතික පක්ෂය අත්තනෝමතිකත්වයේ උපරිමයට පිවිසෙද්දී සිය බලතල පාවිච්චි කරන්නට ජනාධිපතිනිය කටයුතු කළාය. ඇය පාවිච්චි කළේ අමාත්‍යාංශ පවරා ගැනීමට හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබූ බලයයි. රට එදා යමින් තිබූ විනාශකාරී මාවතෙන් හරි පීල්ලට ගන්නට හැකි වුණේ ඒ ජනාධිපති බලතල නිසා ය. එහෙත් එම බලතල වුවද කුමාරණතුංග ජනාධිපතිනියට පාවිච්චි කිරීමට හැකි වූයේ අතිසරල මඟකින් නොවේ. තෙවැන්න විධායක ජනපති ධුරයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීන්දු තීරණ ගත් ආකාරයයි. බලය උපරිමයෙන් තිබූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවා තමාට පාර්ලිමේන්තු බලය නොමැතිව විධායක ජනපති බලතල පාවිච්චි කිරීම පහසු නැති බව තේරුම්ගෙන සිටියේය. ඊට හොඳම උදාහරණය පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගත් ජනමත විචාරණයයි. තම තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය ගැන දැඩි විශ්වාසයක ඔහු පිහිටා සිටියේ නම් එවැනි ජනමත විචාරණයකට යන්නේ නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආඥාදායකයකු බිහිව සිටියේ නම් එවැනි වැඩවලට යන්නට කිසිම අවශ්‍යතාවක් නැත. යම්කිසි හේතුවක් මත කිසිවකු ජනාධිපතිවරයාට දී ඇති බලතල වැඩි යැයි කියන්නේ නම් එම අත්තනෝමතික බලතල ඉවත් කිරීම ගැන මගේ විරෝධයක් නැත. නොකළ යුත්තේ දරුවා නැහැ වූ වතුර සමඟ දරුවා ද වීසි කිරීමය.

මේ රටේ සියලු ප්‍රශ්නවලට මුල විධායක ජනාධිපති ධුරය යැයි කියා අනියත බියක් නිර්මාණය කර ඊට බිල්ලකුගේ ස්වරූපයක් ආරෝපණය වීමට මෙරට පැවැති දේශපාලන සංවාදය ද බලපා තිබේ. පසුගිය කාලයේ ජනමාධ්‍ය හරහා සිදුකළ සමීක්ෂණවලින් ද එය පැහැදිලිය. මේ කතාව කියන ඇතැමුන්ට ඒ ගැන කිසිදු වැටහීමක් නැත. ඇතැමුන්ට නම් දීර්ඝකාලීන අරමුණු ඇත. තවත් අයකුට ඇත්තේ පෞද්ගලික කාරණාය. කෙසේ වුවද බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ධුරය එපා යැයි කියන්නේ කිසිදු ගැඹුරක් ඇතිව නොවේ. හරියට අන්තර්ගතය කුමක්දැයි නොදැන මතුරන ආගමක ශ්ලෝකයක් මෙනි. මන්තරයක් මෙනි. අඩු වශයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයෙන් පසු මේ විධායක ජනාධිපති විරෝධී මන්තරය මේ රටේ මතුරන්නේ වසර තිහක් තිස්සේය. එවැනි මන්තරයකට සමාජ පසුබිම සැකැසුණේ විධායක ජනාධිපති ධුරය බිහි වීමෙන් පසු ගත වූ කාලයේ දී විවිධ ආණ්ඩු රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය කළ ස්වරූපය නිසාය. 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය බලයට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නෙමැයි ප්‍රතිඥා දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාත් එයම කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පොදු අපේක්ෂකයා හැටියට තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව කීවේය. මේ සියලු පොරොන්දු දුන්නේ විධායක ජනාධිපති ධුරය ගැන තිබුණු බිල්ලා මුහුණුවර පදනම් කරගෙනය. එහෙත් මේ කිසිවෙක් 1978 ට පෙර සිදු වූ ව්‍යසනවලට හේතුවත් විධායක ජනාධිපති ධුරය දැයි ප්‍රශ්න කෙරුවේ නැත.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ නායකත්වයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වුණේ 1970 දීය. ජනවරම ලැබුණේ පස් අවුරුදු ආණ්ඩුවකට වුවත් 1972 දී ගෙන ආ පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් ඇය අර්ථකථනය කරගත්තේ තවත් අවුරුදු පහකට ආණ්ඩු බලය අභ්‍යාස කළ හැකි බවටය. මේ නිසා 1975 පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය වසර දෙකකින් කල්දමා ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කටයුතු කළාය. යම් හෙයකින් නව ව්‍යවස්ථා සම්පාදනය 1975 දී සිදුවුණේ නම් ඊළඟ මැතිවරණය තවත් අවුරුදු පහකින් පස්සට ඉඩ නොතිබුණේ ද? එදා ඇයට මේ තීන්දු ගන්නට විධායක ජනාධිපති බලයක් තිබුණේ නැත. තිබුණේ පාර්ලිමේන්තු බලයය. එවිට රාජ්‍ය පාලකයකුට අත්තනෝමතිකව හැසිරීමට විධායක ජනාධිපති ධුරයක් අවශ්‍යය යන තර්කය එතැනම බිඳ වැටේ. සැබැවින්ම විමසා බැලුවොත් සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ පාලන කාලවල දී විධායක ජනාධිපති ධුරයක් මෙන්ම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබුණු බව පැහැදිලිය. සිරිමාවෝ මැතිනියටත් මහින්ද රාජපක්ෂ මහතාටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙද්දී ජේ.ආර්. ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් තිබුණේය. අප විමසිය යුත්තේ අත්තනෝමතික වැඩ කළේ විධායක ජනාධිපති ධුරය පාවිච්චි කරලා ද පාර්ලිමේන්තුවේ බහුතර බලය පාවිච්චි කරලා ද යන්නය.

මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ 18 වැනි සංශෝධනය ගැන විවිධ දේශපාලන මත තිබේ. මගේ පෞද්ගලික විශ්වාසය නම් යමකු ජනාධිපති ධුරයේ කොපමණ කාලයක් සිටිය යුතු ද යන්න තීරණය කිරීමේ අයිතිය මහජනතාව සතුවන බවය. එය රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කළ යුතු නැත. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු කොරියාවේ පාක් චුන් ඊ වැනි ජනප්‍රිය නායකයකුට සෞඛ්‍යසම්පන්නභාවයත් බුද්ධියත් ජනතා කැමැත්තත් තිබේ නම් ඔහුගේ නායකත්වය වසර ගණනකට සීමා කරන්නේ ඇයි? ඔහුගේ පාලනය රටේ අනාගතයට සුබවාදී නම් තවත් කාලයකට ඔහු ධුරය දැරිය යුතුය. ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය වාර දෙකකට සීමා කළේය. රාජ්‍ය නායකත්වයට පත්වන විටත් වයස අවුරුදු හැත්තෑවේ කඩඉම පසුකර සිටි ඔහු එය කළේ තම වයස ගැන සිතාය. මගේ කතාවට ඉදිරිපත් කළ හැකි ජීවමාන ජාත්‍යන්තර සාක්ෂිය නම් මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. එහිදී වැදගත් වන්නේ ඔහු දරන්නේ ජනාධිපති ධුරයක් ද අගමැති ධුරයක් ද යන්න නොවේ.

වයස අවුරුදු අනූවේදීත් මැලේසියානුවන්ට මහතීර් මොහොමඩ් අත්‍යවශ්‍ය නායකයකු වීමය. අප මේ කතා කරන්නේ මහජනතාවගේ කැමැත්ත අනුව රට පාලනය කිරීමේ මූලධර්මය නම් මහජන කැමැත්ත ඇති නායකයා දෙවතාවක් නොව පස් වතාවක් ධුරය දැරුව ද ඇති වරද කිම? මා නම් සිතන්නේ ජනාධිපති ධුරය වාර දෙකකට සීමා කිරීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුර්වලතාවක් හැටියටය. එහෙත් ඇතැමුන්ගේ මතය ධුර කාලයට සීමා පැනවීම අත්‍යවශ්‍ය බවය. එහෙත් එසේ තර්ක කරන්නන්ගෙන් මා අසන්නට කැමැති ප්‍රශ්නයක් තිබේ. ඒ, 18 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් විධායක ජනාධිපති ධුරයේ සීමා මායිම් ඉවත් කළේ එම ධුරයම භාවිත කරගෙනදැයි කියාය. පිළිතුර ‘නැත’ යන්නයි. ඊට බලපෑවේ පාර්ලිමේන්තුවේ බලයයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සාතිශය බහුතර බලය එකම පක්ෂයකට ලැබුණු විට කිසියම් ප්‍රශ්නයක් උද්ගතවීමට ඉඩ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් ප්‍රතිපාදන ඇතුළත් කළ යුත්තේ එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්නටය. ඊට ද මගේ විරෝධයක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනාධිපතිටවත් පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් නොවේ. ජනතාවටය. 1789 ප්‍රංශ විප්ලවයෙන් පසු මහජනතාව සතු පරමාධිපත්‍යය ආයතන තුනකට බෙදුණේය. ඒ, විධායක බලය ජනාධිපති හා අමාත්‍ය මණ්ඩලයෙන් ද ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවෙන් ද අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණ පද්ධතියෙන් ද වශයෙනි. ව්‍යවස්ථාදායක බලය වනාහි නීති හා ප්‍රතිපත්ති සම්පාදනයයි. විධායක බලයෙන් කෙරෙන්නේ එසේ සැකැසූ නීති හා ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වීමේ බලයයි. අධිකරණ බලය අභ්‍යාස වන්නේ එසේ සැකැසූ නීති අනුව කටයුතු සිදුවන්නේදැයි විමසීමටය. වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ඉල්ලා සිටින්නන් යෝජනා කරන්නේ විධායක හා ව්‍යවස්ථාදායක බල දෙකම පාර්ලිමේන්තුවට දෙන්නටය. එවිට කැබිනට්ටුව තෝරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එවිට එකී කැබිනට්ටුව පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයකි.

සරලව කිවහොත් එයින් සිදුවන්නේ ව්‍යවස්ථාදායක හා විධායක යන බල දෙකම පාර්ලිමේන්තුව යන ආයතනයෙහි ගොනු වීමය. මගේ ප්‍රශ්නය ආඥාදායකත්වයට මඟ  පෑදෙන්නේ ව්‍යවස්ථාදායක විධායක යන බල දෙක ආයතන දෙකකට බෙදීමෙන් ද එකම ආයතනයකට ගොනු කිරීමෙන් ද යන්නය. ජනාධිපතිට ව්‍යවස්ථාදායක බලය දෙනවාට මා විරුද්ධය. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නන් විධායක බලයත් පාර්ලිමේන්තුවට පවරන්නට කටයුතු කරන්නේ ඇයිදැයි මට ප්‍රශ්නයකි. විධායක බලය වෙන ආයතනයකට නොයන පසුබිමෙක පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් ඇති විට කවර පාලනයක් සිදුවනු ඇතිදැයි අපට සිතාගත හැකිය. ඊට හොඳම උදාහරණය පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ රඟ දැක් වූ නාට්‍යයයි. 2001 - 2004 පාලන කාලයේ දී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය විධායක බලය පාවිච්චි නොකළේ නම් ඇතැම්විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට රට පාවාදීමට පවා අවස්ථාව තිබිණි. එය වැළැකී ගියේ විධායක ජනාධිපතිනිය හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට ඇය තීරණය කළ නිසාය.

විශේෂයෙන්ම රටේ මර්මස්ථාන නොරටුන්ට පවරාදෙන්නට පසුගිය කාලයේ දී ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් ද මේ කටයුතුවල ඇති තීරණාත්මකභාවය අප තේරුම්ගත යුතුය. පනතක් අධිකරණයක් ඉදිරියෙහි අභියෝගයට ලක්කිරීමට පුරවැසියාට දී ඇති දින 14 ද කොල්ලකන තැනට පාර්ලිමේන්තුව අද පත්ව තිබේ. පනතක කාරක සභා අවස්ථාවේ දී ගෙනෙන සංශෝධන හිටිහැටියේ පනතක් බවට පත්වෙන අරුම පුදුම පනත් සම්පාදන අපි පසුගිය කාලයේ දුටුවෙමු. කාන්තා නියෝජනය මුදුන්පත් කරගැනීමට ගෙනා පනත් කෙටුම්පත හරහා පළාත් සභා මැතිවරණය කල්දාගත්තේ එහෙමය. කාන්තා නියෝජනය වැඩි කිරීමට ගෙන ආ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට කවුරුවත් යන්නේ නැත. එනිසා ඔවුන් කළේ කූට ලෙස අධිකරණය හමුවේ පනත් කෙටුම්පත අභියෝග කිරීමට ඇති දින 14ක කාලය ගෙවී යන්නට දී එහි හරය උඩුයටිකුරු කිරීමය. 20 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කෑ මොර දෙන ජනතා විමුක්ති පෙරමුණ ද එහිදී අනුගමනය කළේ ඊට ඉඩ දෙන ප්‍රතිපත්තියකි. මහජන අයිතිවාසිකම් විෂයෙහිදී පෞද්ගලික හා බල දේශපාලන අරමුණුවලට යටවන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අනෙක් දේශපාලන පක්ෂ ගැන අපට යම් විචිකිච්ඡාවක් තිබුණ ද ජ.වි.පෙ. එවැන්නක් කරනු ඇතැයි අපි නොසිතුවෙමු. එහෙත් අන්තිමේ දී ජ.වි.පෙ. අඩු තරමින් පනතේ ව්‍යවස්ථානුකූලභාවය විමසන්නට ඇති දින 14 අයිතිය ගැනීමටවත් මැදිහත් වුණේ නැත. මෙය හුදෙක් ජ.වි.පෙ.ට කරන චෝදනාවක් නොවේ. ජ.වි.පෙ. ගැන තිබූ ආකල්පය නිසා කළ චෝදනාවකි. කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධන ගැසට් කර දින 14කට පසු පනත සම්මත කරමු යැයි යෝජනා කරන්නට එදා පාර්ලිමේන්තුවේ කිසිවෙක් සිටියේ නැත. දැන් විධායක හා ව්‍යවස්ථාදායක බලය යන ආයතන දෙකේම බලය ගොනුකරන්නට හදන්නේ එහෙව් පාර්ලිමේන්තුවකට ද? එනිසා විධායක බලය ජනාධිපතිටත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත් තිබීම මේ රටේ ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් හිතකර බව මම යළිත් අවධාරණය කරමි.

විධායක හා ව්‍යවස්ථාදායක බලය ආයතන දෙකකට වෙන් කළ ද එකම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය සමග විධායක ජනාධිපති ධුරයේ බලය ද ලැබුණු විට අත්තනෝමතික බලයක් නිර්මාණය නොවනු ඇතිදැයි කෙනෙකුට අපෙන් ඇසිය හැකිය. ඇත්තය. අපේ රටේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එනිසා එම දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණු විට නිර්මාණය වන්නේ අත්තනෝමතික පාලන තන්ත්‍රයකි. ජේ.ආර්. ජයවර්ධන 1978 සිට 1988 දක්වා පාලනය රට පාලනය කළේ එහෙමය. මහින්ද රාජපක්ෂ ද 2010 සිට 2015 දක්වා රට පාලනය කළේ එහෙමය. එනිසා රාජ්‍ය ත්‍රිවිධායතනවලින් දෙකකම බලය එක කඳවුරකට නතුවීමට එරෙහිව නීති සම්පාදනය කළ යුතු යැයි කිසිවෙකු හෝ යෝජනා කරන්නේ නම් ඊට මා පක්ෂය. ඒ ගැන කිසි විවාදයක් නැත. විවාදය ඇත්තේ ඒ වෙනුවට පාර්ලිමේන්තුව යක්ෂයකු බවට පත්කිරීම ගැනය. මා සිතන්නේ මේ නීති සම්පාදනය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 දීම කළ යුතුව තිබූ එකක් කියාය. ඊට ඔහුට කරන්නට තිබුණේ සුළු වැඩකි. ඒ, ඇමැතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමය. එසේ වී නම් අද වනවිට නිර්මාණය වී ඇති මේ ලොකු අවුල් වියවුල් රැසක්ම පහසුවෙන් විසඳෙන්නේය. 

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩවල් හැටියට අප කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේත් ප්‍රංශයේත් කර ඇත්තේ ඒ වැඩේය. ව්‍යවස්ථාදායක තොප්පියත් විධායක තොප්පියත් එකම අයකුට එකවර දමාගන්නට ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එම රටවල් මෙම නීති සම්පාදනය කර ඇත්තේ ළැදියා පරස්පරතාවෙන් (Conflict of interest) බැහැර වීම යන සිද්ධාන්තයෙහි පිහිටාය. ව්‍යවස්ථාදායකයේ කාරිය විය යුත්තේ තමන් හදන නීති අනුව විධායකය ක්‍රියාකරන්නේදැයි විමසා බැලීමය. අද වනවිට මේ කාරිය පැටලී ඇත්තේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් එකවර එකම පිරිසක් නියෝජනය කිරීමෙනි. එහෙත් ඇත්ත කතාව නම් වර්තමාන දේශපාලනයේ දී දේශපාලන පක්ෂ අපේක්ෂකයන් මහමැතිවරණයකට යන්නේ ව්‍යවස්ථාදායකයට තේරීපත්ව නීති සම්පාදනය කරන්නට නොවේ. ඇමැති පට්ටමක් ගෙන වරප්‍රසාද භුක්ති විඳින්නටය. මහමැතිවරණයකට තවත් කෙටි කාලයක් ඉතිරිව තිබිය දී පවා ඇමැති පට්ටමකට නාහෙන් අඬන තරමින් එය සක්සුදක් සේ පැහැදිලිය. පාර්ලිමේන්තුවෙන් විධායකය බිහිවන පරිසරයක විධායකයේ වැරැදිවලට එරෙහිව පාර්ලිමේන්තුව නැඟීසිටීම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. ඉතින් ප්‍රාථමික ප්‍රශ්නය තිබෙන්නේ එතැනය. මේ නිසා අප වහ වහා කළ යුත්තේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කවර හෝ හේතුවක් නිසා සිදු නොකළ මෙකී නීති ප්‍රතිසංස්කරණය සිදුකිරීමය. නොඑසේව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි මැතිරීම නොවේ.