වියළි කලාපයේ වැවෙන කරවිල, වම්බටු, මුරුංගා හා බණ්ඩක්කා වැනි එළවළු සේම පැපොල්, අඹ හා කෙසෙල් ද දැන් මැදපෙරදිග රටවලට සේම යුරෝපයට ද යවයි. අපේ රටේ එළවළු හා පලතුරු රට යැවීමේ අරමුණෙන්ම වවන හා සකස් කරන පුද්ගලයන්ගේ සංවිධානයක් කාලයක සිට රටේ ක්‍රියාත්මක වෙයි. එහි සභාපතිවරයා සුරේෂ් එල්ලාවල මහතාය. අපනයනය අරමුණු කරගෙන එළවළු හා පලතුරු වවන පුද්ගලයන් හමුවේ තිබෙන අභියෝග හා ඒවාට යෙදිය යුතු පිළියම් එල්ලාවල මහතා මෙසේ ගෙනහැර දක්වයි.

අපේ සංගමය මීට අවුරුදු තිහකට පමණ පෙර ආරම්භ කළේ මාලදිවයිනට එළවළු හා පලතුරු යවන අයගේ එකතුවකිනි. පසු කාලයේ ඩුබායි, අබුඩාබි, කටාර්, සවුදි අරාබිය, ඕමානය, ඉරානය, ඉරාකය හා ජෝර්ද‌ානය වැනි රටවලට ද අපි අපේ එළවළු හා පලතුරු වර්ග අපනයනය කළෙමු. අපේ එළවළු හා පලතුරු වැඩියෙන් යවන්නේ ඉන්දියානු සාගර කලාපයේ රටවල උපන් ජනතා ජීවත්වන රටවලටය. ඊට අමතරව ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා කැනඩාව වැනි රටවලට ද දැන් අපේ එළවළු හා පලතුරු යවන්නෙමු. එළවළු හා පලතුරුවලින් සකස් කළ ආහාර ද අපි අපනයනය කරන්නෙමු. වියළි එළවළු පලතුරු හා ඇසුරූ භාණ්ඩ සේම පල්ප් හා ජූස් ලෙස ද අපි අපේ පලතුරු හා එළවළු රට යවන්නෙමු.

ලංකාවෙන් රට යවන එළවළු හා පලතුරුවලින් සියයට 80ක්ම යවන්නේ අපේ සංගමයේ සාමාජිකයන්ය. මුලදී අපේ සංගමයේ සාමාජිකයන් වූයේ අපනයනකරුවන් පමණකි. එහෙත් දැන් නිෂ්පාදකයෝ හා ආහාර සකස් කරන්නෝද සාමාජිකයන් අතර සිටිති. මම ද වැවිලිකරුවෙක්මි. මා වවන්නේ අඹය. එය වෙළෙඳපොළේ අල්පොන්සු නමින් හඳුන්වන කහපාට ලොකු අඹ වර්ගයකි. එහි නියම නම ටොම් ඊ.ජේ.සී ය. එය දෙමුහුම් අඹ වර්ගයකි. ඒ අඹ වර්ගය ලංකාවට හඳුන්වා දුන්නේ අපිය. මගේ ගොවිපොළ තිබෙන්නේ දඹුල්ලේය. අපනයනකරුවන්ට අඹ සැපයීම මගේ ප්‍රධාන ව්‍යාපාරයයි. අඹවලින් ආහාර සකස්කරන අයට ද අපි අඹ සපයමු. අඹවලින් ආහාර සැකසීම හා ඒවා අපනයනය කිරීම ද අපේ ව්‍යාපාර අතර වෙයි. අපේ සංගමයේ සාමාජිකයන් අතර සිටින්නන්ගෙන් වැඩි පිරිස අපනයනකරුවෝය. අපේ සංගමයේ සාමාජිකයන් වවන්නේත් ආහාර සකස් කරන්නේත් අපනයනය කිරීමේ බලාපොරොත්තුවෙනි.

තේ, රබර්, පොල් ලංකාවේ ප්‍රධාන වැවිලි අපනයන විය. ඒවා සාම්ප්‍රදායික වැවිලි අපනයන භෝග ලෙස හැඳින්වෙයි. ඊට අමතරව කුළුබඩු ද අපනයනය කරයි. එහෙත් පලතුරු හා එළවළු සඳහා තිබෙන එතෙර වෙළෙඳ පොළ ඊට වඩා විශාලය. ප්‍රශ්නයකට තිබෙන්නේ එහි පවතින ගැටලු නිරාකරණය නොවීමය. මීට අවුරුදු දෙකකට පමණ පෙර අපේ සංගමය වෙරිටේ රිසර්ච් ආයතනය සමග එකතු වී කෘෂිකර්මාන්තයට බලපාන දේශීය වෙළෙඳ බාධක පිළිබඳව අධ්‍යයනයක් කළෙමු. අපනයනයට බලපාන දේශීය වෙළෙඳ බාධකවලට එහිදී අපගේ අවධානය යොමු විය. බොහෝ දෙනා කතා කරන්නේ අපේ අපනයනවලට තිබෙන එතෙර වෙළෙඳ බාධක පිළිබඳවය. ඒවා ගැන ද කතා කළ යුතුය. එහෙත් අප මූලිකව කතා කරන්නේ දේශීයව පවතින බාධක ඉවත්කර ගැනීම පිළිබඳවය.

අපනයනයට බලපාන දේශීය වෙළෙඳ බාධක කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. ඒ නියාමන, ක්‍රියාපටිපාටිමය හා තොරතුරුමය වශයෙනි. ඒවා පිළිබඳව අවුරුදු තුනකට පමණ පෙර අපි පැවැති රජය සමඟ සාකච්ඡා කළෙමු. හොඳ ප්‍රතිචාරයක් ද ලැබිණි. ඉහත කරුණු තුන අතරින් නූතන යුගයේ පහසුම කටයුත්ත තොරතුරුමය බාධක ඉවත් කිරීමය. අන්තර්ජාලය හා වෙබ් අඩවි හේතුවෙන් නූතනයේ අපනයනකරුවන්ට පහසුවෙන් තොරතුරු ලබා ගත හැකිය. විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලින් අතීතයේදී පැවැතුණාට වඩා දැන් තොරතුරු ලබාගැනීමට තිබෙන හැකියාව වැඩිය.

අනතුරුව අප යොමු වුණේ නියාමන බාධක දෙසටය. එහි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය බීජ පනතය. රටෙහි නිෂ්පාදනය වැඩි කිරීමටත් අපේ ගොවීන්ගේ ආදායම වැඩි කිරීමට හා අපනයන වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වූ පහසුකම් ගොවීන්ට සැපයිය යුතුය. එය පටන් ගැනීමට සිදුවන්නේ බීජවලිනි. දැන් පවතින තත්ත්වය අනුව රට ඇතුළෙහිම බීජ නිෂ්පාදනය කෙරෙයි. එය වැඩිපුරම කෙරෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනි. ඊට අමතරව ආනයනය කරන බීජ වර්ගද තිබේ. ඒ බීජ දෙවර්ගය සම්බන්ධයෙන්ම අපට යම් යම් ගැටලු තිබේ. ආනයනය කරන බීජ සම්බන්ධයෙන් ගත්විට බීජ ආනයනය කරන එක් ආයතනයකට අවුරුද්දකට පරීක්ෂා කර බැලීමට අවසර දෙන්නේ බීජ වර්ග තුනක් සම්බන්ධයෙන් පමණකි. ඕනෑම බීජයක් වාණිජ මට්ටමෙන් ආනයනය කිරීමට පෙර රට ඇතුළෙහි වගාකර බැලිය යුතුය. ඒවා වගාකළ යුත්තේ ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළවලය. පවතින නීතිය යටතේ කන්න දෙකක් එසේ වගා කළ යුතුය. අනුමැතිය දීම නොදීම තීරණය වන්නේ ඉන් අනතුරුවය.

වියළි හා තෙත් කලාප සේම ඉහළ ජල ධාරා ප්‍රදේශවල සේම හරිතාගාරවල වැවීමට සුදුසු බීජ වර්ග දැන් රටට ඇදී එයි. ඒ හැම දෙයක්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළවලම වගාකර ඒ දෙපාර්තමේන්තුව මගින්ම පරීක්ෂා කර බැලුවහොත් අප බලාපොරොත්තු වන ඉලක්කවලට යා නොහැකිය. රජයේ ගොවිපොළවල් සීමාසහිත වීම, රජයේ සේවකයන්ගේ මන්දගාමීත්වය, අපනයනකරුවාට හෝ ගොවියාට තිබෙන වුවමනාව, ගාය, කැක්කුම, රුදාව නිලධාරීන්ට නැතිකම වැනි හේතුමත එසේ සිදුවෙයි. ඇතැම් භෝගවලට විශේෂ පොහොර, විශේෂිත නිරෝධායන ක්‍රම, නියමිත වේලාවට නියමිත ප්‍රමිතියට යෙදිය යුතුය. රජයේ ගොවි පොළවල ඒවා එලෙසම වන බවට සහතිකයක් දිය හැක්කේ කාටද? ඒවා එලෙසම වන බවට විශ්වාස කළ හැක්කේ කාටද? ඒ නිසා බීජ වගා කරමින් පරීක්ෂා කිරීමේ අයිතිය බීජ ආනයන කරන සමාගම්වලට ද දිය යුතුය. වෙළෙඳ‌ාමට නොව තමන්ගේම පාවිච්චිය සඳහා ගෙන්වන බීජ පරීක්ෂා කිරීමට අපනයනකරුවන්ට ඉඩදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට අප සමග එකඟව සිටියි. එසේ ඉඩ දී තිබෙන්නේ බීජ නොව භෝගය (පැළ) අලෙවියට පමණකි. බීජ ආනයනකරුවන් ගෙන්වන්නේ වෙන රටවල සාර්ථක වූ බීජය. අප කියන්නේ සෑම ගොවියකු වෙතම බීජ ලැබිය යුතු බවය. සෑම ගොවියකුගේම ආදායම වැඩි වන්නේ එසේ වුවහොත් පමණකි. දේශීය ගොවිතැන නූතන ලෝකයට ගැළපෙන තැනකට ගෙනෙන්නට අවස්ථාව ලැබෙන්නේ බීජ ව්‍යාප්ත කරන තරමටය.

අනෙක් කාරණය සියලු බීජ වර්ග රටින් ගෙන්වන්නේ නැතිව අලුත් බීජ හැකිතරම් රට ඇතුළෙහි ද නිෂ්පාදනය කළ යුතුය. නව ශාක ප්‍රභේද ආරක්ෂා කිරීම සඳහා යෝජිත පනත එහිදී වැදගත් වෙයි. ඒ පනත් කෙටුම්පත සකසා අවුරුදු 10කටත් වැඩිය. රජයේ නිලධාරීන්ගෙන් හා දේශපාලක නායකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අවුරුදු 10ක් තිස්සේ සම්මත කර නොගන්නා ඒ පනත් කෙටුම්පත සම්මත කරගන්නා ලෙසය. විශ්වවිද්‍යාලවල සිටින උගතුන් සේම පෞද්ගලික අංශය ද නව බීජ නිෂ්පාදනය කිරීමට පෙළඹෙන්නේ තම නිෂ්පාදනවලට නීතියෙන් රැකවරණයක් තිබෙන්නේ නම් පමණකි. එහෙත් අද රටෙහි එවැනි ආරක්ෂාවක් නැත. බීජ අයිතිය රැක ගන්න හා එය රැකදෙන නීතියක් දැන් රටේ නැත. දැනට නව බීජ ලියාපදිංචි කළ හැක්කේ රජයට පමණකි. කෘෂි විද්‍යාඥයකුට හෝ පෞද්ගලික සමාගමකට බීජ නිෂ්පාදනය ලියාපදිංචි කළ නොහැකිය. එහෙයින් ඔවුහු නව බීජ නිෂ්පාදනය නොකරති. රජයෙන් නිපදවන බීජවල අයිතිය රජයට තිබෙන්නා සේ විද්‍යාඥයකු පර්​ෙ‌ය්ෂකයකු හෝ සමාගමක් බීජ නිපදවන්නේ නම් එහි අයිතිය ඔවුනට තිබිය යුතුය. එහෙත් දැනට ඒ අයිතිය රකින නීතියක් නැති නිසා රට ඇතුළෙහි නව බීජ නිෂ්පාදනය නොවෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විය යුතු වැඩ කොටසක් තිබේ. බීජ, පැළ හා භෝග ආනයනය කිරීමෙන් රටට ලෙඩ රෝග පැමිණීමේ ඉහළ අවදානමක් තිබේ. කොරෝනා වෛරසය චීනයෙන් ලංකාවට පැමිණියා සේ බීජ හා පැළ ආනයනයෙනුත් විවිධ ලෙඩ රෝග හා වසංගත රටට පැමිණීමේ ඉහළ අවද‌ානමක් තිබේ. ඒවා එසේ නොවීම සඳහා කටයුතු කිරීමේ වගකීම රජයේ ආයතනයකට තිබිය යුතු බව අපේ පිළිගැනීමයි. එහෙත් ඒ පාලනය අපනයන වැඩි කිරීමට බාධාවක් නොවිය යුතුය. තේ හා රබර් ද ලංකාවට ආවේණික භෝග නොවේ. ඒවා ද රටට පැමිණියේ පිටිනි. එහෙයින් රටට සුදුසු බීජ හා පැළ වර්ග ගෙන්වාගෙන රට ඇතුළෙහි ව්‍යාප්ත කළ යුතුය. එසේ නොකර අපනයන ඉහළ නැංවිය නොහැකිය. නව ශාක ප්‍රභේද ආරක්ෂා කිරීමේ පනත ඉතා ඉක්මනින් සම්මත කළ යුත්තේ එහෙයිනි. නව ශාක හා බීජ නිෂ්පාදනය කරන්නන්ගේ බුද්ධිමය දේපළ අයිතිය රකින නීතියක් සම්මත වුවහොත් නව බීජ හා පැළ වර්ග රට ඇතුළෙහිම මහා පරිමාණයෙන් නිෂ්පාදනය වීමට තිබෙන සම්භාවිතාව ඉහළය.

දැනට රටේ පවතින තත්ත්වය යටතේ මා යම් බීජයක් හෝ භෝගයක් සොයා ගතහොත් මගෙන් පැළ හෝ බීජ ලබාගන්නා ඔබටද එය දෙමුහුන් කර මගේ බුද්ධිමය දේපළ අයිතිය කොල්ල කෑ හැකිය. එවැනි තත්ත්වයක් යටතේ පුද්ගලයකු හෝ ආයතනයක් නව බීජ හෝ භෝග නිෂ්පාදනය සඳහා කාලය හා මුදල් වැය කිරීම නිෂ්ඵල කටයුත්තකි. එය ගඟට ඉනි කැපීමක් විය හැකිය. එහෙයින් අවුරුදු 10 ක් තිස්සේ නීතියක් ලෙස සම්මත නොවන නව ශාක ප්‍රභේද ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත නව රජය යටතේ නීතියක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ඒ නීතිය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගේ පැත්තෙන් අපට ලැබෙන ප්‍රතිචාර ඉතා යහපත්ය. නිලධාරීන්ට හෝ රජයට දොස් කීමේ වුවමනාවක් අපට නැත. අප කියන්නේ වගාවත් නිෂ්පාදනයත් අපනයනයත් ඉහළ යාමට නම් නව ශාක ප්‍රභේද ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත විය යුතු බවය.

‘‘භූගෝලීය දර්ශක’’ කතා කළයුතු තවත් කාරණයකි. වයින් හා ෂැම්පේන් සම්බන්ධයෙන් ප්‍රංශයේ පවතින්නේ එවැනි තත්ත්වයකි. ඒ රටේ වයින් වර්ග හඳුන්වන්නේ ඒ වයින් නිෂ්පාදනය කරන ප්‍රදේශයේ නමිනි. එය යම් නිෂ්පාදනයකට අගය එකතු කරන සාධකයකි. කොලොන්නේ ගම්මිරිස්, සියනෑ අන්නාසි වැනි නම්වලින් අපේ රටේ නිෂ්පාදන ද නම් කිරීමේ ඉහළ හැකියාවක් අපේ රටට ද තිබේ. එහෙත් ඒ සඳහා ද දැනට නීතියක් නැත. එහෙයින් ඒ සඳහාද නව නීතියක් සම්මත විය යුතුය. නීතියක් නැති වුණොත් ඒ නිෂ්පාදනවලටද වන්නේ අපේ තේ වලට අත් වූ ඉරණමය. ලෝකයේ වෙනත් රටවලින් ඩුබායිවලට තේ ගෙන්වා ඒවා සිලෝන් ටී නමින් ඇසුරුම් කර ලෝක වෙළෙදපොළට යවන බව දැන් රහසක් නොවේ. එහෙයින් අප යෝජනා කරන අපේ වෙනත් නිෂ්පාදනවලට ඒ ඉරණම අත්නොවීම සඳහාද නීතිමය රැකවරණ සැලසිය යුතුය.

‘‘ෂැම්පේන්’’ ලෝක වෙළෙඳ පොළට එන්නේ ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයෙන් පමණකි. ප්‍රංශයේම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ඒවා හඳුන්වන්නේ ස්පාක්ලින් වයින් නමිනි. ෂැම්පේන් පදනම් කරගෙන සමාජයක් බිහිවෙයි. ෂැම්පේන් වෙළෙඳපොළට එන්නේ ඒ සමාජයේ සාමාජිකයන් අතරින් පමණකි. එය ඒ සාමාජිකයන්ටත් ප්‍රදේශයටත් රටටත් අභිමානයකි. ලෝකයේ වෙනත් රටවල මේ ක්‍රමය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අපේ රටද අපේ ගොවිතැන හා ඉන් ලබන ආදායම ඉහළ නැංවීමට අදහස් කරන්නේ නම් නව සංකල්පවලට යා යුතුය. එහෙයින් භූගෝලීය දර්ශක ක්‍රමයට ලංකාවද ඉතා ඉක්මනින් ප්‍රවේශ විය යුතුය.

අපනයනයේදී ඉල්ලුම ඉහළ යමින් පවතින්නේ කාබනික එළවළු හා පලතුරුවලටය. ඇමෙරිකාව, කැනඩාව, ජපානය හා යුරෝපීය රටවලින් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ රසායනික තෙල් පොහොර නොදා වවන එළවළු හා පලතුරුවලටය. ඉතා ඉක්මනින් මැදපෙරදිග රටවලුත් එතැනට පැමිණෙයි. ඒ වෙළෙඳ පොළට පිවිසීමට අවශ්‍ය පසුබිම අප ඉතා ඉක්මනින් සකසා ගත යුතුය. ඒ සඳහා පළමුව අප අපේ ගොවීන් පුහුණු කළ යුතුය. කාබනික වගාවට අවශ්‍ය කාබනික පොහොර, කෘමිනාශක, පලිබෝධ නාශක නිෂ්පාදනය කළයුතුය. ඒවා ගොවීන්ට හඳුන්වා දිය යුතුය. මේ මෑතකදී මොරගහකන්ද ප්‍රදේශයේ කාබනික කෘෂිකර්ම කලාපයක් නම් කෙරිණි. එය හොඳ සංකල්පයකි. අත්‍යවශ්‍ය වන්නේ එය ප්‍රායෝගිකත්වයට ගෙන ඒමය. අපේ ගොවින්ට කාබනික වගාව සඳහා දැනුම හා යෙදවුම් ලබා දුන්නොත් ඔවුන් ඒ මාවතෙහි ඉදිරියට යනු ඇත. රසායනික පොහොර සඳහා සහනාධාර දීම අනුමත කළ නොහැකි ප්‍රතිපත්තියකි. නූතන ලෝකයට අත්‍යවශ්‍ය වන්නේ කාබනික වගාවට දිරිදෙන ප්‍රතිපත්තියකි, සැලසුම්ය.

ගොවීන්ගේ ජීවිතවලට, මහ පොළවට, ජෛව විවිධත්වයට යනාදී සියල්ලට රසායනික තෙල් පොහොර හානිකරය. එහෙයින් රසායනික තෙල් පොහොර භාවිතය සීමා කරන තරමට ගොවීන්ටත් මහ පොළොවටත් හොඳය. එසේම අපේ අපනයනද ඉහළ නැංවිය හැකිය. රටේ විදේශ විනිමය සංචිත ඉහළ යන්නේ අපනයන ඉහළ නැංවීමෙනි. කාබනික නිෂ්පාදන ඉහළ ගියොත් රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඔවුන්ගෙන් රටට ලැබෙන ආදායමද ඉහළ යනු නිසැකය. අවසානයේ මේ සියල්ලේ ප්‍රතිඵල ගලායන්නේ ගොවීන් ජීවත්වන ගැමි ප්‍රදේශවලටය. දියුණු වන්නේ ගැමි ආර්ථිකයයි. කාබනික ගොවිතැනින් ඵලදායිතාව අඩු වුවත් ලැබෙන ආදායම ඉහළය. ඒ බව ගැමි ගොවීන්ට අවබෝධ කර දිය යුතුය. කාබනික ගොවිතැනට අවශ්‍ය පුහුණුව, දැනුම හා යෙදවුම් ලබා දිය යුතු බව මා කියන්නේ එහෙයිනි. කාබනික ගොවිතැනේ වියදම රසායනික ගොවිතැනට යන වියදමට වඩා අඩුය. ඒ දැනුම ගොවීන්ට දිය යුතුය.

අපේ රටට ආවේණික එළවළු හා පලතුරු වර්ග ද තිබේ. ඒ බොහෝ දේවල් ඖෂධීය ගුණයෙන් යුතු සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉවහල් වන එළවළුය. පලතුරුය. ඒ බොහෝ ආහාර පාන චිකිත්සක ප්‍රතිලාභ තිබෙන දේවල්ය. ඒ එළවළු හා පලතුරු ගැන ගැමි ගොවින්ට දැනුම් ලබාදී ඒවා වගා කිරීමට ඔවුන් යොමු කළහොත් ඒ එළවළු හා පලතුරු ද අපනයනය කළ හැකිය. ඖෂධීය ගුණයෙන් යුතු එළවළු හා පලතුරුවලටද  ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබේ. නූතන ලෝකයේ සුපිරි ආහාර ලෙස හඳුන්වන්නේ ඒවාය. අපේ පොල් දැන් එතැනට පැමිණ තිබේ. ‘වර්ජින් කොකොනට් ඔයිල්’ නමින් හඳුන්වන නැවුම් පොල් තෙල් අද ජාත්‍යන්තරයේ සුපිරි ආහාරයකි. ඉඟුරු හා කහවලට තිබෙන ඉල්ලුමද දැන් වැඩිවෙමින් පවතී. ඒ ඉල්ලුම යුරෝපයෙන් සේම ජපානයෙන් හා චීනයෙන්ද පවතී.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්