ඔහු දේශීය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට කටයුතු කළ හා දැනටත් එවැනි නිර්මාණවලට අතගසා සිටින සක්‍රීය චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ‘විජයබා කොල්ලය, බිම්බාදේවි හෙවත් සශෝධරා, කුස පබා, සක්කාරං, ද නිවුස්පේපර්, ගාඩි, අසන්ධිමිත්තා’ වැනි මෙරට සිනමාවේ උසස් නිර්මාණ රැසකට නිෂ්පාදනයෙන් දායක වූ මේ චිත්‍රපට නිෂ්පාදකවරයා නමින් එච්.ඩී. ප්‍රේමසිරිය. වත්මන් සිනමා ක්ෂේත්‍රයේ නිෂ්පාදකයා අසරණවී ඇති මොහොතක සිනමා කර්මාන්තයේ ප්‍රශ්න නිෂ්පාදවරයාගේ භූමිකාව, කොරෝනා  වසංගතය හමුවේ කළ යුත්තේ කුමක්ද? යනාදී කරුණු රැසක් අපි ප්‍රේමසිරි මහතාට යොමු කළෙමු. මේ එම කතාබහේ සටහනයි.

• ඔබ එක දිගට දේශීය සිනමාවේ දැවැන්ත නිර්මාණවලට නිෂ්පාදනයෙන් දායක වූ අයෙක්. තවමත් ඒ කටයුත්තේ ඔබ නියැලී සිටිනවා. පාඩු හෝ ලාබ ලැබුණත් ඒවා සියල්ල විඳගෙන මේ සිනමා කර්මාන්තයේ ඔබ දිගටම නියැළෙන්නේ කුමන අරමුණකින්ද?
සමහර වෙලාවට පාඩු සිදුවෙනවා තමයි. චිත්‍රපටයට ආයෝජනය කරන මුදලවත් සමහර වෙලාවට ලැබෙනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි චිත්‍රපට කරන්නේ. පාඩු ලබන්න චිත්‍රපට කරන්නේ නෑ. ඒත් සමහර අවස්ථාවල එහෙම වෙනවා. ලාබත් නෑ පාඩුත් නෑ. එහි මැද තත්ත්වයක් තියාගන්න පුළුවන් චිත්‍රපටය හොඳට කරනවා නම්.
දැන්නම් මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක ලෝකෙම සියල්ල අඩපණ වී ඇති අවස්ථාවක චිත්‍රපට කරන එක අමාරුවක් තමයි. ඒත් අපි කරන්නේ මෙයින් සහනයක් වෙයි කියලා හිතාගෙනයි. සාර්ථක වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි චිත්‍රපටයකට මේ වෙලාවෙත් මුදල් ආයෝජනය කරන්නේ. කොහොම හරි සාර්ථක වෙයි කියලා අපි සිතනවා. හඳගමත් එක්ක චිත්‍රපටයක් කළා. ඒ චිත්‍රපටය  ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක්. අපි බලාපොරොත්තු වෙනවා සමහර විට අපේ බලාපොරොත්තු වරදින්නත් පුළුවන්. වැරදුණත් හොඳ චිත්‍රපටයක් කළා කියන ආසාව, සතුට මා තුළ තිබෙනවා. ඒ පිළිබඳව බොහෝ දෙනා හොඳ ප්‍රතිචාර දැක්වුවාම ලොකු සතුටක් ඇති වෙනවා.


• ඔබ නිෂ්පාදකයෙක් විදිහට අපේ සිනමා කර්මාන්තය අද දවස වනවිට හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයටද? මේ කර්මාන්තය තුළ නිෂ්පාදකයා අනාථයි නේද?
අද දවසේදී සිනමා කර්මාන්තයෙන් නිෂ්පාදකයාට කිසිම සහයනක් නෑ. මෙයට අදාළ චිත්‍රපට සංස්ථාව තිබෙනවා. අමාත්‍යවරයෙක් ඉන්නවා. එහෙම හිටියත් කිසිම සහනයක් නිෂ්පාදකවරුන්ට නෑ. ගණන් ගන්නෙත් නෑ. තමුන් කරලා, තමුන්ම පාඩු විඳගෙන මේ තුළ ඉන්න තමයි අද වෙලා තිබෙන්නේ. ඒක ලොකු අඩුපාඩුවක්. වැඩියෙන් සල්ලි තිබූ අය චිත්‍රපට කර්මාන්තයට මුදල් දාලා චිත්‍රපට කරලා පාඩු වුණත් ඒ පාඩුව මකාගන්න තමුන්ට එන ආදායමෙන් එන අඩුකර ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. පසුගිය පාලන කාලයේදී ඒවා ඇත්ත වශයෙන්ම ඇති කරලා තිබුණේ චිත්‍රපට කර්මාන්තය නංවන්නයි. ඒවා ටික ටික අයින් වෙලා ගියා. දැන් ඇත්තටම අගමැතිතුමා පසුගියදා කිව්වා ඒවා යළි ඇති කරනවා කියලා. ඒ වගේ සහන ටිකක් ලැබෙනවා නම් මේක සාර්ථක වෙයි කියා හිතනවා.


•  අද චිත්‍රපටයක් තිරගත කිරීමේදී මණ්ඩලවලින්, පළාත් පාලන ආයතනවලින් බදු අය කිරීමක් සිදුවෙන බව නොරහසක්. මේ සියල්ල දරා ගැනීමට සිදුවී තිබෙන්නේ නිෂ්පාදකයාටයි. මේ බදු ප්‍රශ්නය නිෂ්පාදකට දරාගන්න අමාරුයි නේද? ඔවුන්ට සිනමාව එපා වෙනවා නේද?
ඇත්තෙන්ම බාධාවක් තමයි. බදු අය කිරීම අඩුකරන්න ඕනේ මේ වගේ වැටුණු කර්මාන්තයක. චිත්‍රපට කර්මාන්තය අද ලංකාවේ වැටිලා තිබෙන්නේ. මේවා යළි ගොඩ ගැනීමට රජයෙන් සහන දිය යුතුයි. ඒවා ලැබෙන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ. ලෝකයේ දියුණු රටවල ආධාර වගේ සහනත් සිනමා කර්මාන්තයට දීලා තිබෙනවා. අපේ රටේ එහෙම එකක් නෑ.


• පසුගිය දවස්වල බෙදාහැරීමේ මණ්ඩලවලින් සියයට 10ක් (10%) ගැනීම අසාධාරණයි කියලා සිනමාකරුවන් හඬ නැගුවා. මේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ?
ඇත්ත වශයෙන්ම ප්‍රදර්ශන මණ්ඩලවලටත් ඔවුන් චිත්‍රපට කරගෙන යනවාට යම් මුදලක් තිබිය යුතුයි. ඕනෑම කර්මාන්තයක ඒක තිබෙනවා. බෙදාහැරීමේ මණ්ඩලයත් මේකට උදව්වක් කරන්නේ. ඒ අයටත් මුදලක් දිය යුතුයි. හැබැයි සියයට 10 ක් ගැනීම වැඩියි. ඊට වඩා සියයට 5ක් හෝ  ඊට අඩු ගණනක් අය කළා නම් හොඳයි. උපරිමය 5%ක් ගැනීමට වරදක් කියන්න බෑ. මොකද අපිත් ව්‍යාපාර කරනකොට බෙදාහැරීමේ ක්‍රමවලදී ඇතිවන තත්ත්වය හොඳින් දන්නවා. එහි ලොකු වරදක් මා කියන්නේ නෑ. ඒත් 10% ගණන නම් වැඩියි කියලා මගේ අදහස. එය අඩු කරලා ඒ අයත් මෙයට උදව් කරනවා නම් හොඳයි කියා මා හිතනවා.


• මේ ප්‍රශ්නය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා හමුවී කතා කළා නේද? මුදල් රාජ්‍ය ඇමතිතුමාත් හමුවුණා නේද? කිසිදු පිළිසරණයක් තවම ලැබුණේ නෑ නේද?
තවම එය සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. පසුගියදා  මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අඩු පොලියට බැංකුවෙන් ලබාදෙන ණයක් පිළිබඳව කතා කළා. ඒත් ඒවා තවම සාකච්ඡා මට්ටමේ තිබෙනවා මිසක් අපට ක්‍රියාවක් පේන්නේ නෑ. කොහොම වුණත් බැංකුවලට වැටුණු සිනමා කර්මාන්තයට ණය දීමත් ප්‍රශ්නයක් තමයි. ණය ලබා ගන්නත් ඕනේ. ණය හරියට ගෙවන්නත් ඕනේ. කර්මාන්තයත් නගාසිටුවන තත්ත්වයට එන්න ඕනේ. මේ දෙකම හරියට සිදුවිය යුතුයි. ඕක චක්‍රයක් වගේ පේන්නේ. ඒක හරියට සාර්ථක කර ගත්තොත් ප්‍රශ්නය ඉවරයි. ඒත් ඉතිං අපේ සමහර නිෂ්පාදකවරු බැංකුවලින් ණය අරන් ඒවා පියවන්නේ නැතුව වෙන දේවල් කරලා ඒකට පොලු තිබ්බාට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. නිර්මාණයක් කියන්නේ පේන දෙයක් නොවේ. අතගාන්න බෑ. ඒකයි වෙලා තිබෙන්නේ. වෙන එකක් නම් පේනවා.


• සිනමා නිර්මාණයක් ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයා ඉතාම වැදගත්. ඒත් අපේ සිනමා කර්මාන්තයේ මේ නිෂ්පාදකයා රැක ගන්න කිසිම වැඩපිළිවෙළක් නෑ නේද? ඇයි චිත්‍රපට සංස්ථාවෙන්වත් ඒ රැකවරණය නොදෙන්නේ. මේ නිසා අලුතින් චිත්‍රපටවලට මුදල් ආයෝජනය කරන්න නිෂ්පාදකවරු බයක් වෙනවා නේද?
ඇත්ත තමයි. නිෂ්පාදකවරු මෙතරම් කාලයක් චිත්‍රපට කළා. ඒත් චිත්‍රපට බෙදාහැරීම ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙලා. සිනමා ශාලා ටිකයි තිබෙන්නේ. ඒවායේත් ප්‍රමිතිය දුර්වලයි. ප්‍රේක්ෂකයාට සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න නම් ශාලාව පිළිබඳව ආසාවක් ඇතිවෙන්න ඕනේ. ඒවා හොඳට තියෙන්න ඕනේ. හොඳ පිළිගැනීමක් තිබෙන්න ඕනේ.

සිනමා ශාලාවලින් පමණක් නොවෙයි අද අලුත් තාක්ෂණික උපක්‍රම හරහා චිත්‍රපට නැරඹීමේ පහසුකම ප්‍රේක්ෂකයාට ලැබී තිබෙනවා. DVD හැදෙනවා. ඊට පස්සේ ඩිජිටල් වේදිකාවට යනවා. ඇත්තටම සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 150-200කට චිත්‍රපටයක් කරලා නිෂ්පාදකවරයෙක්ට හොඳ චිත්‍රපටයක් කරලා ගොඩ එන්න පුළුවන්. මිනිසුන් ආස කරන හොඳ නිර්මාණයක් විය යුතුයි. දැන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. ඒවා තිබිය යුතුයි. නැතුව සිනමා ශාලාවෙ පෙන්වලා විතරක් ඉස්සර වගේ ගොඩඑන්න බෑ. ඒවාටත් අපි හැරෙන්න ඕනේ. අනෙක් කාරණය චිත්‍රපටයක් කරලා සිනමා ශාලාවල පෙන්වලා විතරක් මදි. අනෙක් සියලු මාධ්‍ය ඔස්සේද ඒ නිර්මාණය පෙන්විය යුතුයි. එතකොට හැමදාම මිනිස්සු එය බලනවා. එතකොට තමන්ට ඕනෑ වෙලාවට ඒ චිත්‍රපටය බලන්න පුළුවන්. එයින් ආදායමක් නිෂ්පාදකයාට එනවා.

ඇත්තෙන්ම මේ කොරෝනා වසංගතයෙන් රට නිදහස් වුණොත් ලොකු වෙනසක් මෙහි සිදුවේවි. චිත්‍රපටවලට විතරක් නොවෙයි අනෙක් ව්‍යාපාරත් ලොකු වෙනසකට ලක්වේවි කියලා මා හිතනවා.


(*** සංවාද සටහන  - සමන්ත යහම්පත්)