ඒ.ඩී. රන්ජිත් කුමාර

ගලන ගඟකි ජීවිතේ 
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපලු නටයි ගංතෙරේ

චිත්‍රපට ප්‍රේම යුග ගීත අතර (1947-1962) වඩාත් හැඟුම් බර ගීතයක් වූ මෙය රූප ගත වූයේ රාජගිරියේ මාදින්නාගොඩ වෙල්යායකය. නාරද දිසාසේකර සහ නන්දා මාලිනී ගැයූ මේ ගීතයේ ගේය පද රචකයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ය. සංගීත නිර්මාණය විශාරද අමරදේවයන්ගෙනි. මේ ගීතය ගයන්නේ නෑඹුල් පෙම්වතුන් වූ ගාමිණී ෆොන්සේකා සහ ජීවරාණි කුරුකුලසූරිය යුවළය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එය අමරණීය ගීතයකි.

පෙමට පෙම පුදා
තුඩට තුඩ දිදී
කුරුළු ගී නගයි
ආදරේ බැඳීලා

56 වසරක් පැරැණි මේ ගීතයට සම්බන්ධ අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ ගායිකා නන්දා මාලිනීත් නිළි ජීවරාණි කුරුකුලසූරියත් පමණි.

ජීවරාණි සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගනවේදිනියකි. ජනප්‍රියතම රංගවේදිනියකි. රන් මුතු දූව චිත්‍රපටයෙන් පසු ගාමිණි සහ ජීවරාණි යුගයක් ඇරැඹිණ. සිනමා රසිකයන් සිහින මැව්වේ ගාමිණී සහ ජීවරාණි සැබෑ දිවියේ එක් වන තෙක්ය. ඔවුන් සැබෑවට එක් නොවුනද ඔවුන් රඟපෑ චරිත නම් සදා අනුස්මරණීය විය.

කුඩා කල සිටම දඟකාර දැරියක් වූ ජීවරාණි බයිසිකල් පැදීමේ සූරියක් වූවාය. පානදුරේ ශුද්ධවූ එඬේරාගේ   කන්‍යාරාමයේ ඉගෙනුම ලබමින් සිටි හත් හැවිරිදි දැරියක වූ ඇය තම නිවසට යාබදව තිබූ පුංචි අම්මාගේ ගෙදර සිටි ජයන්ත මල්ලී සමග තරගයට බයිසිකල් පදින විට ඔවුන් එකිනෙකාට බැනවැදීම අනිවාර්යෙන්ම සිදුව ඇත. ජයන්ත ජීවරාණිට කතා කළේ සූරිය කියාය.

සූරිය, මම ඔයාට දිනන්න මම දෙන්නේ නෑ. ජයන්ත බයිසිකල් පදිනගමන් කීවත්, සිනා සිසී තරහව යටකරගෙන හැම විටම ජයගෙන ඇත්තේ ජීවරාණි ය.

ජීවරාණිට හොඳට ගීත ගයන්නටත් නර්තනයත් කුඩා කල සිටම කුසලතාවක් තිබුණාය.

මම ඉස්කෝලේ යන කාලේ සින්දු තරග කිහිපයකින්ම ජයගත්තා. මම පාසල් විවිධ ප්‍රසංගයේ ගැයූ කොහේද යන්නේ රුක්මණී කියන සින්දුව මුළු පාසලේම ජනප්‍රිය වුණා. මගේ තාත්තාගේ කිට්ටු හිතවතෙක් හිටියා තිලකසිරි ප්‍රනාන්දු කියලා. එයා ගුවන් විදුලියේ ගායකයෙක්. දක්ෂ වයලීන් වාදකයෙක්. චිත්‍රපට නළුවෙක්. මගේ ගායන හැකියාව දුටු තිලකසිරි මා ගුවන් විදුලියේ ළමා පිටියට යොමු කළා. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, එච්.එම්. ගුණසේකර අයියලාගේ ළමා පිටිය වැඩසටහන්වල මම ගීත ගැයුවා. මා ගැයූ ගීත අතරින් සිනා පපා ගීතය එදා ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වුණා. මම ගුවන් විදුලි සරල ගී පරික්ෂණයට ඉදිරිපත් වී ඉහළින්ම සමත් වුණා. ඒ කාලේ තිලකසිරි ප්‍රනාන්දු සමග ගැයූ මේ ගීත දෙක බෙහෙවින් ජනප්‍රිය වුණා.

ගම්මානය කළ එළි වූවා මාලා මනමාලියවූදා
නාග ලොවින් ගෙන ආපු බුලත් අත

ගාන්ධර්ව විභාගයේ ප්‍රාරම්භයත්, මධ්‍යම විභාග වලින් සමත් වී මම වජිරා මහත්මියගෙන් නර්තනයත් ඉගෙන ගත්තා. උඩරට නැටුම් ඉගෙන ගත්තේ සිරිනේරිස් ගුරුන්නාන්සේගෙන්. පාසලේ නර්තන ගුරුතුමි නාලිනී සමරවීර මහත්මියගෙනුත්, ගායනය තිලකසිරි ප්‍රනාන්දුගෙනුත් ඉගෙන ගත්තා. ජීවරාණි කලකට ඉහත තම කුඩා අවදිය ගැන කතා කරද්දී මට කීවාය.

රුක්මණී දේවිය රඟපෑ චිත්‍රපට නැරඹීමෙන් සිනමා රංගනයට කැමති වන විට ඇය දෙවනුව ඉගෙනගෙන ඇත්තේ කොටහේන කන්‍යාරාමයේය. දහහත් හැවිරිදි ඇය නිළියක් කිරීමේ ආසාව තිබුණේ තාත්තාටය. ජීවරාණිලා එවකට පදිංචිව සිටියේ පානදුරේ සරික්කාමුල්ලේ නිවසකය. තිලකසිරි ප්‍රනාන්දුත් පානදුරේය. දිනක් තිලකසිරි ගෙදර පැමිණි විට පියා මෙසේ කියා ඇත.

අපේ ජීවා දුව රඟපෑමට දක්ෂයි. තිලකසිරි බලන්නකො ෆිල්ම් එකක පුංචි වුණත් කමක් නෑ හොඳ චරිතයක් ලැබුණොත්. එයා ඩික් ඩයස්ගේ නාට්‍යයකත් රඟපෑවනේ.

මම මේ දවස්වල ලෙස්ටර් මහත්තයගේ සන්දේශය චිත්‍රපටයේ රඟපානවා. දැන් චිත්‍රපටයේ භාගයක් විතර වැඩ ඉවරයි. මම කියලා බලන්නන් කෝ.

තිලකසිරි සමග ජීවාත්, ඇගේ පියාත් දෙහිවල ලෙස්ටර් මහතාගේ ගෙදරට ගියහ. ජීවරාණිට වාසියක් වූයේ මේ කාලයේ (1959) පානදුරේ ප්‍රකට නාට්‍ය නිෂ්පාදක ඩික් ඩයස්ගේ මාහේනේ ඊරියකා වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ලීලා ලිවේරාගේ චරිතය රඟපා තිබීය. අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ලියූ රහස් පරික්ෂක කතාව ඇසුරෙන් නිපදවූ මේ නාට්‍යයේ පුහුණුවීම් බැලීමට පැමිණි අගමැතිතුමා පැමිණි විට ඇගේ රඟපෑම අගය කර තිබුණි. 1959 පෙබරවාරි 18 වැනිදා වේදිකාගත වූ මංගල දර්ශනය නැරඹීමට අගමැතිතුමාත් බණ්ඩාරනායක මැතිනියත් පුංචි චන්ද්‍රිකාත් සුනේත්‍රාත් අනුරත් පැමිණි අවස්ථාව ඇයට හොඳින් මතක ඇත්තේ මැතිනියට මල් කළඹක් දී තමා විසින් පිළිගත් නිසාය.

ඩික් ඩයස්ගේ මේ නාට්‍යය ලෙස්ටර් පීරිස් දැක තිබුණි. ආ ගිය තොරතුරු කතා කළ පසු ලෙස්ටර් කීවේ දැන් සන්දේශය චිත්‍රපටයට නළු නිළියන් තෝරාගෙන ඇති බවය.

සර් අපි මෙයාව පෑලිස් අප්පුගෙ දුවට ගම්මුදැයි සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය ඇසීය.

එය විනාඩි 2 ක පමණ සුළු චරිතයකි. තම පියා වූ පෑලිස් අප්පු පෘතුගීසීන්ගේ ඔත්තු බලා කන්ද උඩරට කැරලිකරුවන්ට ආරංචි දීම නිසා හිස ගැසුම් කයි. ඔහුගේ දුව ලෙස ජීවරාණිත් ඇගේ මව ලෙස ශාන්ති ලේඛාත් රඟපාන දර්ශනයක් ජීවරාණිට පැවරිණ. මේ විනාඩි 2 චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ සංවේදී බව මතුකළ දර්ශනයක් විය.

ජීවරාණිට චිත්‍රපටවල රඟපෑමට ලැබෙන්නේ පාසල් වියේදීමය. ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනීම ලබමින් සිටි ඇයට පැපොල් රෝගය වැළඳීම නිසා ඇඳකට වී සිටීමට සිදුවිය. රෝගය සුව වී නිවසට වී විවේකීව සිටි අවස්ථාවකයි ඇය නිළි වරම් ලැබුණේ. ඇය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ ‘වීර විජය’ චිත්‍රපටය සඳහාය. 1960 වසරේ ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ ඇය සමග රඟපෑවේ හර්බි සෙනෙවිරත්න, ආනන්ද ජයරත්නය.

ජීවරාණි කුරුකුලසූරිය ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන් මුතු දූව චිත්‍රපටයේ රඟ පෑ කුමාරිගේ චරිතය තවමත් ප්‍රේක්ෂකයින්ට මතකයේ තිබේ. තම සිනමා ජීවිතයේ වඩාත් අසීරු එමෙන්ම වේදනාකාරී අත්දැකීම් රැසකට මුහුණ දුන් චිත්‍රපටය ලෙසද ඇය මේ චිත්‍රපටයේ රඟ පෑ චරිතය බව අපට පවසා තිබුණි.

චිත්‍රපටයේ එන අවසාන දර්ශනය රූප ගත කළේ ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල පහළ මුහුදු වෙරළේ. චිත්‍රපටයේ භයානක මන්ත්‍රකරුවකු වූ කාලිදාස ලෙස රඟපෑවේ තිලකසිරි ප්‍රනාන්දු. ඔහු මා කුඩා කල සිට හඳුනන නිසා මට රඟපෑමට පහසු වුණා. ඔහු මාව මූදු වෙරළ අසළ ගල් කණුවකට තියලා දම්වැලකින් ගැට ගසා බඳිනවා. ඒ දම්වැල බර එකක්. අව් රශ්මියේ මම පැය ගණනක් ඒ ගල් කණුවේ හිටියේ හරිම අපහසුවෙන්. මට හෙල්ලෙන්නත් බැහැ. අව් රශ්මිය මගේ මුහුණටම වැටිලා. මුහුණට මුහුදු රැළි වදිනවා. මූදු වතුර මගේ නහයෙන් ගිහින් කටින් පිට වෙනවා. කට ලුණු රහයි. මා සමග ගිය අම්මා හරිම වේදනාවෙන් බලන් හිටියේ. මේ විදිහට එක ඉරියව්වෙන් පැය කීයක්ද?

දර්ශනය අවසන් වන විට මගේ පිට පැත්තේ පදාසයක්ම තුවාල වෙලා. අන්තිම දර්ශනයේ මේ දම්වැල කඩන්න බෝට්ටුවක ආධාර ගන්නවා. ගාමිණී ෆොන්සේකා හිටියේ මාව බැඳ තිබූ ගල් කණුව බදාගෙන. ජෝ අබේවික්‍රම, ෂේන් ගුණරත්න, ඇන්තනි සී. පෙරේරා මගේ දම්වලට කඹයක් දාලා බෝට්ටුව ස්ටාට් කළා. දම්වැල කැඩෙන්නේ ඊට පස්සෙ. මේ දර්ශනය සාර්ථකව රූප ගත කළත් මා ලැබූ වේදනාව පීඩාව, කියලා නිම කරන්න බෑ.

රන් මුතු දූව තිරගත වුණාම ජීවා ජනප්‍රියත්වයේ ඉහළටම නැගුණා. ප්‍රේක්ෂකයින් මාව දුටු තැන වට කරගත්තා.
ඔයා කවදද ගාමිණීව බඳින්නේ? මේ ප්‍රශ්නය රසිකයෝ ඇයට තැපැල් පත් දහස් ගණනක් මගින් අහලා එවා තිබුණා ලු.

ගාමිණීගේ බිරිඳ සුමිත්‍රා මියයාමට මසකට පමණ ඉහත මා සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අවස්ථාවක ගාමිණීට රසික රසිකාවියන්ට එව් ලිපි ගැනත් කතා කළාය.

ගාමිණී අයියේ ඔයාට ගැලපෙන්නේ ජීවා අක්කා විතරයි. කියලා ලිපි ගොඩක් එවලා තිබුණා.

ගාමිණී මෙයට දුන්න කදිම පිළිතුර තමයි ඉතා ඉක්මනින් අපි දෙන්නා රහසේම විවාහවීම කියලා. ලංකාවේ අතිශය ජනප්‍රිය නළුවා වූ ගාමිණී හා මගේ විවාහයට සහභාගි වුණේ අතේ ඇඟිලි ගණනක පිරිසක්. විවාහයට ගිය මුළු වියදම රුපියල් 50 කට අඩු මුදලක්. එදා සුමිත්‍රා සිනාසෙමින් මට කී කතාව අදත් සිහිපත් වෙයි.

ජීවරාණි රඟපෑ ප්‍රියතම චිත්‍රපට දෙක ලෙස ඇය වරක් සඳහන් කළේ සැනසුම කොතැනද චිත්‍රපටයේ රඟපෑ සාත්තු සේවිකාවගේ චරිතයත්, සෙනෙහස චිත්‍රපටයේ රඟ පෑ අප්‍රමාණ දුක් කන්දරාවක් කරපින්නා ගෙන සිටි මවකගේ චරිතයත්  බවයි. ගායිකාවක් වුවද ඇය චිත්‍රපටයක පසුබිම් ගායනයට එක්වීමට ලැබී ඇත්තේ හතර කේන්දරේ චිත්‍රපටයේය. එහි සංගීත අධ්‍යක්ෂ නාරද දිසාසේකර සමගය.

ලස්සන සැම දේ මොහොතක සුව දේ 
එහි කෙළවර දුක වේ.

තම චිත්‍රපට ජීවිතයේ තවත් අමතක නොවන අවස්ථාවක් ලෙස ඇය හඳුන්වන්නේ රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ සැනසිලි සුවය චිත්‍රපටයි. මේ චිත්‍රපටයේ ඇයට දුම්රියට පැන දිවි නසා ගැනීමට යන අසීරු අවස්ථාවක් තිබී ඇත. මේ දර්ශනය රූගත කර ඇත්තේ දැදුරුඔය පාලම අසලදීය. ඈතින් දුම්රිය එනකොට අධ්‍යක්ෂවරයා ජීවා එහි ඉදිරියට යන ලෙස උපදෙස් දුන්නා. ඒ දර්ශනයේ හැටියට ගාමිණී ෆොන්සේකාට තිබුණේ අන්තිම මොහොතේ ඇයව බේරා ගැනීමට. දර්ශනය රූගත කිරීමට තිබුණේ එකම අවස්ථාවය. එය ශීඝ්‍රගාමී දුම්රියකි. ජීවා ඉදිරියට දිව ගියාය. ගාමිණී පළාතකවත් නැත. ඇගේ පපුව දුම්රියේ ඇන්ජිම මෙන් වේගවත්ය. ඇයට අවදානම වැඩි වැඩියෙන් දැනේ. ආපසු හැරෙන්නත් බැරිය. දැන් දුම්රිය අත ළඟය. ඇය වට පිට බලා ඉදිරියටම යයි. ඇයට තම දෙපා වෙව්ලන බව දැනේ. මෙන්න හිටි ගමන් කොහේද සිට පැමිණි ගාමිණී එතැනට කඩා වැදී ජීවාත් ඇදගෙන බිම ඇද වැටී ඇත.
ඔයා හරි එක්කෙනා, තව පොඞ්ඩෙන් මම මැරෙනවා. ජීවා ගාමිණීට කීවාය.

මම එහෙම කළේ මේ සීන් එක තාත්විකව කරන්න.
ඒක අපූරු තාත්වික බවක්. මේ බලන්න මාව තාම වෙව්ලනවා.

තව පොඞ්ඩෙන් මගේ කෙල්ල මැරෙනවා. ජීවාගේ අම්මා අධ්‍යක්ෂවරයාට දොස් පැවරුවාය.

මීට සමානවම තවත් අත්දැකීමක් ජීවාට ‘ගොපළු හඬ’ චිත්‍රපටයේ දී සිදුව ඇත. මේ චිත්‍රපටයේ ඇගේ පෙම්වතා (ටෝනි රණසිංහ) මගේ නාමලී බැඳි ආදරේ ගීතය ගායනය හරුන් ලන්ත්‍රා ගයමින් ඉන්න අවස්ථාවේ ඇය ගීතයට වශී වී පාරුවක නැගී ඒ දෙසට ඒමට තිබුණි. කැමරා ශිල්පියා සහ කාර්මික පිරිස දහයක් පමණ තවත් පාරුවක සිටි අතර පාරුව සමබරතාව නැතිව වතුරට වැටී ඇත. දඹුල්ලේ දේවහුව පැත්තේ ගැඹුරු වතුර ඇති ගඟක මේ දර්ශනය රූගත වී ඇති අතර ගඟට වැටුණ කාර්මික පිරිස ජීවා සිටි බෝට්ටුවේ එල්ලුණේය. දැන් ජීවාගේ බෝට්ටුව තෙරක් පතරක් නැති මහා ජල කඳ මත රකුසෙකු ලෙස ඇයට පෙනෙනවා. ඇය මර හඬදී කෑගැසුවාය. මේ අවදානම් අවස්ථාව දුටු තවත් බෝට්ටුවක පිරිසක් පැමිණ ජීවා බේරාගෙන ඇත.

කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ ජීවාට හා සන්ධ්‍යා කුමාරිට උස ගොඩනැගිල්ලකට නැගීමට තිබුණි. ඒ කාලයේ (1966) කිසිදු ආරක්ෂක ක්‍රම තිබී නැත. උණ බම්බු දිගේ ජීවා මේ විශාල ගොඩනැගිල්ලට නැග ගියේ බිමවත් නොබලාය. වරෙක ඇයට උණ බම්බු ඉනිමගේදී ලිස්සා ගියෙන් පහළ සිටි අධ්‍යක්ෂකගේ පපුව සීතල කරමිනි. කෙසේ වුවද තට්ටු අටක පමණ ගොඩනැගිල්ලේ උඩටම ගිය ඇය මෙතරම් දුර තමා ආවේ කෙසේදැයි දැනී ක්ලාන්තයක් සෑදී ඇත.

දහස් ගණනකගේ ප්‍රේක්ෂක රසික ප්‍රතිචාර ලැබූ ජීවාට විවාහ යෝජනාවලින්ද අඩුවක් නොතිබූ බව ඇය කීවත් එය අරුමයක් නොවේ. එහෙත් ඇයට පෙම්වතෙක් නොසිටියාය. තම බාල සොහොයුරියන් වූ ශිරානි, ජානකී හා මැණික් සිනමා නිළියන් වීම ගැන ඇයට තිබුණේ ඉමහත් සතුටකි. ශිරානිට අහඹු ලෙස රන්මුතු දූවේ මෙහෙකාරියක ලෙස පෙනී සිටීමට අවස්ථාව ලැබෙන්නේ අක්කා සමග තනියට ගිය අවස්ථාවකය. ජානකීත් අක්කා සමග සසරක හැටි චිත්‍රපටයේ ගිය අවස්ථාවක එම චිත්‍රපටයේ නැටුම් දර්ශනයක රඟපෑමට වරම් ලැබිණ. ඔවුන් සිනමාවේ ඉහළටම ගියහ. ජනප්‍රිය වූහ.

වෛද්‍ය ලංකා විජේරත්න හා ඔහුගේ ඥාති සොහොයුරු නලින් විජේසේකර සමග ජීවා හමුවීම ඇගේ ජීවිතයේ හැඩරුව වෙනස් කිරීමට සමත් විය. නලීන් ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදකවරයෙකි. ගොළු හදවත චිත්‍රපටයේ නිහාල්ගේ චරිතය රඟපෑවේ ඔහුය. ඔහුගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකි. නිහාල් අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය.
ලංකා විජේසේන හා ජීවරාණි විවාහ වීමෙන් පසු (1968) සිනමාවෙන් සමුගෙන ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් හි පදිංචියට ගියාය. ඇගේ සැමියා ජීවා සමග ශීලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑම විශේෂිතය. 1978 වසරේ ඇය සීතාදේවි හා ඍැසබජ්බ්එසදබ චිත්‍රපටවල රඟපෑවාය.

ජීවරාණි රඟපෑ චිත්‍රපට අතුරින් ‘අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, සුජාගේ රහස, දීපශිකා, කළ කළ දේ පළ පළ දේ, සසරක හැටි, යටගිය දවස, දෙලොවක් අතර, සාරවිට, කපටිකම, සොරුන්ගෙන් සොරු, ඉපදුණේ ඇයි, ඔක්කොම හරි, ඉඳුනිල, සිඟිති සුරතල්, බඩුත් එක්ක හොරු, සුමුදු භාර්යා’ කැපී පෙනෙයි.

1942 දෙසැම්බර් 02 වෙනිදා අලුත්ගම උපත ලැබූ ජීවරාණි දැන් අත්තම්මා කෙනෙකි. ජීවා හා ලංකා වැඩිපුර ජීවත් වන්නේ ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවරය. ඔවුනට දියණියන් තිදෙනෙකි. සංජීවනී පෝෂණවේදිනියකි, සේනානි හා ලංකාංගනී වෛද්‍යවරුන්ය.

පුංචි කාලයේ ගෙදර දී නාට්‍ය ලියා නංගිලත් එක්ක නාට්‍යයක් රඟ දැක්වූ ජීවක්කා ඔවුන් පසු කාලයක චිත්‍රපටවල රඟපාන විට සතුටු වූවාය. ඒ කාලයේ ඇය සමග පාසලේ එකට ඉගෙන ගත් මිතුරියන් ගැන දැන ගැනීමට ජීවා තවමත් කැමතිය. අනුලා ද සිල්වා, බ්‍රෙන්ඩා ප්‍රනාන්දු, ක්‍රිස්ටබල් ලැම්බර්ට් යන මිතුරියන් අද කොහේ සිටින්නේදැයි ඇය විමසිලිමත් වන්නීය. ලංකා සහ ජීවා ලංකාවේ නිත්‍ය වාසස්ථානය 13/1 රෝයල් පාක්, රාජගිරියේය.