ඇති නැති පරතරය වැඩිවෙමින් දරිද්‍රතාව උග්‍රවෙමින් ලෝක ජනගහනයෙන් විශාල පංගුවක් දැවැන්ත ජීවන අර්බුදයකට මේ වන විට මුහුණ පා සිටී. ඊට කදිම නිදසුනක් නම් කොරෝනා වසංගතය නිසා හටගත් ආර්ථික අවපාතය හමුවේ ද ලොව ධනපතින්ට ගැටලුවක් නොවීමය. සිදුව ඇත්තේ ඔවුන්ගේ මඩිය තවත් තරවීමය. ලොව ප්‍රධානතම ධනපතින් දස දෙනාගේ ධනය මේ කාලයේදී ඩොලර් බිලියන පන්සීයකින් ඉහළ ගොස් ඇත. ලොව ධනවත්ම සීයට එකේ වත්කම්වල ප්‍රමාණය ඉතිරි සීයට අනූ නවයේම ධනය මෙන් දෙගුණයක් යැයි දැන් වාර්තා වේ. ධනවත්ම සීයට එක නියෝජනය කරන්නේ ලෝක ජනගහනයෙන් කෝටි 7කි. සෙසු ජන කොටස කෝටි 697කි. ඉතින් මෙය සාධාරණ ලොවක්ද කියා අප සිතිය යුතුය.

ප්‍රධානතම ධනපතින් ඉහළ දමාගත් ඩොලර් බිලියන පන්සීයේ ලාභයෙන් පමණක් මුළු ලෝකයටම කොරෝනා එන්නත් ලබාදිය හැකිය. නොඑසේව එයින් හටගත් ආර්ථික අවපාතයෙන් එළියට එන්නට හැකිය. එහෙත් ලෝකයේ ඉරණම වෙනස් කළ හැකි මේ ධනය දැන් තිබෙන්නේ පුද්ගලයන් දස දෙනකු අතේය. දවසකට ඩොලර් තුනකට අඩුවෙන් උපයා ජීවත්වීමට ලෝක ජනගහනයෙන් සියයට 30කට සිදුවෙද්දී සියයට 50ක ජන කොටසක් ජීවත්වන්නේ ඩොලර් පහකට වඩා අඩුවෙන් උපයමිනි.  ඉතින් මෙය සාධාරණ ලොවක්ද?

ලෝකය ගැන කියමින් පිවිසුමක් ගත්ත ද අපේ රටේ තත්ත්වයේ ද ඊට වෙනසක් නැත. අපේ රට දැවැන්ත අර්බුදයක ඇති බව පැහැදිලිය. කොරෝනා නිසා එය උග්‍ර වී ඇත. එහෙත් අර්බුදයට හේතුව කොරෝනා නොවේ. කොරෝනා පැමිණෙන විටත් අප සිටියේ අර්බුදයකය. රටේ ජාතික ආදායම අඩුවීම එහි ප්‍රධාන කරුණකි. 1978 දී දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 24ක් ජාතික ආදායම නියෝජනය කළේය. 1989 දී සියයට 20ක් වූ එය 1995 දී සියයට 16 ක් වී 2010 වනවිට සියයට 14 දක්වා පහළ බැස 2015 දී සියයට 12ක අගයක් ගත්තේය. 2020 දී අගය සියයට 9 ක දක්වා තනි ඉලක්කමකට පැමිණියේය. එහෙත් මෙහිදී උභතෝකෝටික කරුණක් අපට දකින්නට ලැබේ. ඒ ජාතික ආදායම අඩුවෙමින් යද්දී ඒකපුද්ගල ආදායම තුන් හතර ගුණයකින් වැඩිවීමයි. මෙරට ඉහළම ස්ථරයේ සිටින සියයට 20 ක පිරිසක් ජාතික ධනයෙන් සියයට 55ක් අත්පත් කරගනිද්දී පහළම ස්ථරයේ වෙසෙන සියයට 20ක ජනයාට හිමිවන්නේ ජාතික ආදායමින් සියයට 4.5ක් වැනි සොච්චමකි. මේ ලෝකය නිර්මාණය වුණේ කොරෝනා වසංගතයෙන් නොවේ. හැත්තෑව දශකයේ සිටම දියත් වූ ආර්ථික ක්‍රමය නිසාය.

1978 අප තේරුම්ගන්නේ විවෘත ආර්ථිකයේ ආරම්භක කාල පරිච්ඡේදය හැටියටය. එහෙත් වඩාත් නිවැරැදිව කියන්නේ නම් මේ අවධිය යනු වොෂිංටන් සම්මුතියේ එකඟතා ලොව පුරා බලපැවැත්වෙමින් තිබූ කාලයයි. විවෘත ආර්ථික ක්‍රමයට ප්‍රවේශ මාර්ගය සැකසුවේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සහිතව එ.ජා.ප. නායක ජේ.ආර්. ජයවර්ධන මහතාය. නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් මත පදනම් වූ මෙම ආර්ථික ක්‍රමයේ ගාමක බලවේගය හැටියට සැලකුණේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට සහන සැලැසීම හරහා ඔවුන් ඒකරාශි කරගන්නා ලාභය ආයෝජනය කරනු ඇතැයි එම ක්‍රමය යටතේ අපේක්ෂා කෙරිණි.
මෙසේ පෞද්ගලික ධනපතින් වැඩි වැඩියෙන් ආයෝජන කරද්දී රැකීරක්ෂා බහුල වී රටේ දුප්පත්කම අහෝසි වනු ඇතැයි ද ඔවුහු කීහ. ඉහළ සිට පහළට යහපත් ප්‍රතිඵල කාන්දු වන්නේ යැයි කී මේ ක්‍රමය ට්‍රික්ල් ඩවුන් න්‍යාය නම් විය. ඒ අනුව පෞද්ගලික අංශයට සහන දීම සඳහා ආණ්ඩුව ගත් මූලික පියවරක් වූයේ බදු ක්‍රම මුළුමනින් වෙනස් කිරීමය. ඒ යටතේ ධනපතින්ට බදු අහෝසි, බදු කප්පාදු, බදු සහන හා බදු විරාම හිමි විය. විශේෂයෙන්ම 1978 වනවිට ඍජු බදු හෙවත් ආදායම් බදුවල උපරිම සීමාව තිබුණේ සියයට 60කය. එය වේගයෙන් අඩු කළ අතර අද වනවිට එය සියයට 18 දක්වා පහළ බැස ඇත. රාජ්‍ය ආදායම අඩුවීමට බලපෑ තවත් හේතුවක් වූයේ තීරු බදු කප්පාදුවයි. තීරු බදු විශාල වශයෙන් අඩු කළේ වෙළෙඳාම නිදහස් කළ යුතුය යන තර්කයේ පිහිටාය. සුරා බදු ගත්තත් එසේය. ඒ අනුව රටේ ජාතික ආදායම පහළ යෑමට බදු ආදායම අහිමි කරගැනීම කෙතරම් බලපෑමක් කර ඇතිදැයි සිතාගත හැකිය.

රාජ්‍ය අංශය ආර්ථිකයෙන් ඉවත් කරගැනීම ද වොෂිංටන් සම්මුතියේ තවත් එකඟතාවකි. එය ද ලංකාවේ ආර්ථික පරාභවයට බලපෑවේය. 1978 වනවිට වානේ, ටයර්, සිමෙන්ති, රෙදිපිළි ආදී වශයෙන් ශ්‍රී ලංකා රජයට අයිති විශාල කර්මාන්ත ක්‍ෂේත්‍රයක් තිබිණි. ජනතාකරණය ආදී විවිධ සන්නාම යටතේ මේ කර්මාන්ත පෞද්ගලික අංශයට දුන්නේ විවෘත ආර්ථික ක්‍රමය යටතේය. සෝවියට් සංගමයෙන් තිළිණ කළ ඇතැම් කර්මාන්ත පෞද්ගලික අංශයට දී තිබුණේ කුණු කොල්ලයටය. පුනරාවර්තන වියදම්වලට මෙන්ම සංවර්ධන වැඩවලටත් හොඳ රාජ්‍ය ආදායමක් අවශ්‍යය. ඉතින් ඒ රාජ්‍ය ආදායම අහිමි කරගත් රජය ඉන්පසු කළේ ණය ගැනීමය. නිදහස් වෙළෙඳපොළ ගැන පුරෝකථන කරමින් එදා අපේක්ෂා කළ ප්‍රධාන අංගයක් වූයේ අපනයන ආර්ථිකයක් නිර්මාණයයි.

එහෙත් අවසානයේදී සිදුවුණේ කුමක්ද? අපනයනයෙන් ලබාගන්නා ආදායම මෙන් දෙගුණයක ධනයක් ආනයන සඳහා විදේශයන්ට වැය කිරීමය. කෙටියෙන් කිවහොත් ආනයන ආර්ථිකයක් නිර්මාණය කරගැනීමය. එහි ප්‍රතිඵලය ආනයන අපනයන අතර පරතරයෙන් අවාසිදායක වෙළෙඳ ශේෂයකි. මේ අතර අපට විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය ද අඩුව තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප්, සංචාරක කර්මාන්තය, තේ, පොල්, රබර් ආදී අපනයන ආදී මූලාශ්‍ර කීපයකට සීමා වී ඇති අපේ විදෙස් විනිමය වේගයෙන් අඩුවෙමින් ඇත. මේ නිසා නැවතත් අයවැය හිඟයක් ඇති වන අතර එය පියවා ගන්නේ නැවතත් ණය ගැනීමෙනි.

1978 වනවිට ලංකාවේ බාහිර ණය පංගුව තිබුණේ ඩොලර් මිලියන 740ක් හැටියටය. වසර දහයක ඇවෑමෙන් 1988 වන විට එය ඩොලර් මිලියන 5000 දක්වා වැඩි විය. 2020 වනවිට එය ඩොලර් මිලියන 57 000කි. අභ්‍යන්තර ණය පංගුව ට්‍රිලියන 15ක් පමණය.

මේ විශාල ණය බර ගෙවාගත නොහැකිව සිටින ලංකාව නැවතත් කරන්නේ අලුතින් ණය ගැනීමය. රජය සතු ව්‍යවසාය වෙනත් පාර්ශ්වයන්ට පවරන්නට සිදුවන්නේත් මෙහි ප්‍රතිඵලයක් හැටියටය.
කොරෝනා වසංගතය විසින් සිදුකරනු ලැබුවේ මෙකී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරනු ලැබීමය. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් අඩුවෙද්දී සංචාරක කර්මාන්තය කඩාවැටෙද්දී රට අභ්‍යන්තරයේ සියලු නිෂ්පාදන ක්‍ෂේත්‍රවලට ද වසංගතයේ බලපෑම එල්ල විය. මේ නිසා සැලකිය යුතු ජන පිරිසක් දැන් සිටින්නේ සිය ආදායම් අහිමිවය. මෙයින් වැඩිපුරම බැටකන්නෝ ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට හැටක් නියෝජනය කරන අවිධිමත් අංශයේ ශ්‍රමිකයෝය.

සියයට 15 ක් වූ රාජ්‍ය අංශයටත් සියයට 25 ක් වූ විධිමත් පෞද්ගලික අංශයටත් කිසියම් හෝ වැටුපක් ලැබේ. ජනගහනයෙන් සියයට 25 ක පමණ පිරිසක් රාත්‍රියට නින්දට යන්නේ කුසට අහරක් නැතිවය. මුළු ලෝකයේම තත්ත්වය මෙයයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නොබෝදා පැවසුවේ ද ලෝකය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් ඇති බවය. එයින් පළමු වැන්න කොරෝනා වසංගතය යැයි කී ඔහු දෙවැනි කරුණ හැටියට දැක්වූයේ දිළිඳු රටවල තත්ත්වයයි. තෙවැනි කරුණ හැටියට දැක්වූයේ ගෝලීය උණුසුමයි. මේ කරුණු තුනට අමතරව ගත්ත ද ලෝක පරිමාණයෙන් උග්‍ර වන අර්බුද නැතිවා නොවේ. උදාහරණයකට වාසභූමියක් නැතිව ජීවත් වන සරණාගතයන්ගේ ප්‍රශ්නය සරල නැත. රටක් නැතිව එහා මෙහා නන්නත්තාර වී සිටින ජනකාය මිලියන 80 ක් තරම් සංඛ්‍යාවෙන් විශාලය. පලස්තීනයේ පමණක් එසේ මිනිසුන් සරණාගතයන්ව සිටින්නේ වසර ගණනක් තිස්සේය. මේ තත්ත්වයන්ට හේතු වී තිබෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයි. ඉරාකයෙන්, සිරියාවෙන්, ලිබියාවෙන් මේ ආකාරයට ජනයා විතැන් වී සිටින්නේ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ නිසාය. නොඑසේව ඔවුන්ගේ දේශපාලන, ආර්ථික ව්‍යාපෘතිවල බලපෑම් නිසාය. ගෝලීය ත්‍රස්තවාදය යනු පැහැදිලිවම එක් අවධියකදී සෝවියට් සංගමයට එරෙහිව අධිරාජ්‍යවාදීන් ඇට වූ මර උගුලකි. අද එම ව්‍යාපෘති ඔවුන්ගේ පාලනයෙන් බැහැරව ස්වායත්ත වී තිබේ. පිහි ඇනුම්, රිය අනතුරු, වෙඩි තැබීම්වල සිට බෝම්බ ප්‍රහාර දක්වා දියත් වන ගෝලීය ත්‍රස්තවාදයේ මුහුණුවර විවිධය. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද ඊට එක් නිදසුනකි.

ලංකාවේ අර්බුදයට අදාළව ගතහොත් අප විමසිය යුත්තේ මේ ඇත්ත රටට නොකියන්නේ ඇයිද කියාය. අයවැය වාර්තාවේදී මේ කරුණු සාකච්ඡා නොකරන්නේ ඇයිද කියාය. ඇත්ත වශයෙන්ම රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පළමුව කළ යුත්තේ මෙබඳු අර්බුදයක් ඇති බව ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමය. ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට නම් ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම අත්‍යවශ්‍යය. එසේ නම් මේ අර්බුදය නොසඟවා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත යුතුය.

එහෙත් ඔවුහු ඊට කැමති නැත. ඊට හේතුව නම් ප්‍රශ්නය ගැන කතා කරන්නට යාමේදී ගත වූ වසර හතළිහක් වැනි ඉතිහාසයෙහි පක්ෂ භේදයෙන් තොරව මෙම තත්ත්වය නිර්මාණයට සියලු පාර්ශ්ව දායක වී ඇති බව පිළිගැනීමට සිදුවීමය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කියා වෙනසක් නැතිව බැලුවහොත් මේ සියලු දෙනා ගමන් කර ඇත්තේ මූලික ආර්ථික රාමුවකය. එය නම් නව ලිබරල්වාදයයි. අප දැන් සිතිය යුත්තේ තවදුරටත් අප මේ පාරේම යනවාද කියාය. රෝගයකට නියම කරන ඖෂධ ඇතැම් අවස්ථාවල වරදින්නට ද පුළුවන. එහෙත් එවිට එම ඖෂධයම වැඩි මාත්‍රාවකින් දෙන සිරිතක් නැත. නව ලිබරල්වාදය නමැති පිළිතුරත් එසේය. කොරෝනා වසංගතය විසින් සිදුකරනු ලැබුවේ මෙම අර්බුදය වඩාත් විචිත්‍රවත් ලෙස ලෝක පරිමාණයෙන් හෙළිදරව් කරනු ලැබීමය.
තට්ටු මාරුවට හොරකම් කරන තට්ටු මාරුවට වංචා කරන දේශපාලන ක්‍රමය ද මේ නව ලිබරල්වාදී වැඩපිළිවෙළේම ප්‍රකාශනයකි. එදා මහ බැංකු වංචාවයි. අද සීනි බදු වංචාවයි. පුද්ගලයන් මාරු වීම හැරුණු විට ක්‍රමයේ වෙනසක් නැත.

ආනයන සීමා කර ග්‍රාමීය කෘෂිකර්මාන්තය අංශයෙන් යම් යම් වැඩපිළිවෙළ දියත් වීමක් අපට දකින්නට ලැබේ. ඒවා නරක නැතත් පැලැස්තරය. මූලික ආකෘතියේ වෙනසක් නැතිව මේ ගමන වෙනස් කළ නොහැකිය. නිදසුනකට ගතහොත් මේ ආණ්ඩුව ද බලයට පැමිණි පසු ඍජු බදු අඩු කළේය. ඇත්තටම දැන් බදු ගෙවන්නෝ මේ රටේ සාමාන්‍ය මිනිස්සුය. ජීවන අරගලය හමුවේ ඔවුන් සිටින්නේ දැඩි පීඩාවකිනි. අඩු කරන්නට නොහැකි යැයි කියන හාල් මිල, එළවළු මිල අඩු කරන්නට සමුපකාර ක්‍රමය හරහා කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි.

අප නිදහස් වෙළෙඳපොළ වසා දමන්නට කියන්නේ නැත. එහෙත් ධන කුවේරයන්ගෙන් විශාල වශයෙන් බදු අය කර පොදුජනයා පීඩාවෙන් මුදාගැනීම කළ යුතුය. ඒ සඳහා විධිමත් සැලසුම් අවශ්‍යය. එහෙත් දැනට ප්‍රතිපත්ති සම්පාදකයන්ට එවැනි සැලසුමක් නැත. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති නැත. භූමිය මෙන් විසි තුන් ගුණයක් වූ දේශීය මුහුද වුව දැන් තිබෙන්නේ අත්හැර දමාය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය යනු මේ අර්බුදය මනාව ප්‍රකාශයට පත්කරනු ලබන සිදුවීමකි. කොළඹ වරාය යනු මේ රටේ වමේ ව්‍යාපාරය දැවැන්ත අරගලයකින් ජනසතු කළ ජාතික සම්පතකි. අවසානයේදී බණ්ඩාරනායක මහතාට ජීවිතය දෙන්නට සිදුවුණේ ද ඒ නිසාය.

එහෙත් ඒ අරගලයෙන් රටට පමණක් නොව ලෝකයටම දියුණු වරායක් නිර්මාණය විය. එහි සංවර්ධනය කළ යුතු කොටසක් වෙනුවෙන් ඩොලර් මිලියන 700 කට අවුරුදු තිස් පහක කාලයකට එයින් සියයට 49ක පංගුවක් පෞද්ගලික අංශයට දීම යනුම රාජ්‍ය අයිතියෙන් නිදහස්වීමය. මේ පරණ කතාවමය.

ඉන්දු ඇමෙරිකානු භූ දේශපාලනික වුවමනා ඉටු කරමින් ඉන්දීය සාගරයේ බලය අත්පත් කරගැනීම අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවයි. එකී අධිරාජ්‍යවාදී වුවමනා පිටුදැක ජනතා ප්‍රශ්නවලට රජය ඍජුවම මැදිහත් වීම ඉක්මනින් විය යුතුය. කොමියුනිස්ට් පක්ෂය හැටියට අප අවධාරණය කරන්නේ තවදුරටත් මේ පාරේම යන්නට ඉඩ දිය නොහැකි බවය. රාජ්‍ය වගකීමෙන් නිදහස් වන නව ලිබරල්වාදී ගමන් මගින් මිදී විකල්ප මගක් ගතයුතු බවය.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)