අයවැයට දෙවනවර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලෙස කෙන්යාව බලා පිටත්ව යෑමට ප්‍රථමයෙන් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව ජනපති සිරිසේන මහතා පවසා තිබිණ. එසේ නොවී නම් ජනපතිවරයාට සහ ජනපතිවරයා යටතේ ඇති අමාත්‍යංශයවලට අයවැයෙන් වෙන්වන මුදල් ඔහුට අහිමිවීමට තිබිණ. පුවත්පත් සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් ජනපතිවරයාට පක්ෂව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය තිලක් සියඹලාපිටිය මහතා කියා සිටියේ මෙවැන්නකි.

“පසුදිනට යෙදී තිබුණු ජනපති වැය ශීර්ෂයේ ඡන්ද විමසුම ජයග්‍රහණය කරවන්නයි අපි අයවැය දෙවන වර කියවීමට ඡන්දය දෙන්න තීරණය කළේ.

ජනපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් මුදල් ප්‍රමාණයන් ගණනාවක් වෙන්කර තිබෙනවා. අපට එක් එක් අදහස් තිබෙනවා වුනත්, පක්ෂය තීරණයක් ගෙන තිබෙන අවස්ථාවක අප ඒ තීරණය අනුව කටයුතු කරනවා” යයි සියඹලාපිටිය මහතා කීවේය. 

එසේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය දෙවන වර කියවීමට විපක්ෂව ඡන්දය භාවිතා කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ ඇයි ? මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයේ අවසන් කියවීමටත් පක්ෂව පෙනී සිටිනු ඇති බව ද? 

නමුත් මෙහි පරස්පර විරෝධීතාවයන් ගණනාවක්ම ඇත. ඇතැම් ඒවා අතිශයින් බරපතලය. ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් කළ මෙම ප්‍රකාශයෙන් එය පැහැදිලි වේ.

“අයවැය දෙවන වර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නයි කියා ජනපති සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ නැහැ”
ඇත්තටම පුදුමය. එම ආරංචි මාර්ගය වැඩිදුරටත් මෙසේ කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වෙන නිසා සාමාජිකයනුත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ නිර්පාක්ෂික පදනමක ඉදන් කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා. අපි අපේ රැස්වීම්වල දී අයවැය ගැන සාකච්ඡා කළා. එකේ ඇත්තටම හොඳ යෝජනා තිබුණා”

“අපි අයවැය ඉතාම සමීපව අධ්‍යනය කරමින් සිටිනවා. තෙවන වර කියවීම සම්මත කර ගැනීම තමයි අයවැයට සමත් වෙන්නට තිබෙන ලොකුම විභාගය. සාකච්ඡාවලින් අනතුරුව අපි තීරණයක් ගන්නවා” යයිද හෙතෙම පැවසීය. 

මෙම අදහස් දැක්වීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල වනු ඇති බව පැහැදිලිය.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන සිදුවීමට සම්බන්ධයැයි මෙරට විමර්ශන අංශවලට අවශ්‍යම පුද්ගලයා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව අතට පත් නොකළේයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම සිංගප්පූරුව විවේචනය කළේය. එසේ කළේ ඇයි දැයි මහින්ද රාජපක්ෂ මහතා ජනපති සිරිසේන මහතාගෙන් විමසා ඇත.

තමා මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පෞද්ගලිකවම එරට අගමැති ලී සියෙන්ග් ලූන්ග් මහතා හමුවූ අවස්ථාවේදී ඉල්ලීමක් කළ නමුත් හේතුවක් නොමැතිව එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ඔවුන් ප්‍රමාද කරමින් සිටින බවත් ජනපතිවරයා පිළිවදන් දී තිබේ.

සිය රටෙහි පුරවැසියෙකු වන පුද්ගලයෙක් විදෙස් රටක අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවකු කර තිබෙන අවස්ථාවක හැරෙන්නට, විදෙස් රටකින් නඟන චෝදනාවලට මුහුණදීම සදහා පුරවැසියෙක් එම විදෙස් රටට භාර දීමට සිංගප්පූරුව කටයුතු කර ඇති අවස්ථාවක් පිළිබදව දැනගැනීමට නැත. 

ජනපතිවරයා සිංගප්පූරු අගමැතිවරයා අතට පත්කර තිබෙන්නේ මහේන්ද්‍රන් සම්බන්ධයෙන් මෙරට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු අඩංගු ලිපිගොනුවක් පමණකි. අනතුරුව ඔහු කාරණා ගණනාවක් ගෙන හැර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩිව විවේචනය කර තිබේ. එක් ආරංචි මාර්ගයක් සදහන් කළේ ජනපතිවරණය හෝ ජනපති අපේක්ෂකයින් පිළිබදව සිරිසේන මහතා හෝ රාජපක්ෂ මහතා හෝ කිසිදු අදහසක් නොදැක්වූ බවය. මේ නිසාම ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබදව කිසිදු සඳහනක් දෙදෙන අතර සාකච්ඡාවේ නොතිබිණ.

කෙසේ නමුත් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතාට යම් ඉගියක් දුන් බවද ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේය. එහෙත් එය තහවුරු කරගැනීමට හැකියාවක් නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලිය අරබයා පවතින ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයා අනුගමනය කරමින් සිටින ස්ථාවරය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වීමට දොරටු විවර වනු ඇතැයි පළව තිබූ අදහස්වලට නැවත වතාවක් තටු ලැබී තිබේ. ජනපතිවරයා ගන්නා එවැනි පියවරක් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක උපත සනිටුහන් කරනු ඇත.

පසුගිය සතියේ බෙහෙවින් සාකච්ඡාවට ගැනුණු තවත් මාතෘකාවක් වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවලියයි. ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වය යටතේ, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝව පසුගිය බදාදා එම යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය. 

බි්‍රතාන්‍යය, කැනඩාව සහ ජර්මනියේ මෙරට නියෝජිතයෝ පසුගිය සෙනසුරාදා (16) විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා හමුවූ අතර, ශ්‍රී ලංකාව මෙම දෙවැනි යෝජනාවලියේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වනු ඇතිදැයි ඔවුහු විමසා සිටියහ. එක්සත් ජාතික පෙරමුණ පෙර අවස්ථාවක ලබාදුන් සහතිකය වෙනස් නොකරන බව මාරපන මහතා ඔවුන් හමුවේ අවධාරණය කළේය. 

නව යෝජනාවලියෙන් 2015 වසරේ දී ඉදිරිපත් වූ 30-1 යෝජනාවලියේ අන්තර්ගත නිර්දේශයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තවත් වසර දෙකක කාලයක් හිමිකර දී තිබේ. දෙමුහුන් අධිකරණ හරහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ කොටි ත්‍රස්වාදීන් සිදුකර ඇතැයි චෝදනා නැගී ඇති යුද අපරාධ විභාග කිරීමද මෙම නිර්දේශයන් අතරට ඇතුළත්ය. පළමුවර සම අනුග්‍රහකත්වය දැක්වූ අවස්ථාවේදී ද මෙම කාරණය ඉස්මතු කැරුණු අතර, මෙවර ද එය නැවත වතාවක් සදහන් කර තිබේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ ජනපති සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා දූත පිරිස හා හමුවක් පැවැත්විණ. බදාදා එහි දී සිදුකිරීමට තිබූ දේශනයේ සිංහල පිටපතක් ජනපතිවරයා අතට දෙනු ලැබුණු අතර ඔහු එයට වෙනස්කම් කිහිපයක් සිදුකළේය. එම වෙනස්කම්වලට එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ද අනුමැතිය හිමිවිය. 

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දේශනය කළේය. එදිනම සන්ධ්‍යාවේ මාරපන මහතා ප්‍රමුඛ ඔහුගේ ශ්‍රී ලංකා දූත පිරිස ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිනී මිෂෙල් බැචෙලොට් ජේරියා ද හමුවිය.

ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ නවතම යෝජනාවලියට සම අනුග්‍රහක්තවය දැක්වීමේ තීරණය ද අගමැති වික්‍රමසිංහ මහතාම ගනු ලැබූවක් බව ජනපතිවරයා, රාජපක්ෂ මහතා හමුවේ පවසා ඇත. කොටින්ම, අගමැති වික්‍රමසිංහ මහතා,  සත්‍ය හා සංහිදියා කොමිසමේ සාමාජිකයෙක් වන මනෝ තිත්තවැල්ලට මහතාට (මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයකු ද වන) ශ්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිත තැනට ලිපියක් යවමින් තමා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තීරණය ඔහුට දැනුම්දෙන ලෙස ද උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය හෝ කිසිත් දැන සිට නැත. 

මෙම ලිපිය යවා ඇත්තේ ජනපති සිරිසේන මහතා රටේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත්කර, පාර්ලිමෙන්තුව විසිරුවා හැර, ව්‍යාකූල පාලනයක් ගෙන ගිය දින 51ක සමයේ බව පසුව අනාවරණය විය. හිටපු එක්සත් ජාතික පෙරමුණු අධිකරණ අමාත්‍ය සහ වර්තමානයේ ජනපතිවරයාගේ නීති උපදේශකයකුද වන විජයදාස රාජපක්ෂ මහතා තිත්තවැල්ල යැවූ මෙම ලිපියේ ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේ ගෙන හැර දක්වමින්, එවන් ලිපියක් යැවීමේ අරමුණ අභියෝගයට ලක් කළේ ය.

රාත්‍රී ආහාරය සදහා රැඳෙන ලෙස ජනපති සිරිසේන මහතා උදක්ම ඉල්ලා සිටි නමුත් වෙනත් කටයුත්තක් සදහා යා යුතුව තිබෙන බව පැවසූ රාජපක්ෂ මහතා එම ඉල්ලීම සුහදව ප්‍රතික්ෂේප කළේය. 

අනතුරුව කාලය පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිසක් හා ජනපතිවරයා අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුවකටය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක ජී.එල්.පීරිස්, වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක් සහ ලංකා සමසමාජ පක්ෂ සාමාජිකයෙක්, ඔවුහු අතර වූහ. මේ දක්වා අනාවරණය නොකළ කාරණා කිහිපයක්ම ජනපති සිරිසේන මහතා ඔවුන් හමුවේ හෙළි කළේය. 

අගමැති වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කිරීමට තමන් ගත් තීරණය හමුවේ, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් අරමුදල් අත්හිටුවීමට තීරණය කළ බවත්, ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජස් කෝර්පරේෂන් වෙතින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ අරමුදල් ද අවලංගු වූ බවත්, ජනපතිවරයා පැවසුවේය. 

මෙම තත්ත්වය මධ්‍යයේ එවක අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරීත්වය තහනම් කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජනපති සිරිසේන වෙත සැළසුනු එක්තරා ආකාරයක වාසියක් විය. එම නියෝගය හමුවේ රටට හානිදායක වන අන්දමින් ගැනීමට නියමිතව තිබූ තවත් මෙවැනි පියවරයන් බොහෝමයක් වැළකී ගියේය.