2019 මාර්තු 11 Daily FT පුවත් පතේ පළ වූ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ලියු Khema's Boy ' does it: Comes up with a         non- election budget in an election year ලිපියේ සිංහල පරිවර්තනය

 2019  අයවැය ඉදිරිපත් කිරීමට පෙර බොහෝ සෙයින් අනුමාන කළේ එය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් විය හැකි බවයි. පෙනෙන තෙක් මානයේ අවම වශයෙන් මැතිවරණ  දෙකක් දිස්වෙන අතර දැන් “ඛේමාගේ කොලුවා”  ලෙස හඳුන්වන අමාත්‍ය මංගල සමරවීර සොබාවිත ලෙසම තම පක්‍ෂයේ සගයන් වෙතින් එල්ලවෙන බලපෑම්වලට යටත්වී, ඡන්ද දායකයන් සනහනු පිණිස සුමිරිහි දෙයින් අයවැය පුරවාලනු ඇතැයි බොහෝ  දෙනා සිතූහ. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු දා පටන් ශ්‍රී ලංකාවේ පැවති සම්ප්‍රදායික වූ පටු නිදහස  එයයි.

පාලනය කරන පක්‍ෂය කරන්නන් වාලේ ආර්ථිකය මත යැපෙමින් තමන්ගේ පාලනයට හිතකර දේ පමණක් කරමින් හිඳ මැතිවරණයක් පැමිණි විගස හදිසියේ අඩ නින්දෙන් නැගිට ගැනීම සාමාන්‍ය  සිරිත වූ​ෙය්ය. ඡන්ද දායකයාගේ පසුම්බිය මුදල්වලින් සහ වෙනත් දිමනාවලින් පිරවූ විට පාලක පක්‍ෂයට තම අකර්මණ්‍ය බව  සඟවාගෙන නැවත තමන්හට ඡන්දය දීම සඳහා ඡන්දදායකයා චාටුවෙන් කැමති කරවා ගත හැකි බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පොදුවේ පිළිගැනීමක් තිබිණි. මෙය ඇත්තෙන්ම දේශපාලන සහ ආර්ථික දැක්මෙන් බැලූ විට ඉතා අසාර්ථක ක්‍රමවේදයක් බව පැහැදිලිය.

 දේශපාලන වශයෙන් මෙය අසාර්ථක වන්නේ විරුද්ධ පක්‍ෂ රජය විසින් පොරොන්දු වූ සහන දෙගුණ කර දෙන්නට  පෙළඹෙන බැවිනි. ආර්ථිකය පැත්තෙන් මෙය අසාර්ථක වන්නේ සීමිත සම්පත් තුළින්  වඩාත් දරාගත හැකි මට්ටමකට එන්නට ඒ මගින්  අවස්ථාව උදා නොවන නිසාය. එහෙත් අයවැයක් මගින් තමන්ට සහන සැපයීම අනිවාර්යය දෙයක්  බව  ජනතාවගේ මොලයට  කා වද්දා තිබේ. අයවැය ගෙන එන කාලයේදී  එම නිසා ඔවුහු අපේක්‍ෂා  දල්වා ගෙන බලා සිටිති.

මේ ආකාරයට, 2019 අයවැය ගෙනා අලුත දිවයින පුරා, pepper cube Consultants  ආයතනය  කළ සමීක්‍ෂණයකින් තමන්ට සහන ලැබෙතැයි 97%ක් ජනයා විශ්වාස​ෙයන් බලාපොරොත්තු තබා ගෙන සිටි බව අනාවරණය වූයේය. ඒ ආකාරයට “ඛේමාගේ කොලුවා”  ගෙන ආ අයවැයෙන් ඔවුන්ට සහන නොලැබී පරිභෝජනය පදනම් කොට ගත්, සුමිහිරි වදන් එහි නොමැති නිසා ජනතාව බලාපොරොත්තු සුන්කර ගත්තෝය.

සාමාන්‍ය පාරිභෝගිකයාට ‘සහන මල්ලක්’ පිරිනැමූ විට එය මැතිවරණ අයවැයක් බවට පත්වේ. සාමාන්‍ය පාරිභෝගිකයාට පිරි නැමෙන සහන මල්ලේ නිතර ඇත්තේ හාල්මැස්සෝ, අල,පරිප්පු, භූමිතෙල්, ටින්මාළු ආදියේ මිල අඩු කිරීමකි. කලින් ඉහළ තීරු බදු අයකළ භණ්ඩ ආනයනය කිරීමේදී අය කරන බද්ද අඩුකිරීමෙන්  මේවායේ  මිල කෘත්‍රිම ලෙස අඩුකිරීම එහිදී සිදු වුයේය. මේ ආකාරයට රජයට මැතිවරණ ජය අත්කරගැනීම සඳහා බදු ව්‍යුහය සංශෝධනයට ලක් කරනු ලැබිණි. මේ ආකාරයට ලැබුණේ  තාවකාලික  සහනයකි. සහන පැකේජය දිගින් දිගටම පවත්වාගෙන  යා නොහැකි වන රජයට නැවත බඩු මිල වැඩිකිරීමට සිදුවේ.

 මේ ආකාරයට සහන මල්ලෙන් සිදුවන්නේ කෙටි කාලීන සහනයක් ලැබීම පමණකි. කාලයත් සමඟ සහනය වියැකී යයි. ඉතිරිවන්නේ හිස් මල්ල පමණකි. දැන් හිස්මල්ල පිරවීමට විරුද්ධ පක්‍ෂය බලයට එනතුරු ජනයා බලා සිටිති.  අතීතයේ පැවති මැතිවරණවලදී ශ්‍රී ලංකාවේ පුන පුනා  සිදුවූයේ මෙම චක්‍රිය ක්‍රියාවලියයි.

 මේ අරුතින් ගත් කල 2019 අයවැය, මැතිවරණ අයවැයක් නොවන්නේය. කෘත්‍රිම ලෙස මිල අඩු කරනු වෙනුවට, පරිභෝජන වලින් සම්පත් ආයෝජන  කරා හෙමිහිට ඇද ගැනීමට එයින් උත්සාහ කොට තිබේ. මෙය ආර්ථික වර්ධනය පැත්තෙන් ශ්‍රී ලංකාව දැනට ඉන්නා  අවධියේදී අනිවාර්‌යෙන්ම ඉවහල් කරගත යුතු ක්‍රමෝපායකි. ඛේමාගේ කොලුවාට  උරුමයෙන්ම හිමි වූයේ 2013 පමණ පටන් ලෙඩ වන්නට පටන් ගත් බව පෙන්නුම් කළ ආර්ථිකයකි. ශ්‍රී ලංකාවේ  සංවර්ධනය සම්බන්ධයෙන් 2019 දක්වා යාවත්කාලීන කොට ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ මෙය පැහැදිලිව හුවා දක්වා තිබේ. එම වාර්තාව දැනට සති තුනකට ඉහතදී නිකුත් වූයේය.
ශ්‍රී ලංකාවේ  ප්‍රතිපත්ති සම්පාදනය  කරන බලධාරීන්ට එහි ඇති රාජ්‍ය තාන්ත්‍රික  භාෂාවෙන් ප්‍රබල පණිවිඩ දෙකක් ලබාදී ඇත. ඉන් පළමුවැන්න නම් 2013 න් පටන් ගෙන රටේ ආර්ථිකය පෙන්නුම් කරන පරිහානීය ලක්‍ෂණ සැලකිය යුතු ගොඩ ඒමකින් තොරව 2021  දක්වා අඛණ්ඩව පවතින බවයි.  දෙවැන්න රටේ පහත වැටෙමින් පවතින  ශ්‍රම බලකාය  සහ  ශ්‍රම ඵලදායිතාව, ඊළඟ වසර දෙක තුන තුළදී විභව ප්‍රගතියට, (සෘණාත්මක ලෙස) අහිතිකර ලෙස බලපෑම් කරන්නේය යන්නයි. මීළඟ දශක කීපයේදී පොහොසත්  රටක් බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගන්නට නම් මේ ප්‍රවණතාව වෙනස්  කිරීම  උදෙසා ශ්‍රී ලංකාව ඉක්මන් පියවර ගත යුතුව තිබේද යන්න මෙම පණිවිඩ දෙකෙන් ඇඟවෙයි.

 යුද්ධය නිමාවූ විගසම වාගේ සෑහෙන තරම් උද්‍යෝගයක් ආර්ථික ක්‍රියා කාරකම්වල පෙන්නුම් කළේය. රටේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 8% ටත් වඩා ඉහළ මට්ටමකට ගියේය. කෙසේ වුවද එම කාලය තුළත් ඉන් පසු එළඹි වසර කිහිපය තුළත් රටේ ඇතිකළ ආර්ථික ක්‍රමෝපාය වූයේ ස්වදේශීය වෙළෙඳපොළ වර්ධනය මත පදනම් වූ ආර්ථිකයක් ඇති කරලීම සඳහා අවධානය යොමුකළ විධික්‍රමයකි.
 මේ මගින් රටේ අපනයන වර්ධනය කෙරේ. අඩු අවධානයක් ඇති වන්නට පටන් ගැනුණේය. මේ නිසා දළ දේශීය නිෂ්පාදන අනුපාත (GDP)ත්, ගෝලීය අපනයනයත් පහත වැටුණේය.කර්මාන්ත වර්ධනයේදී දේශීය වෙළෙඳපොළ වර්ධනය බල පාන්නේ එක්තරා ඉමක් දක්වා පමණකි. එමනිසා 2012න් පසුව රටේ ප්‍රමාණවත්  අයවර්ධනයක් පවත්වා ගත නොහැකි වුයේය. ඉන් පසු එළඹුණු කාල පරිච්ඡේ‌දයේදී ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහත වැටී මෙයට පෙර අත්පත් කරගත් ප්‍රමාණයෙන් අඩක් දක්වා අඩු වූයේය.
 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවට මෙම පහත වැටීමේ ප්‍රවණතාව වළක්වා ගන්නට නොහැකි විය. 2015,සියයට 5 කින් එම වර්ධන වේගය 2017 දී 3.1% දක්වා අඩු වූයේය. 2018 හොඳම තක්සේරුව අනුව එය 3% පමණ වේ. ඊළඟ තුන් අවුරුද්ද තුළ එම පහත වැටීමේ ප්‍රවණතාව දිගටම පවතින බවද පෙන්නුම් කෙරේ. මේ අතර අඩු අපනයන සහ වැඩිවන ආනයන නිසා අපනයන ඉපැයීම්වල 90% පමණ යෝධ ශේෂ හිඟයක්  ඇතිවී තිබේ. පිටරට සේවයට ගිය අයගෙන් සහ විදේශියකයන්ට අලෙවි කරන සේවා වැනි අංශ මගින්  (සාම්ප්‍රදායික මුලාශ්‍ර වලින්) එම හිඟය පියවා ගත නොහැකිය. එම නිසා රටට ලැබෙන විදේශ විනිමය ඉපයීම්, පිටට වියදම් වන විදේශ විනිමයට වඩා ඉතා පහළ මට්ටමක පවතී. මේ නිසා රජයට සිදුවන්නේ එම හිඟය පියවා ගැනීමට නැවත ගෙවිය යුතු විදේශ ණය ලබා ගැනීමටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශ ණය කන්දරාව බහුල ලෙස ඉහළ යයි. මෙහි අවසාන ප්‍රතිඵලය  වන්නේ රුපියලේ අගය පහත වැටීමට ලක්වීමයි.

 රජයේ මුල්‍ය තත්ත්වයද යහපත් අඩියක නොපවතී. රාජ්‍ය ආදායම්වල යම් වර්ධනයක් පැවතියද, පුනරාවර්තන වියදම් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රධාන වශයෙන් එය සිදුවීමට  පටන්ගෙන ඇත්තේ  විදේශ ණයවලට පොලී  ගෙවීමට සිදුවීම නිසාය. පෙර පැවති රජය සමයේදී විදේශ ණය  ගැනීම සෑහෙන පමණින් ඉහළ ගොස් ඇත. මෙම පොලී අනුපාතිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2015දී 4.8%ක්ව තිබී එය 2018 දී 5.9% දක්වා වැඩිවී ඇත.

සංවර්ධනයට අහිතකර ලෙස බලපාන මෙම තත්ත්වයේ ස්වාභාවික ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා අනිවාර්ය සාධකයක් වූ රජයේ දායකත්වයෙන් සැපයිය යුතු ප්‍රාග්ධනය පහත මට්ටමකට වැටීමයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5 % කට වඩා වැඩි කරන්නට නොහැකි වී තිබේ. අනෙක් අතට ජනතාවට සමෘද්ධිය උදාකරලීමට ඇති අවශ්‍යතාවයේ බර සෘජුවම පෞද්ගලික අංශය මතටද පත් වේ. 2018 දී තම පළමු අය වැය ඉදිරිපත් කිරීමේදීත් මුදුන කප්පාදු කොට මාස නවයක් උදෙසා 2019 ලුහු අය වැය සකස් කිරීමේදීත් ඛේමාගේ කොලුවා මුහුණ පෑ අභියෝගය මෙයයි. මේ ආකාරයට ඡන්දදායකයා සනහන මැතිවරණ අය වැයක් මේ වසර උදෙසා ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි විය. 

මේ අනුව 2019 සඳහා වියදම් ශික්ෂණය කරන්නා වූ අය වැයක් කලින් ඔහු හඳුන්වා දුන්නා සේම සකසන්නට ඔහුට සිදු විය. මෙය සහන අපේක්ෂාවෙන් සිටි ඡන්දදායකයාගේ බලාපොරොත්තු කඩ වෙන අය වැයක් වුවත් ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති තත්ත්වය අනුව අනිවාර්ය අවශ්‍යතාවකි. 

මම මීට සති දෙකකට පෙර පළ කළ ලිපියකින් 2019 අය වැය නව පණක් ගෙන දෙන අය වැයක් විය යුතු බවට අනතුරු ඇඟ වූයෙමි. මීට පෙර ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කළ සියලුම අය වැය පරිභෝජනය පදනම් කර ගත් අය වැයයි. සර්පිලාකාරව වරින් වර වර්ධනය අඩු වීමේ උගුලේ ශ්‍රී ලංකාව පැටළුණේ නවෝත්පාදනයට සහ නව නිපැයුම්  උදෙසා අඩු ප්‍රමුඛතාවක් ඒවායින් දුන් නිසාය. නිදහසින් පසු ගෙවුණු සමස්ත කාලය පුරා අපේ සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධක වේගය වූයේ 4.4% කි. ඉඳහිට මෙම තත්ත්වයෙන් වෙනස් වන ආර්ථික වර්ධන වේගයන් සමහර වර්ෂවලදී පෙන්නුම් කළ ද ඒවා තාවකාලික වර්ධනය එම තත්ත්වය නිරන්තරව නොපැවතියේය. 
නැවත නැවත අඩු වර්ධක වේගයන් ​ෙපන්වීම නිසා තම කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අලස, ගාටන්නකුගේ තත්ත්වයට පත් විය. මෙම අඩු වර්ධන වේගයට ප්‍රධාන හේතුවක් වූයේ නිෂ්පාදනය උදෙසා අඩු මට්ටමේ තාක්ෂණය භාවිතා කිරීමයි. එයින් සිදු වූයේ ඵලදායිතාව අඩු වීමයි. එසේ වුවද 2019 අය වැය මගින් පෞද්ගලික අංශයේ නවෝත්පාදනය, ළැදි ආර්ථිකයට දායක විය හැකි ව්‍යවසායකයන් රාශියක් බිහි කිරීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනය මගින් නවෝත්පාදනයේ යෙදෙන ව්‍යවසායකයන් රාශියක් බිහි වනු ඇත. 

අනාගත ව්‍යවසායකත්ව බිහි කිරීම සහ තාක්ෂණය පදනම් කර ගත් ආර්ථිකය ශ්‍රමිකයන් තාක්ෂණික දැනුමෙන් යුතු නිපුණ සමාජයක් බිහි කිරීම සඳහා අනිවාර්යයෙන් සිටිය යුතුය. මෙය පාසැල් මට්ටමෙන් ඇරඹිය යුතුය. මේ සඳහා අධ්‍යාපනය මුළුමනින් පරිවර්තනයකට ලක් කොට ගුණාත්මක අතින් වර්ධනය කිරීෙම් වැඩසටහන් සම්පාදනය කළ යුතු වේ. මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගෙන 2019 අය වැය මගින් පාසැල්වල විද්‍යාගාර වර්ධනය කිරීම පන්ති කාමර පුස්තකාල, ගුරුවරුන් පුහුණු කිරීමේ පහසුකම් සඳහා අරමුදල් වෙන් කර තිබේ. ශිෂ්‍යයන් හුදෙකලා තැන් වල රැඳෙන්නට නොව සියල්ලන් හා සම්මිශ්‍ර වන්නට පුහුණු කළ යුතුවේ. 

දැනට පවතින සිසුන් පුහුණු කිරීමේ සාම්ප්‍රදායික ප්‍ර​ෙව්ශය වෙනුවට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, හා ගණිත අංශ ආවරණය වනසේ විද්‍යා විෂ්‍ය ධාරාවේ සිසු පුහුණුව වර්ධනය කළ යුතුය. STEM වශයෙන් හඳුන්වන මෙම විෂය ධාරා පමණක් ඉගැන්වීමෙන් ඔවුන් කලා විෂයන්ට විවෘත නොවී ඔවුන් නිර්මාණාත්මක හැකියාවෙන් අඩු අය බවට පත්වේ. එම නිසා දැනට පවතින ප්‍රවණතා විද්‍යා හා කලා නිපුණතා දෙවර්ගයෙන්ම වර්ධනය කළ යුතු වේ. 2019 අය වැයේ මෙම ප්‍රවේශය නම් කොට ඇත්තේ STEM + A යනුවෙනි. 
මෙම තත්ත්වය සිසුන්ගේ මොළයේ සියුම් සහ ප්‍රතිභා ඥානය යන පැති දෙකම වර්ධනය වීමට ඉවහල් වේ. විද්‍යා සිසුන්ට කලාවත් කලා සිසුන්ට විද්‍යාවත් ඉගෙනීමට අවසර දීමෙන් මෙය කළ හැකිය. මෙම වැඩසටහන පාසැල් මට්ටමෙන් ආරම්භ කළ විට විශ්වවිද්‍යාල මට්ටමෙන් ද විවිධ විෂයන්ගෙන් සමන්විත මිශ්‍ර විෂය ධාරා සහිත උපාධි පිරිනැමීමට ඒවාට සිදු වේ. තායිලන්තයේ විශ්වවිද්‍යාල දැනටමත් මෙම වෑයම ආරම්භ කර තිබේ. 

හොඳම සිසුන්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීම 2019 අය වැය මගින් අපොස / උපෙළ හොඳම දක්ෂතා පෙන්නුම් කරන සිසුනට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම උදෙසා ශිෂ්‍යත්ව පිරි නැමීමට යෝජනා කර ඇත. 

මෙය යහපත් ක්‍රියා මාර්ගයකි. 1980 සහ 1990 මෙම ක්‍රමෝපාය මහතීර් මොහොමඞ් මැලේසියාවේ අනුගමනය කළේය. මේ මගින් විද්‍යාවේ හා තාක්ෂණයේ නිපුණතා දක්වන තරුණයන් රාශියක් බිහි කර ගැනීමට මැලේසියාවට හැකි වූයේය. පළමු වසරේ ශිෂ්‍යත්ව 14 ක් පිරිනමමින් ඉතා කුඩා පරිමාණයෙන් මෙය ඇරඹීමට වර්තමාන අයවැයේ  යෝජනා වේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සහ විදේශ පරිත්‍යාග වැඩසටහන් වල දායක්තවය මගින් මෙය ශීඝ්‍රයෙන් නුදුරු අනාගතයේදී වැඩි දෙනෙකුට ලැබීමට නියමිතය. 
මීට අමතරව ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන අය සඳහා ණය ක්‍රමයක් ද අය වැයෙන් යෝජනා වී තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නට වරම් නොලැබූ සුදුසුකම් ඇති සිසුනට මේ මගින් උපකාර සැලසේ. 

කලා උපාධිධාරීන් ආර්ථිකයේ ප්‍රධාන ධාරාවට ඇතුළත් කර ගැනීමට පියවර ගැනීමට අය වැයෙන් ඇති වඩාත් වැදගත් යෝජනාවකි. පෞද්ගලික අංශයේ රැකියා සඳහා ඔවුන්ගේ නිපුණතා ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ කාලයක් ඔවුහු රැකියා විරහිතව සිටියහ. මෙම රැකියා විරහිත බව උත්සන්න වූ අවස්ථාවල රජයේ ඇබෑර්තු නොමැති වීටදී පවා මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක් කොට ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශය පමණට වඩා පුළුල් වීමත් ඵලදායීතාව පහත වැටීමත් සිදුව තිබේ. තවදුරටත් රජයේ වැටුප් වියදම් අනවශ්‍ය ලෙස ඉහළ යන්නට එම තත්ත්වය හේතු වූයේය. 

මේ නිසා 2019 අය වැයෙන් රැකියා විරහිත උපාධධාරීන් 1000කට පෞද්ගලික අංශයේ ආධුනිකත්ව පුහුණුව ලබා දීමට යෝජනා වී ඇත. ඔවුන් නිසි පෞද්ලික ආයතනයකට බඳවා ගන්නාතුරු වසරක් ගත වනතුරු මාසික දීමනාවක් ඔවුනට ගෙවීමට යෝජනාවේ. ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලුවකට ඵලදායී පිළියමක් මේ මගින් ලැබේ. 

මෙම යෝජිත වැඩසටහනේ අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ පෞද්‍්ගලික ආයතන විසින් ඒවායේ සංවර්ධනයට බලපාන සම්පතක් ලෙස මෙම උපාධිධාරීන් පිළි ගත යුතු වීමයි. තම අනාගත රැකියා ජීවිතය සාර්ථක කර ගනු සඳහා මෙහිදී උපාධිධාරීන්ට ද වෙහෙස වී කටයුතු කළ යුතුය. මෙම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට නියමිත ආයතන මේ දක්වා නම් කර නැත. 

මෙහිදී ආධුනික සේවකයන් සමඟත් සේවාදායකයන් සමගත් පෙර සහ පසු සාකච්ඡා පවත්වාගෙන යා යුතු වේ. මෙම වැඩපිළිවෙළ ආසාර්ථක වුවහොත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීමට රටට වෙන මඟක් නොලැබෙනු ඇත. 

මෙම 2019 අය වැයෙහි යෝජනා ඉදිරිපත් කොට ඇත්තේ රටේ ආර්ථිකයේත් රටේ අභිවෘද්ධියේත් ඉදිරි දැක්මක් සහිතවය. මේ ආකාරයට ඛේමාගේ කොලුවා සම්ප්‍රදාය බිඳ දමා ඉදිරියේදී මහ මුදල් අමාත්‍යවරුන් නව සම්ප්‍රදාය අනුගමනය කළ යුතු බවට පත් කොට ඇත.