IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පාඨකයා නැතිදාට ලේඛකයා ඉවරයි

නවකතා රචකයකු , යොවුන් නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, ළමාකතා රචකයකු මෙන්ම සමාජ විමර්ශකයකු ද වන ගුණරත්න ඒකනායක මෑත කාලය තුළ කෘති රැසක් ලියා පළ කිරීමට සමත්විය. ඔහුගේ සියවැනි කෘතිය පසුගියදා එළිදුටු අතර ඒ ‘‘නුවර කලාවියේ අලුත් නෑයෝ’’ නමිනි. මතු දැක්වෙන්නේ මෙම නවකතාවේ පසුබිම, වෘත්තීය ලේඛකයකු ලෙස කතුවරයාගේ සමාජ සංස්කෘතික දෘෂ්ටිය ආදිය සාකච්ඡාවට ගනිමින් අප කළ සංවාදයක සටහනකි.

‘‘නුවර කලාවියේ අලුත් නෑයෝ’’ නවකතාව මෙරට ඉතිහාසයේ එක්තරා කාලසීමාවක් පදනම් කොටගෙන රචනාවූවක්. ඇයි මේ වගේ තේමාවක් ඔබ මේ නවකතාවට යොදා ගත්තේ?
මේ නවකතාවට අනුව ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසීන් විසින් අල්ලාගනු ලැබුවට පස්සෙ මහනුවර විසූ නිලමේවරුන් කීප දෙනෙක් නුවර කලාවියේ හුදෙකලා වුණ, පුරන් වුණ ගම්මානයක් සොයාගෙන යනවා. ඉන්පසු ඔවුන් ඒ ගම්මානය ගොඩනඟමින් සමාජ සංස්කෘතික පරිසරයක් නිර්මාණය කරනවා. එහි මූලිකත්වය ගන්නේ ස්වාමීන් වහන්සේ නමක්. මේ කියන සමාජ – සංස්කෘතික – දේශපාලන ගොඩනැඟීම තමයි නුවර කලාවියේ අලුත් නෑයෝ කෘතියට තේමා වුණේ. ඉතිහාසය තුළ අපට ප්‍රධාන දහරාවෙන් මුණ නොගැසුණු සැඟවී ගිය තැන් සොයා බැලීමට මේ වගේ තේමාවකින් අපට අවස්ථාව ලැබෙනවා යැයි මම සිතනවා. මේ වගේ තේමාවක් තෝරා ගන්නත් ඒ කාරණය බලපෑවා.

ඉතිහාස මූලාශ්‍රයක් සහිත කතාවක් නවකතාවකට නැඟීම සංකීර්ණ කටයුක්තක්. ඇතැම් විට ඒ කාලය එහි දේශපාලන – ආර්ථික – සංස්කෘතික රටාව හොඳින් හදාරන්නට වෙනවා. එහෙම නැතුව ඔහේ හිතලු කතාවක් අපට ලියන්නට බෑ. ඔබ මේ යුගය ගැන කළ අධ්‍යයන මොනවාද?
අධ්‍යයනයක් නොමැතිව මෙවැනි තේමා ගොඩනඟන්න බෑ. අනෙක් එක මේ තේමාව මට අරුමයක් නොවෙයි. මොකද ඉතිහාසය විෂයයක් හැටියට මම ඉගෙනගෙන තියන නිසා. ඉන්දියානු ආක්‍රමණ කිහිපයක් අනුරාධපුර යුගයේ සිදුවුණ අවස්ථාවල ඇතැම් ප්‍රධානීන් වගේම ගම්වැසියන් නිජබිම හැරදමා ගියා. ඒත් මොන ආක්‍රමණ ආවත් තමන්ගේ නිජබිම අතැර නොගිය ගම්වාසී පිරිසකුත් හිටියා.
නවකතාවේ මේ කතාකරන චරිතත් ඉංග්‍රීසි පාලනය පැමිණි කාලයේ පවා ස්වදේශිකත්වය සොයාගෙන ගිය පිරිසක්.

මෙය ඔබේ සියවැනි පොත. නවකතාවක් ලියන්නට වුණත් ඔබ මහා ලොකු කාලයක් වැය කරන බව පෙනෙන්නේ නෑ. හැබැයි නවකතාවක් ලිවීම කල්මරමින් කපා කොටමින් නිදහසේ කළ යුත්තක් බව බොහෝ නිර්මාණකරුවෝ කියනවා. ඒත් ඔබ මේ තරම් වේගයෙන් ලියන්නේ කොහොමද? මාසෙකින් දෙකකින් හොඳ නවකතාවක් ලියන්න බෑ නේද ඇත්තටම?
ඒක එක් එක් ලේඛකයාට සාපේක්‍ෂ දෙයක්. මම සාමාන්‍යයෙන් වසරකට පොත් පහක්වත් නිකුත් කරනවා. මම ඉන්නෙ දැන් වියපත් වයසක. අත්දැකීම් වැඩියි. පොතපත කියවලා තියෙනවා. අපි ඕනෑතරම් සමාජයේ ගැටිල තියෙනවා. මේ අත්දැකීම් එක්ක බැලුවාම මට නවකතාවක් ලියනව කියන එක ඉතාම ලේසි පහසු කාරණයක්. මම නවකතා පමණක් නොවෙයිනෙ ලියන්නෙ. කෙටිකතා, යොවුන් කතා, ළමා කතා ආදිය මේ සෑම අත්දැකීමක්ම ඒවා අතර පැතිරිලා යනවා.

වේගයෙන් ලියන එක ගැනවත්, ලියන්න ගතවන කාලය ගැනවත් ප්‍රශ්න කරන අය ඒ ලියපු පොත්පත් කියවලා ඒවායේ හොඳ නරක කතා කරන්න උනන්දු වෙන්නෙ නෑ. වෙන්න ඕනෙ ඒක නේද? ඒත් බොහෝ පාඨකයන් වගේම ඇතැම් විචාරකයන් මගේ පොත්පත් විමසිල්ලෙන් කියවනවා. අගය කරනවා. ඒ නිසාම ලේඛකයන් විදිහට අපට ධෛර්යයක් ලැබෙනවා තව තවත් ලියන්න. ලේඛකයාට තිබෙන ප්‍රධානම ධෛර්යය තමයි පාඨකයා. පාඨකයා නැතිවුණ දවසට ලේඛකයන්ගෙන් වැඩක් වෙන්නෙ නෑ. එදාට ලේඛකයාත් ඉවරයි. සාහිත්‍යයට කළ හැකි ලොකුම සේවය පාඨකයා රැක ගැනීමයි.

පාඨකයා රැක ගැනීමට කිසියම් වගකීම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔබ කියන්නේ?
ඇත්තටම ඔව්. තරුණ පරපුර නව තාක්ෂණයෙන් අන්ධ වෙලා. ඒ නිසාම පොත පතින් ඈත් වෙලා. තාක්ෂණය මොනතරම් දියුණු වුණත් අදටත් ඇතැම් දියුණු රටවල පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන බොහෝ දෙනා පොත් කියනවා. ඒත් අපේ රටේ එවැන්නක් දකින්න නෑ. හැබැයි මට හිතෙනවා කාලයක් යද්දී මේක නිවැරැදි වේවි කියල මොකද මේ තාක්ෂණය තව කලක් යද්දී දරුවන්ටත් එපා වෙනවා. ආපු ගමන් ඔහේ උමතුවෙන් වගේ වැළඳගත්තට මේ තත්ත්වය ඔහොමම තියෙන්නෙ නෑ. දරුවන් මේ විනාශ කරගන්නෙ ඔවුන්ගේ වටිනා කාලයයි.

මම මේ කියන්නෙ තාක්ෂණය නරකයි කියල නෙවෙයි. ඒත් ඒක ප්‍රමිතිගතව පරෙස්සමින් ප්‍රයෝජනවත්ව භාවිත කිරීමයි වැදගත්.
හැබැයි ඔබ ඇසුවා වගේ පාඨකයා රැක ගැනීමටත් පාඨකයා පොතපත කෙරෙහි යොමු කිරීමටත් රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යව තිබෙනවා. පාඨක සමාජ ගොඩනැඟීමත් ඔවුන්ව අගය කිරීමත්, සහනදායී මිලකට පොතපත ගැනීමට අවස්ථාව සැලසීමත් මෙහිදී වැදගත්.

උසස් පාඨකයො හිඟ වෙන්න හේතුව පාඨකයා පියවරින් පියවර ගොඩනැඟීමට වැඩපිළිවෙළක් නැති නිසයි. පාසලින් වගේම විශ්වවිද්‍යාලයෙනුත් දැන් සාහිත්‍යය තුරන්වෙමින් තිබෙන්නේ.

අපි මොනවා කිව්වත් දැන් දරුවො ඉන්නෙ දුරකථනය, පරිගණකය ඇතුළු තාක්ෂණික මෙවලම් එක්ක. අපි කරන්න ඕනෙ පවත්නා ක්‍රමයට දොස් පැවරීමද ඔවුන් සිටින තැනට පොතපත රැගෙන යාමද?
ඔව්. ඇත්තටම අපිට එතෙන්ට යන්න වෙනවා. ඒකට හොඳ ක්‍රමයක් තමයි ඊ පොත් සංකල්පය. දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතැම් ඒවා මේ සංකල්පය ක්‍රියාත්මක කරනවා. මෙයින් පරිගණකය මතම ජංගම දුරකථනය මතම කියැවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒත් ඔය මොන ක්‍රම ආවත් පොත කියන සංකල්පය නැති වෙන්නෙ නෑ කියන එක මට විශ්වාසයි.

සාහිත්‍යය වගේ විෂයයක් අපේ රටේ සාකච්ඡාවට ලක්වන අන්දම ගැන ඔබ මොකද හිතන්නේ?
කොහොමටත් ඒ ගැන සතුටු වෙන්න බෑ. ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. එක ආණ්ඩුවක් ලේඛකයාට සහන දෙනකොට අනිත් ආණ්ඩුව ආපුවාම ඒ සහන කපල දානවා.
සංවර්ධනය ගැන හැමදාම කතා කරනවා. ඒත් මානව සංවර්ධනයට අත්‍යවශ්‍ය සාහිත්‍යය වගේ විෂයයක් සංවර්ධනය කරන්නෙ කොහොමද කියල සාකච්ඡාවක් නෑ. සංස්කෘතික සංවර්ධනය ගැන කතාවක් නෑ.
රජ කාලෙ අපේ රටේ රජවරු පවා පොත් ලිව්වා. ලේඛකයාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ලියන්නට පහසුකම් සැලසුවා. දැන් ලේඛකයාට තියෙනවද සැලකීමක්. නළුවෙක් තරමටවත් ලේඛකයෙක් ගණන් ගන්නෙ නෑ. බාල ටෙලිනාට්‍ය දෙක තුනක රඟපෑවානං හැමෝම දන්නවා. ඒත් සංස්කෘතික, සමාජ දේශපාලනික වගේම මනෝමූලික කාරණා ගැඹුරින් සාකච්ඡා කරපු පොත පත ලියපු දැනුම බෙදපු විශිෂ්ට ගණයේ ලේඛකයෙකුගෙ නමක් කිව්වත් ඔහු ගැන දන්නෙ කීයෙන් කී දෙනාද? මේකෙන් තේරෙන්නෙ වර්තමාන සමාජය වැටිල තියන තැන. ඔවුන්ගේ රුචිකත්වය කොතනද තියෙන්නෙ කියන කාරණයයි මතුවෙලා පේන්නෙ.

ඒ නිසා බුද්ධිමත් පාඨක ප්‍රජාවක් නිර්මාණය කරගන්න අපට අධ්‍යාපන, සංස්කෘතික ක්ෂේත්‍ර ඇතුළු රජයේ අවධානය අවශ්‍ය වෙනවා.

ඔබ දැන් පොත් සියයක් ලියා තිබෙනවා. ප්‍රධාන සාහිත්‍ය සම්මාන උත්සවත් මේ රටේ හය හතක්ම තිබෙනවා. ඒත් ඔබේ එකම කෘතියකටවත් සම්මානයක්වත් ලැබුණේ නෑ නේද?
මේ රටේ හරි හමං විචාරයක් නැතුව හොඳ පොත් උඩට එන්න විදියක් නෑනෙ. කබල් පොත් උඩට එන්නෙ ඒකනෙ. 70 – 80 දශකවල විශ්වවිද්‍යාලවලින් බිහිවුණ විචාර සාහිත්‍යයේ වර්ධනයට කොච්චර බලපෑවද? කොච්චර තර්ක විතර්ක තිබ්බද? මේවායින් සාහිත්‍යයේ පිබිදීමක් ඇතිවුණා.

ඒකට දැන්. අඩුගානෙ මේ පත්තරවල සාහිත්‍ය පිටු ටිකවත් නැත්නම් ලේඛකයකුට අදහසක් ප්‍රකාශ කරගන්නවත් විචාරකයකුට විචාරයක් ලියන්නවත් තැනක් නැති වෙනවා.

සාහිත්‍ය සම්මාන ගැන අබ මල් රේණුවකවත් විශ්වාසයක් මට නම් නෑ. කලකට පෙර මගේ සමහර කෘති ඇතැම් සම්මානවලට නිර්දේශවුණ බව ඇත්ත. ඒත් දැන්නම් මට සම්මාන ගැන විශ්වාසයක් නෑ. සාහිත්‍ය සම්මානත් පගාවට යටවෙලාදැයි සැකයි. ලේඛකයන්ගෙ නමට බයවෙලා සමහරු සම්මාන දෙන්නෙ. හොඳ පොත මොකක්ද කියල හරියටම තෝරාගන්න බැරුව පාඨකයො අතරමං වෙලා.


(***සංවාද සටහන - ගාමිණී කන්දේපොළ)

 



අදහස් (0)

පාඨකයා නැතිදාට ලේඛකයා ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31359 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 979 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site