පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම සම්මත කරගත යුතුව තිබූ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමත් සමඟ ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. සීමානිර්ණ වාර්තාව නීතියක් බවට පත්වන තෙක් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය නොහැකිය. අනිත් අතට ඇතැම් දේශපාලන පක්ෂ තරයේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවටය.

එහෙත් ඊට ද නීතිමය බාධා මතුවී තිබේ. මේ වනවිට 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබීම එම බාධාවය. එම පනත අහෝසි කිරීමට නම් නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද බලයක් හිමිවිය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් සියලු පක්ෂ පැරණි මනාප ක්‍රමයට කැමැත්තක් දක්වන හෙයින් එවැනි තත්ත්වයකදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම අපහසු නැතැයි ද ඇතැම් දේශපාලනඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, විෂයභාර ඇමැතිවරයාත් පැරණි මනාප ක්‍රමයට දැඩි සේ විරෝධය දක්වන හෙයින් පැරණි පනත යළි බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි සැක සහිතය.

අනෙක් අතට පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සඳහා ද ආණ්ඩුව මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මේ වනවිටත් පත්කර තිබේ. 

එම පංච පුද්ගල කමිටුවට පත්වීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අගමැතිවරයාට හෝ අනෙකුත් සාමාජිකයන්ට නැත. එසේ කළහොත් අගමැතිවරයා පනත උල්ලංඝනය කළාසේ සැලකෙන බව ද නීති විශාරදයෝ සඳහන් කරති. එම පංච පුද්ගල කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ‘මේ පංච පුද්ගල කමිටුවට නීතියෙන් පැවරෙන වගකීමක් තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ දෝෂ සහිත වාර්තාවේ අඩුපාඩු සකස් කරන්න ඕනේ. එතනින් මෙපිට දෙයක් කරන්න පංච පුද්ගල කමිටුවට බලයක් නැහැ. මාස දෙකක් ඇතුළත සංශෝධන වාර්තාවක් ජනාධිපතිතුමාට දෙන්න වෙනවා. ජනාධිපතිතුමාට දෙන වාර්තාව යළිත් පාර්ලිමේන්තුවට දාන්නෙ නැහැ. ජනාධිපතිතුමා එය ගැසට් කරනවා. එතකොට ඒක නීතියක් බවට පත්වෙනවා’ යනුවෙනි. ෆයිසර් මුස්තාෆාගේ අදහසට අනුව නව මැතිවරණ ක්‍රමය අනුව ඡන්දය පැවැත්විය යුතු අතර ඒ සඳහා වාර්තාවේ සඳහන් ඇතැම් කොට්ඨාස මායිම් වෙනස් කළ යුතු බවය. මේ අතර නව පනත් කෙටුම්පතේ තවත් ගැටලුවක් මතුවී තිබේ. නව පනතට අනුව ඡන්දයෙන් තෝරා පත්වන මන්ත්‍රී ගණන සියයට 50ක් වන අතර ඉතිරි සියයට 50 ජාතික ලැයිස්තුවෙන් පත්විය යුතුය. එම සියයට 50 නීතිය එතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ද ඇතැම් දේශපාලනඥයන්ගේ අදහසය. ඇමැති රාජිත සේනාරත්න ද ඒ පිළිබඳව ඉකුත්දා අදහස් පළකර තිබිණි. ‘පනහට පනහ නීතිය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ජාතික ලැයිස්තුවෙන් දානවාය කියන්නේ පක්ෂයේ නායකයාගේ කැමැත්ත. ඒ කැමැත්තට නියෝජිතයන් පත් කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන්නේ සියයට පනහයි. ඒක අසාධාරණයි. ඕක සියයට 70යි 30ක් ආදී ලෙස වෙනස් විය යුතු බව මගේ අදහස. හැබැයි මුස්ලිම් කොංග්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණ වගේ සුළු දේශපාලන පක්ෂවල වාසියට සහ අවශ්‍යතාවයට තමයි ඔය පනහට පනහෙ නීතිය ගෙනාවේ’ යැයි රාජිත ඇමැතිවරයා කියන්නේය. 

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනුයේ ‘කුමන ක්‍රමය ආවද අනිවාර්යයෙන්ම ලබන වසරේ ජනවාරි වන විට මැතිවරණය පැවැත්විය හැකි බවය. මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් මූලික කටයුතු ආරම්භ කර තිබෙන බවය. අපි මැතිවරණ කොමිෂන් සභාව සැප්තැම්බර් මාසෙන් පස්සේ වැඩ පටන් ගන්නවා’ යැයි මහින්ද දේශප්‍රිය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි. 

උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් ජනප්‍රිය දේශපාලනයක නිරතවෙන බවට උතුරේම ඇතැම් දේශපාලනඥයෝ චෝදනා කරති. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය වසර කිහිපයක සිටම විග්නේෂ්වරන් සමග දේශපාලන ආරෝවක පැටලී තිබේ. උතුරේ මහ ඇමැතිවරයා දෙමළ ජනතාවගේ හිත දිනා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද විටින් විට අනුගමනය කරන බවට ද උතුරේ මෙන්ම දකුණේ දේශපාලනඥයෝ චෝදනා කරති. උතුරේ මහ ඇමැතිවරයා විටෙක උතුරේ යුද ස්මාරක ඉවත් කළ යුතු බවක් කීවේය. තවත් වරෙක ඔහු කීවේ හමුදා සෙබළුන්ට සහාය පළ නොකළ යුතු බවකි. මෙලෙස විටින්විට විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමේ යටි දේශපාලන අරුතක් විග්නේශ්වරන්ට තිබෙන බව ද උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ, මීළඟ පළාත් සභා මැතිවරණයේදී ද ඔහු තරග කිරීමට සූදානම් වී සිටීමය. විග්නේෂ්වරන්ට ලබන වතාවේ එම දෙමළ ජාතික සන්ධානයෙන් කිසිසේත් නාම යෝජනා හිමිවන්නේ නැත. ඒ නිසා ඔහු වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ සන්ධානයකින් තරග කරනු ඇතැයි ද දැනටමත් ප්‍රකාශ කර තිබේ. 

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 20,000න් ඉහළ නැංවීම යෝජනාව ඉකුත්දා එම සභාවේ මාසික රැස්වීමේදී සම්මත කර ගැණින. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් එම දීමනාව ඉහළ නැංවීමේ යෝජනාවට පක්ෂපාතීව සිටියහ. 

එහෙත් එය එළිපිට සිදු කළ නොහැකි නිසා කල්තියාම යම් වැඩපිළිවෙළක් දියත් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිස සැලසුම් කළහ. ඉකුත්දා පැවැති මාසික රැස්වීමේදී ඔවුහු කොළඹ මහනගර සභා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලු අල්ලාගෙන නගරාධිපතිනියත් සමග ආරෝවක් පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය ලෙස පොහොට්ටුවේ මන්ත්‍රී පිරිස එළියට ගොස් රැස්වීම වර්ජනය කළහ. ඒ අතරේ නගරාධිපතිනි රෝසි සේනානායකගේ මන්ත්‍රී දීමනාව ඉහළ නැංවීමේ යෝජනාව සභා සම්මත වූයේය. ජනතා විමුක්ති පෙරමුණත් ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම උපක්‍රමශීලීව එළියට ගොස් දීමනාව ඉහළ නැංවීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවීමට අවස්ථාව සලසා දුන්නේය. ඊට පක්ෂව ඡන්දය දීමෙන් වන නරක නාමයට ද ඔවුන් අසුවූයේ නැත. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී ශ්‍යාමිලා ගෝනවල සහ තවත් කිහිප දෙනෙක් මන්ත්‍රී දීමනාව ඉහළ දැමීමට විරෝධය පෑහ. ගෝනවල මන්ත්‍රීවරිය කීවේ ‘නගරයේ ජනතාවගේ බදු මුදල් දීමනා ලෙස ගන්නා එක වැරදියි. දැනටමත් මහනගර සභාවේ ජංගම ගිණුමේ විශාල මුදලක බැංකු ඓරාවක් තිබෙනවා. එහෙම තත්ත්වයක් තිබියදී අපි දීමනා වැඩිකර ගැනීම අසාධාරණ යැයි’ ද ගෝනවල මන්ත්‍රීවරිය කීවාය. 
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පහළොස් දෙනා ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී රැලියට බරටම වැඩ කිරීමට එක්ව සිටිති. ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ‘අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්. අපි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධයි. ඒකාබද්ධ විපක්ෂය කොළඹට සෙනග ගෙනත් ලබන පස්වෙනිදා පවත්වන රැලියට අපි වැඩ කරනවා’ යැයි සුසිල් ප්‍රේමජයන්ත කියන්නේය. 

ආණ්ඩුව අලුත් වැඩපිළිවෙළකට අත ගසා තිබේ. ඒ, සංවර්ධන යෝජනා ක්‍රම සම්බන්ධයෙන් වැඩි ප්‍රචාරණයක් ලබාදීමටය. ආණ්ඩුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ද ප්‍රචාරණ කටයුත්තකැයි විපක්ෂයේ දේශපාලනඥයෝ චෝදනා කරති. ‘මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වේ හුදු ප්‍රචාරණ කටයුතු කරන්නේ නැහැ. රාජපක්ෂලා වගේ බොරු ආටෝප දාන්නෙත් නැහැ. මුදල් නාස්ති කිරීමේ වැඩ කරන්නේ නැහැ’ කියාය. එහෙත් ආණ්ඩුව මේ වනවිට එම ක්‍රියාපිළිවෙත උල්ලංඝනය කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. රජයේ ප්‍රබල ඇමැතිවරයකුගෙන් ඒ පිළිබඳව ඉකුත්දා මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබිණි. එහිදී ඇමැතිවරයා සඳහන් කර තිබුණේ ‘ඔව්. අපි බොරු ප්‍රචාර කරන්නේ නැති බවක් කිව්වා. ඒක අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. හැබැයි අපි හිතුවේ ආණ්ඩුව කරන හොඳ වැඩවලට ජනමාධ්‍ය ප්‍රචාරයක් දෙයි කියලා. ඒක වුණේ අනිත් පැත්තට. හොඳ වැඩවල තියෙන පුංචි පුංචි අඩුපාඩු උලුප්ප උලුප්පා මාධ්‍යයෙත් දැම්මා. ජනමාධ්‍ය ප්‍රචාරය දුන්නේ නැති නිසා අපි ප්‍රචාරක කටයුතු ආරම්භ කළා. එහෙම නොකර ජනතාව දැනුම්වත් කරන්න අපට වෙන ක්‍රමයක් නැහැ’ යැයි ඇමැතිවරයා පිළිතුරු දී තිබිණි.

පසුගිය 24 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගම දී සිදුවිය. එම අවස්ථාවට මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර එම උත්සවයට සහභාගිවෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලඥයෙක්ද පැමිණ සිටියේය. ඒ, ජවිපෙ පළාත් සභා මන්ත්‍රී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ජනතාවකට ද බලපාන මෙම ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාව සඳහා ඔහුටද නිල ආරාධනයක් ලැබී තිබිණි. පොල්පිතිගම ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ ගණනාවක අලි මිනිස් ගැටුම, ඉරුදෙණියාය ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලුව ආදී ගොවි ගැටලු විසඳීම සඳහා ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය කාලය පුරාම විශාල අරගලයක යෙදී සිටීමත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කර ගැනීමත් අරමුණු කරගෙන නාමල් කරුණාරත්න මෙම උත්සවයට සහභාගිවීමට තීරණය කළේ ප්‍රදේශයේ ජනතාවගේ ද ඉල්ලීමකට අනුවය. 
විවෘත කිරීම් අවසන්වීමෙන් අනතුරුව නිල උත්සවයට සහභාගිවීමට වේදිකාවට යමින් සිටින අතර නාමල් කරුණාරත්න දුටු ජනාධිපතිවරයා “හා කොහොමද කචල්කාරයා” කියමින් සිනාමුසු මුහුණින් කතාබහට වැටුණි.

නාමල් කරුණාරත්න ද ජනාධිපතිවරයා සමඟ ගමනට එක්වෙමින් ජනතාවගේ ගැටලු කිහිපයක් ඔහුගේ අවධානයට ලක් කළේය. අලි මිනිස් ගැටුම ඉන් එකකි. ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය ඇමැතිවරයාද ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවත්ය. එමෙන්ම ඉරුදෙනියාය ජනතාවගේ ඉඩම් අක්කර තුන්දහසකට අධික ප්‍රමාණයක් පිළිබඳව මතුව ඇති ගැටලුවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කිරීමට නාමල් කරුණාරත්න පියවර ගත්තේය. අනතුරුව උත්සවය අවසන්වන විට නාමල් කරුණාරත්න දුටු මහින්ද අමරවීර “මෙන්න ජනාධිපතිතුමා ගොවි රජා ඇවිත් ඉන්නවා” යැයි පැවසුවේ මීට පෙර හමුවූ බව නොදැන සිටි නිසාය. “ඔව්, ඔව් අපි මුණගැහුණා. ආ.. ඒකට කමක් නෑ. ගොවි රජා එක්ක ෆොටෝ එකක් ගමු” යැයි ජනාධිපතිවරයා කීවේ කැමරා ශිල්පීන්ට ඡායාරූපයක් ගන්නා ලෙස අතින් සංඥා කරමිනි.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 24 වැනිදාය. 23 වැනි දා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී තීන්දු කෙරුණේ එම වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අවසන් වූ වහාම එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පණිවිඩ ලැබුණේ පසුදා උදෑසන 10 සිට පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමට ද එම පණිවිඩය ලැබුණි. 

සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්ව සිටියේ නැත. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පළාත් පාලන සහ පළාත් සභා ඇමැතිවරයා ලෙස ෆයිසර් මුස්තාපාය. වාර්තාව ඉදිරිපත් කරමින් පනතේ ගුණ ගැයූ ෆයිසර්ට අවසානයේ දී සිදුවූයේ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය. එසේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා ඡන්දය විමසන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

එක්සත් ජාතික පක්ෂය ද වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ නියෝජිතයෝ ද පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. ඒ අනුව ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ වාර්තාව ආණ්ඩුවේ අයම පරාජයට පත් කළේ කවුරුත් නොසිතූ ලෙසය. 

කතානායකවරයා විශේෂ පක්ෂ රැස්වීමක් කැඳවා තිබුණේ එදින පාර්ලිමේන්තුව රැස්වීමට පෙරය. එතැනදී සාකච්ඡා වූයේ ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් සහභාගී වී සිටියේය. එහිදී කතානායකවරයා කීවේ සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල පාර්ලිමේන්තුව රැස් නොවිය යුතු බවට තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බවය. 

“මට ඉහළින් උපදෙසක් ලැබිලා තියෙනවා සැප්තැම්බර් 05, 06 පාර්ලිමේන්තුව කල්දාන්න කියලා” කතානායක කීවේය.

“ඒ මොකද? දිනේෂ් ඇසුවේය.

“ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය 05 වෙනිදා පාර්ලිමේන්තුව වටලන්න එනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තුව කල්දාන්න කියලයි මට උපදෙස් දුන්නේ” කතානායක පිළිතුරු දුන්නේය. 

“අපි එන්නේ කොළඹට. තවම අපි එන තැනක්වත් තීන්දු කරලා නැහැ. ආණ්ඩුව අපේ උද්ඝෝෂණයට දැන්ම බයවෙලා. _පාර්ලිමේන්තුව කල්දාන එකට නම් අපි සම්පූර්ණයෙන් විරුද්ධයි” දිනේෂ් කීවේය.

මහින්ද පසුගිය සතියේ සිටියේ මැදමුලනය. අභාවප්‍රාප්ත සිය සොයුරාගේ අවමඟුල් උත්සවය සම්බන්ධයෙන් මහින්ද පූර්ණ කාලය ගත කළේය. 25 වැනි දා උදෑසන අටට පමණ මැදමුලන පැවැති අවමඟුල් නිවසට මෛත්‍රී පැමිණියේය. මෛත්‍රී සමඟ විජයදාස රාජපක්ෂ සහ ඉසුර දේවප්‍රිය ද පැමිණ සිටියේය. ඔවුන් පැමිණියේ හෙලිකොප්ටරයෙනි. නිවසට පැමිණි මෛත්‍රී පිළිගත්තේ මහින්දය. 

“මහ ඇමැතිතුමාට නම් හරියන පුටුවක් මෙතන නැහැ” මහින්ද කී නමුත් ඉසුර පිළිතුරු දුන්නේ නැත. ඒ අතර චමල් පැමිණි බැවින් මහින්ද සිය අසුන චමල්ට පරිත්‍යාග කළේය. පසුව ගෝඨාභය ද පැමිණියේය. පිරිස කතාබහ කරමින් සිටින අතරතුර මෛත්‍රීට තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන ලද්දේ ජනාධිපති ආරක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේය.

තේ කෝප්පයක් පිළියෙළ කෙරුණු පසු එතැන සිටි එක් ආරක්ෂකයකු නිවසේ අයකු අමතා කීවේ එය ජනාධිපතිතුමාට පිළිගන්වන ලෙසය. තේ කෝප්පය රැගෙන ගිය පුද්ගලයා එය පිළිගැන්වූයේ මහින්දටය. මහින්ද කෝප්පය දෙස බලා එය පැත්තකින් තැබුවේ සුපුරුදු කෝප්පය නොවන නිසාය. එහෙත් එය මෛත්‍රීට සකස් කළ තේ කෝප්පය බව මහින්ද දැන සිටියේ නැත.

ඒ බව දුටු ජනාධිපති ආරක්ෂකයන්ට සිදුවූයේ මෛත්‍රීට තවත් තේ කෝප්පයක් සකස් කිරීමටය. “මොකද අර තේ කෝප්පේ ජනාධිපතිතුමාට දුන්නේ නැත්තේ? ආරක්ෂකයෝ අර පුද්ගලයාගෙන් ඇසූහ.“මං දුන්නේ ජනාධිපතිතුමාට තමයි. අපිට ඉතින් ජනාධිපතිවරුන් දෙතුන් දෙනෙක් නැහැ නේ. අපේ ජනාධිපතිතුමා මහින්ද මහත්තයම තමයි” ඒ පුද්ගලයා කීවේය. 

ඉරිදා නාමල් සිටියේ ගම්පහය. ඒ ප්‍රසන්න විසින් සංවිධාන කර තිබූ රැස්වීම් කිහිපයක් අමතන්නට තිබුණු නිසාය. ප්‍රසන්න එම රැස්වීම් සංවිධාන කර තිබුණේ සැප්තැම්බර් 05 වැනි දා පැවැත්වෙන ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නටය. එදින දිවා ආහාර සකස් කර තිබුණේ මරඳගහමුල ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වන කැකුළු රංජිගේ නිවසේය. රණවීර, ඉන්දික, ඩුලිප්, ලන්සා යන මන්ත්‍රීවරු ද එහි වූහ. දිවා ආහාරය ගන්නා අතරතුර පිරිස කතා කළේ මෛත්‍රී අවමඟුලට සහභාගීවන්නට ආ එකය. 

 ඉරිදා රාත්‍රියේ මහින්දගේ සොහොයුරාගේ සත් දින බණ පැවැත්වුණේ ද මැදමුලනේමය. එම අවස්ථාවට සහභාගීමට මංගල සමරවීර ද පැමිණ සිටියේය. මළ ගෙදරට එන්න බැරිවුණ නිසා ආවා මංගල මහින්දට පැවසීය. 

“ඔයාලගේ ගම් පෙරළිය වැඩසටහන අසාර්ථකයි නේද? මොණරාගල, බදුල්ලේ මිනිස්සු ඕකට හරියට බණිනවාලු” මහින්ද පැවසීය. 

“චෝදනා නම් තියෙනවා. අපි දැන් ඒවා හරිගස්සාගෙන යනවා” මංගල උත්තර දුන්නේය.

අනතුරුව මංගල සහ මහින්ද පමණක් වෙනම තැනක සිට කතාබහක නියැලුණහ. එම කාරණා කිසිවකුටත් දැනගන්නට ලැබුණේ නැත. මංගල පැය දෙකක පමණ කාලයක් මැදමුලන නිවසේ රැඳී සිටියේය.