ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන් විදෙස් රටවලට යවයි.

සංචාරක අමාත්‍යංශයේ හිටපු උපදේශකයකු සේම සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු ද වන ඒ මහතා සංචාරක කර්මාන්තයේ පවතින ප්‍රශ්න සහ ඒවාට කළයුතු පිළියම් මෙසේ ගෙනහැර දක්වයි.

ලංකාවේ සංචාරක කර්මාන්තය අද සිටින තැනින් ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවේ. ඒ සඳහා විශ්වකර්මයන් අවශ්‍ය වන්නේද නැත. විදේශික උපදේශකයන් පසුපස වන්දනාවේ යායුතු ද නොවේ. සංචාරක කර්මාන්තය තැබිය යුතු තැන හා එය කළ හැකි ක්‍රමය මැනවින් දන්නා මේ ක්ෂේත්‍රයේ අවුරුදු 35 ක් 40 ක් පමණ දිගු කාලයක සිට අත්දැකීම් ලබන පරිණත පුද්ගලයෝ ලංකාවේ එමට සිටිති. ඒ පුද්ගලයන් එකතු කරගෙන සංචාරක කර්මාන්තයෙන් අප යා යුත්තේ කොතැනටදැයි ඔවුන් සමඟ සාකච්ඡා කර දිගුකාලීන සැලැස්මක් සකස් කළ හැකිය.

  මගේ විශ්වාසය වන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියුතු විශේෂඥයන්ට ඉතා ඉහළ ප්‍රායෝගික දැනුමක්, ඥානයක්, බුද්ධියක් හා අවබෝධයක් තිබෙන බවයි. කර්මාන්තයෙහි ඔවුන්ට සවන් දුන්නොත් ඉතා විශාල ප්‍රයෝජනයක් ගත හැකිය.

ස්වාභාවික සෞන්දර්ය අතින් පමණක් නොව වනජීවී සම්පත පැත්තෙන් ගත්තද අපේ රට මේ මහ පොළවේ සිටින විශාලතම සතා දැකිය හැකි රටකි. අලින් සේම තල්මසුන්ද එසේ දැක බලාගත හැකිය. එලෙසම විදෙස් රටවල අභය භූමිවලට සාපේක්ෂව යාල අභය භූමියේදී දිවියන් වැඩි ගණනක් දැක බලාගත හැකිය. අපේ වනෝද්‍යානයක් ඇතුළට යන සංචාරකයන්ට විවිධාකාර සතුන් දැකබලාගෙන එළියට පැමිණිය හැකිය. එලෙසම අද වනතුරුත් නම් නොකළත් අපේ සීගිරිය ලෝක පුදුමයක් ලෙස නම් කළ යුතු එසේ විය යුතු දෙයකි. එසේම ලෝකයේ පැරැණිම වාර්තාගත වෘක්ෂය වන ශ්‍රී මහා බෝධිය තිබෙන්නේද ලංකාවේය. ලොව ශ්‍රේෂ්ඨ ආගමික නායකයකු, ශාස්තෘවරයකු, දාර්ශනිකයකු වූ බුදුපියාණන්ගේ දන්ත ධාතුව තිබෙන්නේද අප රටේය. එසේම පැය දෙක තුනක් ඇතුළත විවිධ පරිසර පද්ධති හා විවිධ කාලගුණ රටා පවතින ප්‍රදේශවල ගමන් කළ හැක්කේද මේ අපේ රටේදීය. මෙය සුන්දර වෙරළක්ද පවතින රටකි. කෙටියෙන් කිවහොත් රටවල් කීපයකට ගොස් දැක බලාගත යුතු දේවල් දැකිය හැකි රටකි. රටවල් කීපයකට ගොස් ලබාගත යුතු සුන්දර අත්දැකීම් රැසක් එකම රටකදී ලබාගත හැකි රටකි.

අපේ රට එවැනි තැනක තිබියදී ඇතැමුන් මාරාන්තිකව දඟලන්නේ ලංකාව කැසිනෝ පාරාදීසයක් කරමින් කැසිනෝ ටුවරිසම්වලට ඇද දැමීමටය. සංචාරක කර්මාන්තය ගැන දෙස් විදෙස් අත්දැකීම් රැසක් තිබෙන පුරා අවුරුදු 40 ක් පමණ එහිම නියැලෙන අපි ඒ මතය නොපිළිගනිමු. ඒ සිහින අපට පිළිකෙව්ය. හිරිකිතය, සංස්කෘතික අතින්ද අපේ රට විවිධාකාරය. ජාතීන් හා ආගමික අතින් අපේ රටේ තිබෙන මේ බහුවිධත්වය ලොව අන් කිසිම රටක නැත්තේය. එසේම ඒ බහුවිධත්වය අතර පවතින සහජීවනයද ලොව අන් රටක නැත. ජාතීන් හා ආගම් අතර වරින් වර විවිධ ගැටලු ඇතිවූයේද පාලන තන්ත්‍රවල වරදින් මිස ජනතාවගේ වුවමනාව මත නොවේ. ඒ සියල්ල දෙස බැලූ විට අප පළමුව උත්සාහ කළ යුත්තේ අපේ ඉතිහාසය, සංස්කෘතිය හා උරුමයන් රැකගැනීමටය. ඒ සියල්ල මැනවින් රැකගත්තොත් අපේ සංචාරක කර්මාන්තය තවත් ඉහළට ඔසවා තැබීම අසීරු නොවේ. විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් දැනටත් පැමිණෙන්නේ අපේ ඉතිහාසය ජාතික උරුම, සංස්කෘතිය හා ස්වාභාවික පරිසරය ඇතුළු ඒ සම්පත් දැක බලාගෙන අත්දැකීම් ලැබීමට මිස කැසිනෝ ගැසීමට නොවේ.

ටුවරිසම් කියන්නේ අද රුපියල් මිලියන ගණනක් හම්බ කර හෙට රට විනාශ කිරීමට නොවේ. මා කතා කරන්නේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන හා සම්පත් ක්ෂය වීම වළක්වන එනම් චිරස්ථායි  (Sustainble) සංචාරක කර්මාන්තයක් පිළිබඳවය.

පරම්පරා ගණනකට සංචාරක කර්මාන්තය කළ හැකි ක්‍රමයක් ගැනය. ඒ පිළිබඳව නිතර කල්පනා කරන මට බරපතළ සිත් වේදනා දෙන කාරණයක් තිබේ. අපේ රටේ වෙරළ තීරයේ පොල් ගහකට වඩා උස ගොඩනැගිලි, හෝටල්, ගෙවල් හෝ නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩ නොදෙන බවට දිගු කලෙක සිට මෙරටෙහි අලිඛිත නීතියක් තිබිණි. ඒ නීතිය ඉන්දියාවේ තවමත් ක්‍රියාත්මක වෙයි.

ලංකවේ මේ නීතිය කෙලෙසීම ආරම්භ වූයේ වැලිගමිනි. වැලිගම මුහුද අයිනේ ගැසූ ඒ හෝටලය තට්ටු 10 කට වඩා උසය. එතැනින් ඇරඹුණු විනාශය අද මුළු බටහිර වෙරළ තීරය පුරාම ක්‍රියාත්මක වෙයි. දැන් බටහිර වෙරළ තීරයෙහි තට්ටු ගණන් උස නිවාස සංකීර්ණ තොග ගණනින් ඉදිවෙයි. ඒවාට ඉඩදීම එහි ද්‍රෝහි හා දේශද්‍රෝහි ක්‍රියාවකි. නැවකින් මේ රටට එනවිට මේ සුන්දර දූපත ලස්සනට පෙනෙන්නට තිබිය යුතුය. මෙය හොංකොං, පල්මාමයොක්කා, ඉබ්ම්ස්සා වගේ කොන්ක්‍රීට් වනාන්තරවලින් පුරවන්නේ ඇයි? මේ දිවයිනේ සුන්දරත්වය අකාමකා දැමීම දේශද්‍රෝහි ක්‍රියාවක් නොවේද?

අපේ එසේ කළ යුත්තේ අපට ඡන්ද දායාද, ජාතික උරුම හෝ ප්‍රවේණියක් (heritage) නැතිනම් පමණකි. එසේත් නැතිනම් මේ ඡන්ද දායාද මගින් ඉහළ ආදායමක් ලබාගත නොහැකි නම් පමණකි. මගේ මේ ප්‍රහාරය හා විවේචනය පවතින ආණ්ඩුවට පමණක් එල්ලවන්නක් නොවේ. පැවැති ආණ්ඩුවලටද මේ ප්‍රහාරය හා විවේචනය අදාළය. සංචාරක කර්මාන්තය නියම මාවතේ ගමන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අවසන් ආණ්ඩු සමය නිමවනතුරු පමණක් බව මගේ විශ්වාසයයි. එතැනින් පසු සංචාරක කර්මාන්තය යන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ මනස්ගාත මත යන ගමනකි. දෙවියන්ගේ නාමයෙන් හෙට දවසේ හෝ මේ ගමන වෙනස් වෙනවා නම් එය මටත් රටටත් සැනසීමකි. දැන් මා සිටින්නේ මගේ කාලය අවසන් වෙමින් යන සමයකය. එහෙත් මම තවමත් මගේ හදවතේ ගැඹුරුම තැනින් සංචාරක කර්මාන්තයට ආදරය කරමි. මා කියන කාරණය අවබෝධ කරගැනීමට, තේරුම් ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට මොළය පහළ වේවා යි මම දිවා රෑ දෙකේ ප්‍රාර්ථනා කරමි.

සංචාරක කර්මාන්තය ගැන කතා කරන විශේෂඥයන් හා පණ්ඩිතයන් තම ප්‍රමුඛ අවධානය යොමු කරන තවත් කාරණයක් වන්නේ සංචාරකයන් කෙතරම් පිරිසක් ගෙන්වනවාද යන්න පිළිබඳවය. මා දකින චිරස්ථායි සංචාරක කර්මාන්තය (Sustainable tourism) අනුව නම් වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව නොව එන පිරිසෙන් රටට ලැබෙන ආදායමය. අපේ රට කුඩා දූපතකි. මට හිතෙන හැටියට මෙරටෙහි ජනගහනය දැනටත් රටට ඔරොත්තු නොදෙයි. දැන් රටේ ජනගහනය මිලියන 21 කි. ඇතැම් පළාත්වල ජනගහනය වර්ධනය ඉතා අධිකය. රටේ ඇතැමුන් ජනගහනය වර්ධනය පාලනය කරන විට තවත් පිරිසක් වර්ධනය වැඩි කරති. මේ කාරණය අප තේරුම් ගත යුත්තේ ලාංකිකයන් ලෙස මිස ජාති හෝ ආගම් ලෙස කල්පනා කිරීමෙන් හා කටයුතු කිරීමෙන් නොවේ. ජනගහනය බිලියන 21 ක් මේ රටට දැනටත් වැඩිය. ඒ අතරට සංචාරකයන්ද මිලියන 10 ක් පමණ ගෙන්වා ගතහොත් අප ඔවුන්ට සැප පහසුකම් සලසන්නේ කෙසේද? මගේ කල්පනාවේ හැටියට මේ රටට අවුරුද්දකට විදෙස් සංචාරකයන් ගෙන්වා ගත යුත්තේ බිලියන පහකට අඩුවෙනි. මගේ දැනුම පුංචි බවට කෙනකුට විවේචනය කළ හැකිය. පණ්ඩිතයන් කියන කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. වැඩියෙන් ඇනගන්නේ එවැනි පණ්ඩිතයන් බව අපේ අත්දැකීමයි.

වසරකට ගෙන්වා ගන්නා සංචාරකයන් සංඛ්‍යාව බිලියන පහ ඉක්මවීම ඉතා භයානකය. දැනටත් රටේ ජනගහනය බිලියන 21 කි. අපේ පාලන තන්ත්‍රයට බිලියන 21 කසල කළමනාකරණය කරගත නොහැකිව තිබේ. පානීය ජල ප්‍රශ්නය දැන් ලංකාවේ සෑම පළාතකම තිබේ. ඇතැම් හෝටල් හිමියන් දැනටත් වතුර සපයා ගන්නේ බව්සර්වලිනි. කොළඹ දිස්ත්‍රික්කයේ සෑම නගරයකම පාහේ තට්ටු දෙකේ නිවෙස්වල වතුර ටැංකිය දැනටත් දිවා කාලයේ පුරවා ගත නොහැකිය. විදුලිය සැපයීමෙහිද දැන් රටේ පවතින්නේ බරපතළ ප්‍රශ්නයකි. වාහන තදබදය අගනුවර පමණක් නොව අවශේෂ නගරවලද බරපතළ තවත් ප්‍රශ්නයකි. දුම්රිය සේවයේ තිබෙන්නේ ප්‍රශ්න රාශියකි. බස් පාලනයේ ද ඇත්තේ ප්‍රශ්නය. අසීමාන්තික ත්‍රීවිල් තවත් ප්‍රශ්නයකි. හිසේ සිට දෙපතුල දක්වා ප්‍රශ්න රැසක් තියාගෙන ඒවාටත් විසදුම් නොදෙන පසුබිමක විදෙස් සංචාරකයන් බිලියන 8 ක් 10 ක් ගෙන්වා ගත්තොත් ඉතා ඉක්මනින් වෙන්නේ දැනට එන ටිකක් අහිමි වී යාම නොවේද? අවුරුද්දකට සංචාරකයන් බිලියන පහකට වඩා ගෙන්වා නොගතයුතු බවට මා කරුණු දක්වන්නේ ඉහත හේතු මතය.

අද රටේ සිදුවන අනෙක් විනාශය වන්නේ රටේ සුන්දරම ප්‍රදේශ බලපුළුවන්කාරයන් විසින් නතුකරගනු ලැබීමය. දේශපාලකයන් දේශපාලන බලයෙන්ද මුදල් තිබෙන අය සල්ලි බලයෙන්ද එසේ කරති. එහෙත් ඇත්තෙන්ම විය යුත්තේ රටේ සුන්දරම තැන් හා ප්‍රදේශ කාටත් පොදු ස්ථාන බවට පත් කිරීමය. එහි සුන්දරත්වය සියලු දෙනාටම විඳීමට ඉඩ සලසා දිය යුතුය. ලොකු මුදලක් ගෙවන සුළු පිරිසකට පමණක් සුන්දරත්වය අත්විදීමට ඉඩ දීම අපරාධයකි. හෝටල් ඉඳිකළ යුත්තේ ඒ ප්‍රදේශ අවටය. සෑම ප්‍රදේශයකම හෝටල් ඉදිකළ යුත්තේ ඒ ප්‍රතිපත්තිය මත පිහිටාය. මේ යන ගමනේදි සීගිරිය ද වැහෙන මහතඩි හෝටල් ඉදිකිරීමට ඉඩ දෙනු නිසැකය. එදාට මේ රටට මොකද වෙන්නේ? මා කියන්නේ මහ තඩි හෝටල් හෝ නිවාස සංකීර්ණ අනවශ්‍ය බව නොවේ. වෙනස් වන පරිසරයට හා කාලයේ තාලයට අනුව ඒවා අත්‍යවශ්‍යය.

එහෙත් ඒවා ඉදිකළ යුත්තේ රටේ සුන්දරත්වය හා ඓතිහාසික උරුමයන් රැකගනිමිනි. ආරක්ෂා කර ගනිමිනි. අනාගත පරපුරට රට රැක දෙමිනි. මා යළි යළිත් කියන්නේ කරන සංවර්ධනයක් කළයුත්තේ රටේ සුන්දරත්වය රැක ගනිමින් සම්පත් ක්ෂය වීම වළක්වමින් පාරිසරික සමතුලිතතාව රැක ගනිමින් බවය. දැන් හඹා යන්නේ සල්ලි පසු පසය. සියලු දෙනා සියලු තීන්දු ගන්නේ රුපියල් ශත මතය. ඕනෑම පාලන තන්ත්‍රයක් කටයුතු කළ යුත්තේ තම පාලන තන්ත්‍රය රැක ගැනීමට නොව සංචාරක කර්මාන්තය හා රට රැක ගැනීම සඳහාය. ඒ සඳහා පළමුව මා පෙර කී අලිඛිත නීතිය දැන්වත් ලිඛිත නිතියක් කළ යුතුය. ඒ නීති නැවීමට හා හිල්වලින් රිංගීමට හෙංචයියන්ට ඉඩ නොදිය යුතුය. රට ගැන සිතන්නේ නම් කිසිම පාලන තන්ත්‍රයකට ඒවා නොකර සිටිය නොහැකිය.

අනුමැතිය දීමද දැන් බරපතළ ප්‍රශ්නයකි. හෝටල්, ගෙස්ට් හවුස්, සංචාරක නිවාස යනාදියට අනුමැතිය දීමේදී ආරක්ෂාව, සෞඛ්‍ය, පාරිභෝගික හෝ සේවාදායක අවශ්‍යතා පිළිබඳව මැනවින් සලකා බලා අනුමැතිය දෙන්නේද යන්න අද බරපතළ ප්‍රශ්නයකි. ලෝකයේ හොදම ආරක්ෂක හා සෞ්‍ය ප්‍රමිති පවත්වාගෙන යන්නේ යුරෝපයේ රටවලය. අපද එවැනි ප්‍රමිති පවත්වාගෙන යා යුතුය. එවැනි ප්‍රමිති තිබෙන්නේ නම් එය ප්‍රවර්ධන කටයුතුවලටද ඉවහල් වෙයි. අපේ රටේ එවැනි ප්‍රමිති පවත්වාගෙන යා නොහැකිව තිබෙන්නේ සංවර්ධන කටයුතු ඒ ඒ පුද්ගලයන්ට. නායකයන්ට හා දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය පරිදි කිරීම හේතුවෙනි. මෙරට සංවර්ධනයට පිළිගත් පොදු සම්මතයක් නැත. තිබුණත් ධනය හා බලය මත නීති නැමෙයි.  අපේ හෝටල්, ගෙස්ට් හවුස්, සංචාරක නිකේතන හා සංචාරකයන්ට නවාතැන් දෙන පෞද්ගලික නිවාසවල පවා යුරෝපයේ පවතින ආරක්ෂක හා සෞඛ්‍ය ප්‍රමිති ක්‍රියාත්මක වන බව අපට කිවහැකි නම් එය ප්‍රවර්ධන කටයුතුවලදී අපට මහා වාසි අත්පත් කරගත හැකි තත්ත්වයකි. එවැනි තත්ත්වයක් පැවැතීම අප ලබන ජයග්‍රහණයකි. ඒ ජය ලැබිය හැක්කේ මිල අධික උපාංග සවි කිරිමෙන් නොව ප්‍රමිති පවත්වා ගැනීමෙනි.

ඊළඟට ගෙන්වන සංචාරකයන් සංඛ්‍යාව තීන්දු කළ යුත්තේ රටේ සිදුවන සංවර්ධනයට සාපේක්ෂවය. සංවර්ධනය යනුවෙන් මෙහිදී මා අදහස් කරන්නේ යටිතල පහසුකම්වල දියුණුවය. එහිදී මහා මාර්ගවල සිදුවන දියුණුව ප්‍රධානය. දකුණු අධිවේගී මාර්ගය මහා ආශිර්වාදයකි. එලෙසම මහනුවරට යන අධිවේගී මාර්ගයද හැකි ඉක්මනින් ඉදිවිය යුතුය. දැන් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ‘මං අනුමැතිය දෙන්නම් - ගහපන් පුතා හෝටල්” යන පිළිවෙතය. මගේ මේ විවේචනය පැවැති හා පවතින සියලු ආණ්ඩුවලට අදාළය. “උඹලා හෝටල් ගහපල්ලා - අපි සංචාරකයන් ගෙන්වන්නම්” කියන ප්‍රතිපත්තියෙන් සංචාරක කර්මාන්තයෙහි චිරස්ථායි දියුණුවක් (Sustainble development) ඇති කළ නොහැකිය. “අපේ කාලයේදී සංචාරක හෝටල් මෙච්චර හැදුවා - ඒවායේ කාමර මෙච්චර හැදුණා - සංචාරකයන් මෙච්චර ආවා” කියන්නෝ පම්පෝරිකාරයන් මිස මොළයක් ඇත්තෝ නොවෙති. ඒ කතා කියන්නෝත් පිළිගත්තොත් ළිං මැඩියෝමය. ළිං මැඩියන්ට රටක් හෝ කර්මාන්තයක් දියුණු කළ නොහැකිය. එය කළ හැක්කේ පොතේ ගුරුන්ටද නොවේ. ප්‍රායෝගික බුද්ධිමතුන්ටය. එවැන්නන් ආනයනය කළ යුතු නොවේ. මේ රටේම සිටිති. ඔවුහු මෙහි භූමි පුත්‍රයෝය. ඒ භූමි පුත්‍රයන් මේ මවුබිමට දක්වන ආදරය, ගෞරවය හා භක්තිය සුවිශාලය. ප්‍රශ්නයකට ඇත්තේ පාලකයන්ටද ඉහත කී භූමිපුත්‍රයන්ගේ වටිනාකම ගැන නිවැරැදි තක්සේරුවක් නැතිකමය. එය රටේ කරුමයක් ලෙස හදුන්වනවාට මා විරුද්ධය.


සාකච්ඡා සටහන

ගුණසිංහ හේරත්