මීට හරියටම වසර 55කට පෙර සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවියට පත් ඇස්. සුබසිංහ මහතා ඉන් පසුව දිනමිණ, නවයුගය, සතුට, මිහිර හා ලංකාදීප පත්‍රවල කර්තෘ පදවි දරා මීට වසර 15කට පෙර පෙබරවාරි 3 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ මහතාගේ 88 වැනි ජන්ම දිනය යෙදී ඇත්තේ අද මාර්තු 5 වැනිදාටය.

පත්‍ර කලාවට පිවිසෙන පුද්ගලයන්ගේ ජීවිත බොහෝ විට ආලෝකවත් වන්නේ හෝ අඳුරු වන්නේ ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අනුව වුව ද එයට දෛවය ද බලනොපාන්නේ නොවේ යයි විශ්වාසයක් සුබසිංහ මහතාගේ තිබුණි. 1953 වර්ෂයේ ලේක්හවුස් ආයතනයේ ජනතා කර්තෘ මණ්ඩලයට බැඳෙන විට ඔහු වයස අවුරුදු 21ක තරුණයෙකි. 1965 වසරේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ අභාවයෙන් පසු 1965 වසරේ ඇස්. සුබසිංහ මහතා කර්තෘ පදවියට පත්විය. ඒ පිළිබඳව සුබසිංහයන් මෙසේ ලියා තිබුණි. (උපටනය – සිළුමිණ ස්වර්ණ ජයන්ති අතිරේකය - 1980 මාර්තු 30)

“1965 අවුරුද්දේ දී සිළුමිණ පත්‍රයේ කර්තෘ ලෙස මා පත්කරනු ලැබූ අවස්ථාවේදී එවකට ලේක්හවුස් අධිපතිව සිටි රංජිත් විජයවර්ධන මහතා මට කෙටි එහෙත් අරුත්බර උපදෙසක් දුන්නේය. එය මෙසේය.

‘මම සතුටු කරන්න වුවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් සතුටු කරන්න. මට කියන්න ඇත්තේ එපමණයි.’

මේ උපදෙසට අනුකූල වන අයුරින් පාලක පක්‍ෂය ද කටයුතු කළේය. අපිදු එම උපදෙස අකුරටම පිළිපැදීමට හැකි සෑම උත්සාහයක්ම දැරුවෙමු. එපමණක් නොව ඉන් ලද ප්‍රතිඵල අපේ ඉමහත් සොම්නසට හේතු විය. අප ගිය ගමනේදී ගිරිදුර්ග, වනදුර්ග ආදී බාධක හමු නොවූයේ නොවේ. එහෙත් ඒවායින් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය අපට නොමඳව ලැබුණේ අප අතර පැවැති අසාමාන්‍ය සමගිය හා අධිෂ්ඨානය තුළිනි. එදා කර්තෘ මණ්ඩලයේ සිටි බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්ෂ්මන් ජයවර්ධන, පර්සි ජයමාන්න, පී.බී. ඉලංගසිංහ, එස්.ආර්. හේමපාල කිහිපදෙනකු නොව එක් අයකු යයි සිතෙන තරම් එකා මෙන් වැඩ කළ යුගය සිහිවනවිට ඔවුන් හා එසේ වැඩ කිරීමට ලැබීම කොතරම් වාසනාවන්ත දැයි උදම් නොවී සිටිය හැකි ද?”

වැඩි වැඩ වැඩිවන අවස්ථාවලදී සුබසිංහයන් හා කර්තෘ මණ්ඩලය එක්වරම හඬ නගා කියවෙන නම් වට්ටෝරුවක් තිබී ඇත.

‘එදාට ගුණේටයි, ග්‍රැන්විල්ටයි එන්න කියමු.’ බෙනඩික්ට් දොඩම්පෙගම කියා ඇත.

ගුණේ හෙවත් ඩොක්ටර් යන ආදර නමින් කියැවී ඇත්තේ පසු කලෙක සිළුමිණ නියෝජ්‍ය කතුවරයා වූ ඩබ්ලිව්.පී.කේ. ගුණවර්ධන හෙවත් කීර්ති ගුණවර්ධනටය. ග්‍රැන්විල් යනු පසුව සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වාය. සිකුරාදාට බොතේ නැතිව බැරිලු. බොතේ යනු පසු කලෙක සරසවිය කර්තෘ වූ ධර්මදාස බොතේජුටය. සුබසිංහයන්ට වැඩ බහුල දින වන සිකුරාදාට ළඟින්ම සිට ඇත්තේ පසුව සිළුමිණ හා දිනමිණ කර්තෘ වූ ධර්මපාල වෙත්තසිංහ හා පසුව ලංකාදීප කර්තෘ වූ එල්මෝ ගුණරත්නය. ඡායාරූප කී සැණකින් මතකයට පැමිණ ඇත්තේ නිමල් පෙරේරා අභයවර්ධන හා එල්.ඊ. සමරරත්නය. චිත්‍ර ශිල්පීන් නම් ජී.එල්. ගෞතමදාස, තලංගම ජයසිංහ හා එස්.ආර්. හේමපාලය.

සුබසිංහ මහතා 1970 දිනමිණ කර්තෘවරයා විය. එදා දිනමිණේ කර්තෘ මණ්ඩලයේ සිටියේ පසු කාලයක පත්‍ර ලෝකයේ පෙරැළි කළ පිරිසකි. එඩ්මන්ඩ් රණසිංහ, සිසිරකුමාර මාණික්කආරච්චි, ජයවිලාල් විලේගොඩ, ජී.ඇස්. පෙරේරා, එඩ්වින් ආරියදාස, දයාසේන ගුණසිංහ, බන්දුල මෙත්තානන්ද, එන්.ජී. ධර්මවර්ධන, ඇල්බට් වැලිවිට, බන්දුල සරච්චන්ද්‍ර, හේමා වික්‍රමාරච්චි, යූ.ඩී.ඇල්. චන්ද්‍රතිලක, ඩී.සී. කරුණාරත්න, ඊ.ඒ. අමරසේන, කපිල පියදාස, ධර්මදාස බොතේජු, සොලමන් රණසිංහ, එන්.ටී.පී ද සිල්වා, …පරනදු ජිනදාස ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සහ අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රභාත් මානවසිංහ, තිස්ස එදිරිසිංහ, එම්.ඩී.එච්. සිරිසේන, සිරි රණසිංහ, උපාලි අයි. ද සිල්වා, සරත් ප්‍රේමතිලක, උදය මානවසිංහ එවකට සිටි කනිෂ්ඨයෝය.

දිනමිණ පුවත්පතේ (1970–1973) කතුවරයා වූ සුබසිංහ මහතා දිනමිණ 75 ජයන්තිය වෙනුවෙන් 1984 දෙසැම්බර් 17 වැනිදා විශේෂ කලාපයට ලියමින් මෙසේ ලියා තිබුණි.

“1973 ජුලි 18 වැනිදා මට පමණක් නොව එවකට ලේක්හවුසියේ සියලුම පත්‍ර කලාවේදීන්ට කිසිදා අමතක නොවනු ඇත. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් වූයේ එදාය. අධ්‍යක්‍ෂ මණ්ඩලයට ගෙදර යන්නට සිදුවිය. සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සියලුම සේවකයන්ගෙන් සමුගෙන නික්ම යනු අපි උඩුමහලේ ජනේල තුළින් ශෝකීව බලා සිටියෙමු. මහ භාරකාරතුමාගෙන් කලින් ලබාගත් විශේෂ අවසරයක් පිට විජයවර්ධන මහතා තම කාර්යාල සැරැසූ පිත්තල කැටයම් සහිත කළුවර පෙට්ටගම පමණක් ගෙදර ගෙන ගියේය.”

සුබසිංහ මහතා 1970 සිට 1973 දක්වා ද 1978 සිට 1979 දක්වා ද කර්තෘ පදවිය දැරීය.

‘සිළුමිණ’ පත්‍රයේ ස්වර්ණමය යුගය වූයේ සුබසිංහ මහතා එහි ප්‍රධාන කර්තෘ පදවිය දැරූ සමයයි. එකල එහි අති විශාල පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ නිසා පත්‍රයේ මුල් පිටුවේ උඩින්ම ‘අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත’ යන පාඨය මුද්‍රණය විය.

අලුත් ඇසකින් ලෝකය බලන්නට යොමු කළ කතුවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පර්සි ජයමාන්න විසින් හඳුන්වනු ලැබූ මේ අමුතු කතුවර සුබසිංහ මහතා කවුද?

ඇස්. සුබසිංහ නොහොත් සිරිවර්ධන සුබසිංහ හෙවත් සුබසිංහ ආරච්චිගේ සිරිවර්ධන සුබසිංහ 1932 මාර්තු 5 වැනිදා වේවැල්දෙණියේ උපත ලැබූ අතර ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ පස්යාල එල්ලක්කල මහා විද්‍යාලයෙනි. පසුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ඇත.

සුබසිංහ මහතාගේ පියා වූයේ රජයේ ලිපිකරුවකු වූ හේරත් සිංඤ්ඤො සුබසිංහ මහතාය. මව වූ එමලින් නෝනා මහත්මිය, ගෘහණියක වූ අතර දූවරුන් දෙදෙනකුගේ ද පුතුන් තිදෙනකුගේ ද මවක් වූවාය. සුබසිංහ මහතා පවුලේ බාලයාය.

සුබසිංහ මහතා සමග ආනන්ද විද්‍යාලයේ එකම පන්තියේ සිටි අය අතරින් ප්‍රවීණ රංගධර විජේරත්න වරකාගොඩ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න පාසල් ජීවිතයේ රසබර තොරතුරු අපට කීවේය.

“අපි සුබේ යන ආදර නාමයෙන් කතා කළ පන්තියේ සිටි නිශ්ශබ්ද ළමයා ඔහුය. සුබේ සිංහල භාෂාවට, සාහිත්‍යයට, චිත්‍ර කලාවට කොතරම් දක්‍ෂයෙක් ද යත් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිංහල හා චිත්‍ර කලාවට ත්‍යාග දිනාගත්තා. අපට ඉගැන්නූ ආර්. පල්ලෙවෙල, ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න, ඩී.බී. කුරුප්පු යන විද්වතුන් ඇසුරේ අපේ කාලය ගෙවුණේ. සිනමාවට, හින්දි චිත්‍රපට ගීත ඇසීමට ප්‍රිය කළ හතරදෙනෙක් අපේ පන්තියේ හිටියා. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, එල්මෝ ගුණරත්න, සුබේ හා මම. මම තලාත් මෙහෙමුඩ්ගේ සින්දු කියනකොට ජෝර්ජ් ලෙස්ලි මුකේෂ්ගේ සින්දු කියනවා. සුබෙයි, එල්මෝයි තාලේ අල්ලනවා. අපි හතරදෙනාගේම ප්‍රියතම නළුවා දිලිප් කුමාර්. ඒ කාලේ ආපු හැම හින්දි චිත්‍රපටයක්ම අපි බැලුවා. අපේ පන්තියේ හිටපු අනිත් ශිෂ්‍යයන් අතර ආරිය රාජකරුණා, එම්.එච්. ගුණතිලක පසුව විශ්වවිද්‍යාල මහාචාර්යවරු වුණා. ධර්මසිරි සේනානායක ඇමැතිවරයකු වුණා. දයානන්ද ගුණවර්ධන නාට්‍ය කලාවෙන් බැබලුණා. සුබේ, ජෝර්ජ්, එල්මෝ ලංකාදීප කර්තෘවරු වුණා. කුමාරදාස ජයසේකර ලංකාදීපෙ නියෝජ්‍ය කර්තෘ වුණා. නිහාල් රත්නායක ඩේලි නිව්ස් කර්තෘ වුණා. එස්.ආර්. හේමපාල ලේක්හවුස් හි ප්‍රධාන චිත්‍ර ශිල්පියකු වුණා. වරක් සුබේ ආනන්දේ නිර්මාණාත්මක අංශයේ ඉහළම ත්‍යාගය වූ සිවගුරුනාදන් සම්මානය දිනාගත්තා.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්නයෝ සුබසිංහ නම් පන්ති මිතුරා ගැන මෙසේ කීහ.

“සුබේ ආනන්දයට ආවේ වේවැල්දෙණියේ ඉඳලා. මම ගම්පහ ඉඳලා. ලේක්හවුස් එකේ මම වැඩට ගියේ සුබේට පස්සේ. මගේ පත්තර ජීවිතයේ ගුරුවරයා සුබේ. ලිවීමට වගේම සියුම් චිත්‍ර කලාවට සුබේට අපූරු හැකියාවක් තිබුණා. මම විවාහ වෙනකොට මංගල පෝරුව හදල දුන්නේ සුබේ. ආනන්දේ එක පන්තියේ හිටපු සුබේ, එස්.ආර්. හේමපාල හා මම ලේක්හවුසියෙන් එකට හිටපු කාලය හරිම රසවත්.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා කීවේ සුබසිංහ මහතා උපහාසයට, හාස්‍යයට කැමැති නිහතමානී චරිතයක් බවය. සුබේ මතක් වෙනකොටම තව නම් තුනක් ගැන ද කියන්න වෙනවා. ඒ බෙනඩික්ට් දොඩම්පෙගම, පර්සි ජයමාන්න හා පී.බී. ඉලංගසිංහ බව ද රණසිංහ මහතා පැවැසුවේය.

“සුබසිංහ මහතාට අපි කතා කළේ සුබේ කියලා. සුබේ නිතරම සිනාමුසු හඬකින් මට නොතාරිස් රාලහාමි යයි කියන්නට පුරුදු වුණා. මෙය හුදෙක් විහිළු මෙන්ම විනෝදකාමී එකක් ලෙස මම සැලකුවා. අපි දෙදෙනාම ගම්බද පළාත්වලින් පැමිණි දෙදෙනකු වූ නිසා රාලහාමි යන වචනය අලුත් දෙයක් වුණේ නැහැ. සුබේ මට මෙසේ කීවේ මම හැමවිටම ලියමින් සිටි නිසා බව ඉලංගසිංහගෙන් දැනගන්න ලැබුණා. අපි දෙදෙනාම සුබේගේ විහිළු බසින් විනෝද වුණා.”

සුබසිංහ මහතාගේ නම කියන විටම ඊළඟට මතක් වන නම පර්සි ජයමාන්නය. සුබසිංහ මහතා ගැන ගුවන්විදුලියෙන් කතා කරන කෙනකුට පර්සි කියන නම තහනම් වචනය වන තරමට පර්සි, සුබසිංහ මහතාගේ අගසව්ය.

රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත් සමාගම ආරම්භ කරන්නේ සුබසිංහ මහතා හා ඔහුගේ අගසව් පර්සි ජයමාන්න මහතාත් සමගය. ඉන්පසු රෝලන්ඩ් අබේසිංහ දසනායක යන මහත්වරුන් සම්බන්ධ කරගත් අතර කර්තෘ මණ්ඩලයට ලක්ෂ්මන් ජයවර්ධන හා දෙල්තොට චන්ද්‍රපාල යන මහත්වරු සම්බන්ධ වූහ.

1980 වර්ෂයේ මාර්තු 21 වැනිදා ‘සතුට’, අප්‍රේල් 30 වැනිදා ‘සිරිකත’, ජූලි 20 වැනිදා ‘විජය’ පුවත්පත, විජය පුවත්පත් සමාගම ආරම්භ කළ අතර 1983 වසරේ ජූලි 21 වැනිදා ‘තරුණයා’ ද 1984 වසරේ ‘සුරතලා’, 85 වසරේ ‘ලිට්ල් ස්ටාර්’ පුවත්පත ද 1986 වසරේ පෙබරවාරි 23 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රය ද 1989 වසරේ ජුනි මාසයේ පෙබරවාරි 23 වැනිදා ‘වනිතා විත්ති’ පත්‍රය ද ආරම්භ කර ඇත.

1987 පෙබරවාරි මාසයේ සුබසිංහ මහතා ඉවත් වූයේය. එහෙත් ඉන්පසු ‘පලාමල්ල’ නම් තීරු ලිපිය වසර ගණනක් ‘ලංකාදීප’ පත්‍රයට රචනා කළේය. ඒ තීරු ලිපි අතර මහාචාර්ය සිරි ගුණසිංහ විසින් අයි.ටී.එන්. නාලිකාවට නිර්මාණය කළ ‘ගුත්තිලය’ නම් ටෙලි නාට්‍යය නිර්දය ලෙස විචාරයට ලක්කළේ ගුත්තිලයේ කවි රිද්මය අනුගමනය කරමිනි.

ඉරිදා ලංකාදීපයෙහි සුබසිංහ ශූරීන්ට විශේෂත්වයක් හිමිවන්නේ එහි දෙවැනි උපතට උර දුන් විජය ප්‍රකාශන කර්තෘ මණ්ඩලයේ ආරම්භක නියමුවා වීම නිසා බව පැවැසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශබ්දකෝෂ විශ්වකෝෂ සංස්කාරකවරයකු ලෙස මහා මෙහෙයක් කරන පර්සි ජයමාන්න මෙසේ ද කීය.

“1979 දී දිනමිණ කර්තෘ පදවිය අත්හැර ආවේ නිදහස් ජාතික පුවත්පතක් ඇරැඹීමට රංජිත් විජයවර්ධන මහතාට අවශ්‍ය නිසා. සුබසිංහයන්ගේ සිහිනයක්ව තිබූ සිහිනයක් සැබෑ කරමින් සතුට, විජය, සිරිකත, සිසුමිණ, ඉරිදා ලංකාදීප පත්‍රය මෙහෙයවීමේ අවස්ථාව ලැබුණා. චාලි චැප්ලින් කෙනකු නොවූවත් ඔහු හැම දෙයක් දෙසම අපහාසයෙන් නොව උපහාසයෙන් බලන්න සමත් වුණා.”

ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ පී.බී. ඉලංගසිංහයන් අපට කීවේ සුබසිංහ මහතා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයකු බවය.

“සුබසිංහ මහතා මගේ ගුරුවරයා. ජනතා පත්‍රයේ සිටි මම 1965 සිළුමිණ කර්තෘ මණ්ඩලයට අරන් මට ගුරුහරුකම් දීලා මට අතහිත දුන්නේ ඔහු. මගේ වැඩිමහල් සොහොයුරකු වූ ටිකිරි බණ්ඩා ඉලංගසිංහ ආනන්දේ ඉගෙන ගත්තේ සුබසිංහ මහත්තයා එක්ක.” පී.බී. අපට කීය.

සුබසිංහ මහතාගේ ගමේ මිතුරන්, හිතවතුන් අතර වේවැල්දෙණියේ රබර් හා පෝර ස්ටෝරුව අයිති ජයසුමන රාලහාමි ද විශ්‍රාමික විදුහල්පති සෝමවර්ධන හා ගුණසේකර රාලහාමි ද වෙයි. ජයසුමන රාලහාමි අපට කී කතාවකි මේ.

“සුබසිංහ මහත්තයා මෙච්චර වටින පත්‍ර කර්තෘ කෙනකු බව ගමම දැනගත්තේ ඒ මහත්තයා මියගියාට පස්සේ. එතුමා රසට කෑම උයන්න දන්න බව අපි දැනගත්තේ විනෝද ගමන් ගිය අවස්ථාවල. ‘මහත්තයාගේ කෑම රසයි’ කිව්වාම ‘මම හොඳ කෝකියෙක් රාලහාමි දන්නේ නැති වුණාට’ කියලා හිනාවෙනවා. දවසක් සුබසිංහ මහත්තයාගෙන් ගැමියෙක් මෙහෙම ඇහැව්වා.

‘හොඳයි මහත්තයට පුළුවන් ද හරක් බඳින්න? ගහකට යන්න? පොල් අත්තක් බඳින්න? ගහකට නගින්න? හාන්න? මහත්තයා ගමට ඒ නිසා ප්‍රයෝජනවත් නෑ.’

‘ඒ එකක්වත් බැහැ. ඇත්තමයි මුන්නැහේ කිව්වේ?’ සුබසිංහ මහත්තයා කිව්වා.

‘මහත්තයා දන්නේ පෑනෙන් කරන වැඩ’ ගැමියා හිනාවෙලා ගියා.

සුබසිංහ මහත්තයා විහිළුවෙන් දවසක් මෙහෙම කිව්වා.

‘මට වෙන කිසිම රෝගයක් නෑ, හෘද රෝගය හැර. ඒක වාසනාවන්ත රෝගයක්.’

සුබසිංහ මහත්තයා මේ නිසා ඔපරේෂන්වලට යන්න කැමැති වුණේ නෑ.

‘මට තියෙන්නේ ලෙඩ අතරින් හොඳ ලෙඩක්. ඉක්මනින් මැරෙන ලෙඩක්.’ සුබසිංහ මහත්තයා මරණයටත් හිනා වුණා.”

ජයසුමන රාලහාමිට කී පරිදිම සුබසිංහ මහතා 2005 පෙබරවාරි 3 වැනිදා මියගියේය.

සුබසිංහ මහතා චිත්‍රපට විචාරකයකු බව දන්නේ කීදෙනා ද? සුරතලී, දෛවයෝගය චිත්‍රපට ගැන සිළුමිණට චිත්‍රපට විචාර ලියූ සුබසිංහ මහතා අවසන් වරට චිත්‍රපට විචාරයක් කළේ 1970 වසරේ දිනමිණ කර්තෘ ලෙස නිම්වළල්ල චිත්‍රපටයටය.

දිනමිණ පත්‍රයේ නිත්‍ය චිත්‍රපට විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ සිටියදී පත්‍රයේ ප්‍රධාන කර්තෘ සුබසිංහ මහතා සතියකට පමණ පසු ‘නිම්වළල්ල ජයග්‍රාහක පියවරක්’ නමින් චිත්‍රපට විචාරයක් ලියා තිබුණි. එහි මෙසේ සඳහන් කර තිබුණි.

“සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියා පෑමට රංජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කරගෙන තිබෙන අන්දම ගැන සලකා බලන විට නිම්වළල්ල සිංහල චිත්‍රපටයකැයි හඳුන්වනවාට වඩා සිනමා චිත්‍රපටයකැයි හැඳින්වීම වඩාත් මැනවැයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශනය වීමට රංජිත් කුමාරගේ පසුබිම් නිර්මාණය ඉමහත් රුකුලක් වී ඇත.

අධ්‍යක්‍ෂ රංජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක, කලා අධ්‍යක්‍ෂ රංජිත් කුමාර සහ කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න අතරින් මගේ මනසෙහි මැවී පෙනෙන්නේ ළාබාල ගැටවරයන් හතරදෙනකු මෙන් නොව ජීවිතය ගැන පුළුල් අත්දැකීම් ලත් විවේක බුද්ධියක් හා අවබෝධ ඥානයෙන් යුතුව සානුකම්පිතව සමාජ ප්‍රශ්න දෙස බලන වෘද්ධයින් හතරදෙනකු ලෙසිනි.”

1969 ලේක්හවුසියට බැඳුණු මා ආනන්දයේ සිටියදී එම වසරේම නිපද වූ නිම්වළල්ල චිත්‍රපටය ගැන සුබසිංහ මහතා ආදි ආනන්දියකු ලෙස ලියූ එම විචාරයට කෘතගුණ සැලකීමටයි මේ ඡේදය එකතු කළේ. සුබසිංහ මහතාට නිවන් සුව...!

ඒ.ඩී රන්ජිත් කුමාර