ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා කෙන්යාවේ අගනුවර වන නයිරෝබිය බලා පිටත් වූයේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන අවුල් වියවුල් කිහිපයක්ම නිර්මාණයව තිබූ වාතාවරණයකය.

මාර්තු මස 11 සිට 15 වැනිදා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සිව්වැනි සැසිවාරය සදහා සහභාගීවීමට ජනපතිවරයා එසේ පිටත්ව ගියේය. මෙම සැසිවාරය සුවිශේෂයෙන්ම වෙන්ව තිබෙනුයේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි සාමාජිකයන් 125 දෙන නියෝජනය කරන, එම එක් එක් රටවල අමාත්‍යවරුන් හෝ නිලධාරීන් වෙනුවෙනි. 

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ශ්‍රී ලංකාව නිල වශයෙන් නියෝජනය කරන්නේ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන සුනිල් ද සිල්වා මහතාය. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් පවත්වාගෙන යමින් තිබීමට එකම හේතුව වන්නේ ද එක්සත් ජාතීන් එරට ක්‍රියාකාරී ලෙස කටයුතු කරමින් සිටීම පමණකි. පෙර අවස්ථාවක දී තීරණය කර තිබුණේ එම කාර්යාලය වසා දැමීමටය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා පමණක් නොවේ. ඔහු මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ද වේ. ඒ අනුව යමින් ස්ථාපිත කර ඇති පිළිවෙත් අනුව සැළකුවහොත් එම සැසිවාරය සදහා සහභාගී වූ එකම ආසියානු රාජ්‍ය නායකයා ඔහුම පමණක් විය.
මේ හා සමාන අවස්ථාවකට ජනපති සිරිසේන මහතා මුහුණ දුන් පළමු වතාව ද මෙය නොවේ. ජනවාරි මාසයේදී ඔහු සිංගප්පූරුවේ පැවැති ආසියානු - ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ අධිකාරීන්ගේ තෙවැනි සමුළුවට සහභාගී වූ අතර, ඔහු හැරෙන්නට සමුළුවට එක්ව සිටි අනෙක් සියල්ලන් සමන්විත වූයේ අතලොස්සක් වූ අමාත්‍යවරුන්ගෙන් සහ බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ගෙනි. ඒ කෙසේ වුවත්, ජනපති සිරිසේන මහතා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, සිංගප්පූරු අගමැති ලී හ්සියෑන්ගේ ලූන්ග් හමුවීමට සමත් විය. එම හමුවේ දී මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනාවලට පිළිතුරු දීම සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ඔහු සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

නයිරෝබියේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානය හිමිව තිබූයේ සමුදුරු කසළ, ක්ෂුද්‍ර ප්ලාස්ටික්, වරක් භාවිතා කර ඉවත ලියයුතු ප්ලාස්ටික්, සහ මෙම කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටනේ භූමිකාව මැයෙන් වූ යෝජනාවලියකටය. 2018 ජනවාරි මස 1 වැනිදා සිටම ජනපති සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයට නැවතීමේ තිත තැබීමට මේ දක්වාම අපොහොසත්ව සිටී. සුපිරි වෙළදසැල් සහ ආහාර අලෙවිසැල් සිත් සේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතයේ යෙදෙත්.

පරිසරය ආරක්ෂා කිරීම නීතිමය අවශ්‍යතාවයකට පමණක් සීමා වී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. 

වර්තමානයේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙරාතුව පාරිසරික ශක්‍යතා වාර්තාවකට අනුමැතිය ලබාගැනීම නීතියෙන්ම අනිවාර්යය කර තිබෙන්නකි. නමුත් පොදු ජනතාවට ඉතාම හානිකර වන පාරිසරික ගැටලු රැසක් වර්තමානයේ ඇතිව තිබේ. ඉන් එකක් වන්නේ පමණ ඉක්මවා සිදුවන ශබ්ද දූෂණයයි. 

දිනපතාම උදා සහ සන්ධ්‍යා යාමයන්වල දී, කන් බිහිරි වන තරමට ශබ්දය වැඩි කළ නාද රටා වාදනය වන්නට සළස්වාගෙන ආහාර වෙළදාමේ යෙදෙන ත්‍රී රෝද රථවල සිට, මධ්‍යහනේ දී ගෙයින් ගෙට ගොස් පරණ යකඩ එකතු කිරීමේ රථ දක්වාම ද, මාර්ගයේ මහ හඩින් නළාව නාද කරමින් වැරදි පසින් ගොස් අනෙක් වාහනවලට ඉස්සර කරන බස් රථ දක්වාම ද, ශබ්ද දූෂණය අති ඉහළින්ම සිදුවෙමින් තිබේ. 

අනුරාධපුර පොලිසිය පසුගියදා ඉතාම සාධනීය පියවරක් ගනිමින් අධික ශබ්දයක් සහිත නළා සවිකරගෙන සිටි බස්රථ රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, එසේ වුවත් පොලිසියට හෝ පරිසරය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයින්ට හෝ සාර්ථක පියවරක් ගැනීමට ඉඩක් නොමැති වේගයකින් පරිසරය දූෂණය වෙමින් පවතී. ශබ්ද දූෂණයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සදහා සහතිකයක් ලබාගැනීමකට ඔබ්බෙන් වන විසදුමක් කරා යෑමට දැන් කාලය පැමිණ තිබේ.

අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වෙන්ව තිබූ එක්සත් ජාතීන්ගේ වැඩසටහනකට ශ්‍රී ලංකාවේ ජනපතිවරයා වන ජනපති සිරිසේන මහතා සහභාගීවීම, නිසැකයෙන්ම, තරමක් අමුතු දෙයකි. එය වඩාත් සැළකිල්ලට ලක්වන්නේ රට ආර්ථිකමය සහ දේශපාලනමය වශයෙන් ඉතාම බරපතල මට්ටමක පවතින බවට අවස්ථා ගණනාවකදී ඔහුම පවසා ඇති බැවිනි. 

තමා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා බවට තර්කයක් ඉදිරිපත් කිරීමට ඔහුට පිළිවන. එය විවාදාත්මක වුවත්, පසුපස තිබෙන සැබෑ හේතුව තේරුම් ගැනීමට අපහසු නැත. 

වර්තමානයේ රටේ ඇවිලෙමින් තිබෙන අර්බුද ගණනාවක ‘රස්නය‘ කෙලින්ම දැනෙමින් තිබෙන්නේ ඔහුටය. එය අතිශයින් පීඩාකාරී බවට සැකයක් නැත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම පීඩාකාරී තත්තයෙන් මිදෙනු පිණිස ඔහු පවුලේ සාමාජිකයන් සමග තායිලන්තයේ සංචාරයක නිරත විය. මෙය ද ඒ හා සමාන අවස්ථාවකි. 

පසුගිය බදාදා ජනපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේ දී, ජනපතිවරයා ලෙස ලැබූ ජයග්‍රහණ විස්තර කර දීමට හෝ ජනපතිවරයාට එරෙහිව නැගුනු විවේචනයන්ට පිළිතුරු දීමට හෝ ඔහු මෙරට නොසිටියේ ය. සියල්ලෙන් මිදී රටෙන් පිටතට පියාසර කිරීම මැනවයි ඔහු සිතුවේ ය. මෙවර සංචාරය සදහා ජනපතිවරයා සමග එක්වූයේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරයකු හා වර්තමානයේ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටින සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ය.

එසේ කළ ඔහු මෙරට ඉතිරිකර ගියේ නව දේශපාලන අවුල් වියවුල් රැසකි. එම ඇතැමක් නිසා අනාගතයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉතාම බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇත. මෙහි දී වඩාත් වැදගත් වන්නේ එම ප්‍රතිවිපාකයන්ගෙන් ඇතැමෙක් ජනපතිවරයා වෙතම භූමරංගුවක් මෙන් කැරකී පැමිණිය හැකි තත්ත්වයේ පැවතීමය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඔහු හෝ ඔහුගේ උපදේශකවරුන් (එවැන්නන් සිටී නම්) කටයුතු කර නොමැති බවක් පෙනේ. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කෛරාටිකභාවය නැවත වරක් විද්‍යාමාන වූ අතර, එය ජනපති සිරිසේන මහතා තව තවත් වියවුලට පත්කළ කාරණයක් විය.

අවධානය යොමුව තිබෙන ගැටලු හදුනාගැනීම

අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමග සිය සබදතා ශක්තිමත් කරගැනීමට උත්සාහ කරන සෙයක් ජනපති සිරිසේන මහතාගේ කටයුතුවලින් පෙනේ. මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමාට අස්ථාවක් තවදුරටත් නොමැති බව ඔහු අවබෝධ කරගෙන ද? නොඑසේ නම් ඔහුගේ අරමුණ වන්නේ මෙම වසරේ එන ජනපතිවරණයට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණ සමග සිය සබදතා වඩා සැහැල්ලු සහ මිත්‍රශීලී තත්ත්වයකට ගෙන ඒම ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනපති සිරිසේන මහතාගේ කටයුතු හමුවේ පක්ෂයේ බෙදීම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. ඔහුගේ උපදෙස් පරයා ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හය දෙනෙක් එක්සත් ජාතික පෙරමුණ හා එක්ව අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමට පක්ෂව සිය ඡන්දය භාවිතා කළහ. ඔහු දුන් උපදෙස්වලට විරෝධය පළකළ ඇතැමෙක් ද විය. මේ අනුව සැළකූ විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව අර්බුදයක් නිර්මානය කර තිබේ. පක්ෂයේ හුදකලා ජනපති අපේක්ෂකයා ඔහු වන්නේ නම්, පක්ෂ සාමාජිකයන් කී දෙනෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇති ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව පොදු සන්ධානයක් තැනීම සදහා වන සාකච්ඡා දිගටම පැවැත්වෙතත්, මෙම සතියේ ජනපති සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය එවැන්නක් යථාර්ථයක් බවට පත්වීමට ඇති අවස්ථාව තවදුරටත් දුර්වල කර තිබේ. ඔහුගේ අරමුණත් එයම ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට තමන් තෝරාගත් ත්‍රිපුද්ගල දූත කණ්ඩායමක් යැවීමට තැබූ පියවර පසුපසට ගත් ජනපති සිරිසේන මහතා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වය යටතේ වූ කණ්ඩායමක් අරබයා සිය එකගත්වය පළ කළේ ය. අන්තර්ජාතික ප්‍රජාව මවිතයට පත් කරමින් ඉදිරියට තැබූ පියවර, නැවත පසුපසට ගැනීමට ඔහු කටයුතු කළේ ඇයි ? 

එක්සත් යොමුවකින් මෙම ගැටලුව ආමන්ත්‍රණය කිරීමට තීරණය කළේ නම් මෙසේ අපහසුතාවයට පත්වීම වළක්වා ගතහැකිව තිබුනා නොවේ ද? 

අවසානයේ දී ඔහු පිළිගෙන තිබෙන්නේ එක්සත් ජාතීන් අරබයා එක්සත් ජාතික පෙරමුණ අනුගමනය කරන පිළිවෙතම නොවේ ද?

එක්සත් ජාතික පෙරමුණ සමග මෛත්‍රීගේ සබදතා

දෙපාර්ශවය අතර සබදතා පලුදු වී ගියද ද, ඇතැම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ජනපති සිරිසේන සමග තිරය පසුපස සිට දිගින් දිගටම සබදතා පවත්වාගත් බව ප්‍රසිද්ධ රහසකි. මේ හරහා විවිධ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය දරමින් සිටින මත පිළිබදව දැනුම්වත්වීමට ජනපතිවරයාට සහ රජයට අවස්ථාව සැළසින. ගෙවුණු සතියේ දී මෙම ක්ෂණික ඇමතුම් මාර්ගය - වඩාත් කාර්යබහුල විය.

මෙම වතාවේ දී අනෙක් සියල්ලන් පරාජය කරමින් පෙරට පැමිණියේ සටකපට දේශපාලන විඥානයකින් හෙබි අගමැති රනිල් වික්‍රමසිංහය.

සිය අනුදැනුම යටතේ සිදුවීම් දාමයක පෙළ ගැස්වීමට ඉඩහල ඔහු, සාපේක්ෂව දුබල පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතර පතල ගැටලු අවධානයට ගත්තේය. ඒ මත්තේ සිට ඉදිරිය සැළසුම් කිරීමට තමාට ඇති නිසග හැකියාව භාවිතයට ගනිමින් ඔහු මුලින්ම කළේ මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා හරහා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීමය. 

අයවැයේ කාරක සභා විවාද අදියරේ දී, ජනපති වැය ශීර්ෂයට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් සූදානමින් සිටින බව රහුමාන් ඒ අනුව කියා සිටියේය. වික්‍රමසිංහගේ සැළසුම ගැන කිසිත් නොදැන සිටි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, සිය සුපුරුදු පිළිවෙතින්, එවැනි කිසිවක් සිදුනොවන බව ප්‍රසිද්ධියේම අවධාරණය කළේ ය. නමුත් රහුමාන්ගේ එම නිවේදනය ඉලක්ක කැරුණු පුද්ගලයා - ජනපති සිරිසේන මහතා - එය ඉතාම බරපතල ලෙස සිය අවධානයට ගත්තේ ය.

පසුගිය අගහරවාදා ජනපති සිරිසේන සිටියේ පාර්ලිමෙන්තුවේය. එනම් ඔහු නයිරෝබිය බලා පිටත්ව යෑමට දිනකට පෙරය. 

මෙම ගැටලුව ඔහුගේ සිතුවිලිවල ඉදිරියෙන්ම පැවැතිණ. පෙර අවස්ථාවක ඔහු, අයවැය සදහා ඡන්දය භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැළකී සිටිනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ නායකත්වය දැනුම්වත් කර තිබුණි. 

අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබිණ. ගැටලුව මතුවූයේ ජනපති වැය ශීර්ෂය පරාජය වුවහොත්, ඉදිරි කටයුතු දියත් කිරීම සදහා මුදල් නොමැති තත්ත්වයක ජනපතිවරයාට කුමක් කිරීමට සිදුවේදැයි යන්න අරබයාය. අයවැයට ඡන්දය පළකිරීමෙන් වැළකී සිටීමට තීරණයක් ගෙන තිබිය දී, දැන් පක්ෂය වෙනත් තීරණයක් ගැනීමට කටයුතු කරන්නේ මන්දැයි, ජනපතිවරයාට එරෙහිව විවිධ පාර්ශවයන්ගෙන් හඩ නැගිණ. 

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා රජයේ අයවැය වෙනුවෙන් මනාපය පළකළ යුතු බවට දැඩිව කියා සිටියේ ය. ගතවූ මාස කිහිපයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂය හා ඉතා සමීපව කටයුතු කළ බව රහසක් නොවේ. අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමත් සමග, අතලොස්සක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දැන් අපේක්ෂා සහගතව සිටිනුයේ එක්සත් ජාතික පෙරමුණු කැබිනට්ටුව හා එක්වීමට ඔවුනට දැන්වත් ජනපති සිරිසේනගේ අවසරය ලැබෙනු ඇතැයි කියාය. නමුත් එය එසේ සිදුවේදැයි ඉතාම අවිනිශ්චිතය.

ජනපති සිරිසේන මහතා මෙසේ කටයුතු කිරීම මෙසේ පැහැදිලි කළ හැකිය.

රජයක ප්‍රධානියා වන ජනපතිවරයා, තමන්ගේම රජයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම යනු, ජනපතිවරයා ලෙස ඔහු නොකළ යුත්තක් හෙයින් ඔහු එසේ කටයුතු කළ බවට තර්ක කැරිණ. නමුත් අනෙක් පසින් නැගෙන පැනය වන්නේ එසේ නම් විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් ඒකාබද්ධ විපක්ෂයක් සමග ජනපතිවරයා අත්වැල් බැද ගන්නේ කෙසේ ද? යන්නය. 

එයට ලැබෙන පිළිතුර ජනපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නැතහොත් ඒකාබද්ධ විපක්ෂය අතර එකිනෙකා කෙරෙහි වන විශ්වාසය අරබයා පවතින ගැටලුව ඉස්මතු කරන්නකි.  එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධයෙන් තරමක් මෘදු පිළිවෙතක් අනුගමනය කිරීමට ඔහු පෙළඹී සිටින්නේ ඇතැම් විට මේ නිසාම විය හැකිය. 

මීළඟ ජනපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමා නොවන බව ජනාධිපතිවරයා මේ වන විට සහතික ලෙසම අවබෝධ කරගෙන සිටී. 

ඒකාබද්ධ විපක්ෂයේ තෝරාගැනීම වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පළව තිබූ කතාවට මේ වන විට තටු ලැබී තිබේ. එයට ප්‍රධානම හේතුව වන්නේ පසුගිය 6 වැනිදා ඔහු කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයට ගොස් සිය ඇමරිකා පුරවැසිභාවය ඉවත් කරගැනීම සදහා වූ ලිපිලේඛණ භාර දීමය. 

තානාපති කාර්යාලයක් සාමාන්‍යයෙන් එවැනි කාරණයක් සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැත. මෙයට තවත් ඌණ පූර්ණයක් එක් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ ඡේ්‍යෂ්ඨයින් අතර පසුගිය බ්‍රහස්පතින්දා රැයේ පැවැති හමුවක් පිළිබදව පළව තිබෙන වාර්තාය. කොළඹ විජේරාම පාරේ පිහිටි රාජපක්ෂගේ නිල නිවසේ දී පැවැති මෙම හමුවේ දී, ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වයට ඔවුන් සියලුදෙනාගේම ආශිර්වාදය හිමිවූ බව දැනගන්නට ඇත.

අනෙක් පසින් අගමැති වික්‍රමසිංහ මහතා තිරය පසුපස සිය උපාය මාර්ගය ක්‍රියාත්මක කළේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් හට ජනපතිවරයාට එරෙහිව පාර්ලිමෙන්තුවේ දී අදහස් දැක්වීමට ඉඩ සළසා දෙමිනි. ඔවුහු ජනපති සිරිසේන මහතාට දැඩිව පහර ගැසූහ. පාර්ලිමෙන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔවුන් අතර පෙරමුණේම සිටියා ය.

“ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව කිසිම වෙලාවක විශ්වාස කරන්න බැහැ. අපට ඒක පැහැදිලි වුනේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 26 වැනිදා. නමුත් විපක්ෂයේ සාමාජිකයන් මේ ගැන මුල ඉදන්ම දැනගෙන හිටියා. ආයෙත් ඊයේ (බදාදා), ඡන්දය විමසීම පැවැත්වුණු අවස්ථාවේ ඔහු ඒකම කළා. ඒ නිසාම ඔහුව සත පහකට විශ්වාස කරන්න බැහැ,

“ඔහු කිසිම වෙලාවක සෘජු පිළිවෙතක් අනුගමනය කළේ නැහැ වගේම පුද්ගලයකු හැටියටවත් ඔහු ගැන විශ්වාසය තබන්න බැහැ. පොදු ගැටලු වෙනුවෙන් ඔහු කොයිම වෙලාවකවත් පෙනී සිටියේ නැහැ. ජනපති අපේක්ෂකයා ලෙස ඔහුව තෝරාගෙන අපි වැටුණු උගුලේම වැටෙන්න එපා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දෙමින් පැහැදිලි දේශපාලන ගමනය යෙදී සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාගතයත් විනාශ කරන්න ඔහු කටයුතු කළා..” යයි ඇය පැවසුවා ය.

නමුත් ඇතැම් ජේ්‍යෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හිරුණිකාට චෝදනා කරමින් කියා සිටියේ ඇය ජනපතිවරයා කෙරේ කෝපය අවුලුවාගෙන සිටින්නේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති සමාවක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් පවතින නිසාවෙන් බවය. හිරුණිකාගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට හවුල්වීයැයි දුමින්ද සිල්වා මේ වන විට සිටින්නේ සිරගත කැරය.

ඡන්දය විමසීමේ අවස්ථාව පැමිණි විට, බෙදීමක් නොමැති බව වික්‍රමසිංහ මහතා සහතික කළේ ය. ඒ අනුව ජනපතිවරයාගේ වැය ශීර්ෂය ඒකමතිකව සම්මත විය. ඒ වන විට ඔහු සිටියේ ශ්‍රී ලංකාවෙන් නික්ම කෙන්යාවේ නයිරෝබි නුවර බලා පියාසර කරමිනි.