19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ ආණ්ඩුක්‍රමය අස්ථාවර වී තිබෙන්නේද? මෙම ප්‍රශ්නය මතු කිරීමට සිදු වී තිබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල පැවැත්වෙන දේශපාලන කතිකාව හේතුකොට ගෙනය. කතිකාවට මුල පිරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරන ලද ප්‍රකාශයක් හේතු කොටගෙනය. එම ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රමය තුළ ආඥාදායකත්වයක් බිහිවූ බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ආණ්ඩුක්‍රමය බරපතළ අස්ථාවරභාවයකට පත්ව ඇති බවත් සහ ආණ්ඩුක්‍රමයේ ස්ථාවරභාවය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් වන බවත්ය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව ඉදිරිපත් වන පක්‍ෂ හා ප්‍රතිපක්‍ෂ අදහස් මේ දිනවල දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන්ම දැකිය හැකි අතර මෙම පක්‍ෂ - විපක්‍ෂ අදහස් සියල්ල පොදුවේ ගෙන බලනවිට පෙනීයන මූලික කරුණ වන්නේ එම අදහස් තමන්ගේ පෞද්ගලික දේශපාලන රුචිඅරුචිකම් හා පක්‍ෂපාතීකම් අනුව ප්‍රකාශ කරන පාර්ශ්වීය අදහස් විනා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ ස්වරූපය පිළිබඳ සැබෑ තත්ත්වය ඒවා මගින් ප්‍රකාශ නොවන බවය. 

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ පළමු කොටසින් අවධාරණය කරන්නේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රමය ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය කළ බවය. මෙහිදී පැහැදිලි ලෙසම පෙනී යන කරුණ වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩරුව සහ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එයට වූ බලපෑම ගැන නිවැරදි අවබෝධයකින් තොරව ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබෙන බවය. ආඥාදායක ආණ්ඩුක්‍රමය මෙරට ආරම්භ වන්නේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් ආඥාදායක විධායක ජනාධිපති තනතුර සමඟය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළේ 1978 මූලික ව්‍යවස්ථාවෙන් ගොඩනඟා තිබූ විධායක ආඥාදායකත්වය අධි ආඥාදායකත්වයක් කරා ගෙනයාමය. සමහර විචාරකයන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය හැඳින්වූයේ රට තුළ රාජාණ්ඩු පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට ගත් උත්සාහයක් ලෙසය. කෙසේ වුවද දැන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කථාකිරීමෙන් පලක් නැත. හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ වලංගුභාවය අහෝසි කිරීමය. එහෙත් එක් දෙයක් අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතුය. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට රට තුළ ආඥාදායක පාලන ක්‍රමයක් ඇතිවුණේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය  පැනවීමෙන් පසුවය යන අදහස සාවද්‍ය එකක් වන බවය. ඇත්තටම සිදුවූයේ ඒ වනවිටත් පැවති ආඥාදායකත්වය 18 වන සංශෝධනය මගින් අධි ආඥාදායකත්වයක් බවට පත්කිරීමය.  

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීළඟට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ එම සංශෝධනය හේතු කොටගෙන ආණ්ඩුක්‍රමය බරපතළ ලෙස අස්ථාවර වී තිබෙන බවය. මෙම අස්ථාවරභාවය නැතිකරමින් ස්ථාවර පදනමක් මත ආණ්ඩුක්‍රමය පවත්වා ගෙන යාමට නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ඔහු තවදුරටත් කියා සිටී. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ සත්‍ය - අසත්‍යභාවය තේරුම් ගැනීමට නම් ආණ්ඩු අස්ථාවරභාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ප්‍රථමයෙන් සොයා බැලිය යුතුය. දෙවනුව ජනාධිපතිවරයා කියන ආකාරයේ අස්ථාවරභාවයක් ආණ්ඩුක්‍රමය තුළ ඇතිවීම කෙරෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය සැබෑ ලෙසම බලපා තිබෙනවාද යන්න සොයා බැලිය යුතුය. ආණ්ඩු අස්ථාවරභාවය යන්නෙන් අදහස් වන්නේ නිතර නිතර ආණ්ඩුව වෙනස් වීම හේතුවෙන් ස්ථාවර පදනමක් මත විධායකයට රට පාලනය කිරීමට නොහැකි වීමේ තත්ත්වයක් ඇතිවීමය. වෙනත් ආකාරයකට කියනවා නම් නියමිත නිල කාලය අවසාන වීමට පෙර විධායකය නිතර නිතර වෙනස් වීමය. මෙම තත්ත්වය ජනාධිපති ආණ්ඩුක්‍රමයට ගළපනවා නම් විධායකය වෙනස් වීම යනුවෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා වෙනස් වීමය. කැබිනට් හෙවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක නම් අගමැති සහ කැබිනට් මණ්ඩලය වෙනස් වීමය. සාමාන්‍යයෙන් ආණ්ඩු අස්ථාවරභාවය ප්‍රායෝගික ක්‍ෂේත්‍රය තුළ වඩාත් දැකිය හැකි වන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය ආශ්‍රිතවය. හේතුව කැබිනට් ආණ්ඩුක්‍රමය දේශපාලන පක්‍ෂ පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයක් වීමත් එම හේතුවෙන් සමහරවිට සභාග ආණ්ඩු පිහිටුවීමට සිදුවීමත් සහ සභාග ආණ්ඩු උපතින්ම දුර්වල සහ අස්ථාවර ආණ්ඩු වීමත්ය. කැබිනට් ආණ්ඩුක්‍රමය අස්ථාවර ආණ්ඩුක්‍රමයක් බවට පත්වීම කෙරෙහි බලපාන අනෙක් කරුණ වන්නේ ව්‍යවස්ථාදාකය මත විධායකය රඳා පැවතීමය. මේ අනුව කැබිනට් ආණ්ඩුක්‍රමයක විධායකයට බලයේ සිටීමට හැකි වනුයේ ව්‍යවස්ථාදායකයේ සහාය තිබෙන තාක්කල් පමණි. ව්‍යවස්ථාදායකයේ සහාය නැතිවූ විට විධායකයට බලයේ සිටීමට නොහැකි වේ. ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව බිඳවැටීමය. කැබිනට් ආණ්ඩුක්‍රමයට සාපේක්‍ෂව ජනාධිපති ආණ්ඩුක්‍රමය සලකනු ලබන්නේ  ස්ථාවර ආණ්ඩුක්‍රමයක් ලෙසය. හේතුව එක් අතකින් විධායකයේ ස්ථාවරභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර තිබීමය. අනෙක් අතින් විධායකය ව්‍යවස්ථාදායකය මත රඳා නොපැවතීමය. මෙයට අමතරව ජනාධිපති ආණ්ඩුක්‍රමය දේශපාලන පක්‍ෂ පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයක් නොවීමය. එහෙත් මෙම තත්ත්වය මිශ්‍ර විධායකයක් සහිත ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ එයාකාරයෙන්ම දැකිය නොහැක. හේතුව විධායකය කෙළින්ම ජනතාව විසින් තෝරා පත්කරන ජනාධිපතිවරයකුගෙන් සහ ව්‍යවස්ථාදායකය තුළින් තෝරා පත්කර ගන්නා අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයකින් සමන්විත ද්විත්ව විධායකයක් වීමත්, සමහරවිට එම ද්විත්ව විධායකය එකම දේශපාලන පක්‍ෂයකින් නොව ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂ දෙකකින් තේරීපත් වුවහොත් එම කොටස් දෙක අතර ගැටුම් ඇතිවීම හේතුවෙන් විධායකය අස්ථාවර වීමටත් හැකි බැවිනි. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ආණ්ඩුක්‍රමයක් ස්ථාවර වීම හෝ අස්ථාවර වීම කෙරෙහි බලපාන්නේ විධායකය ගොඩනඟා තිබෙන ව්‍යුහාත්මක පදනම බවය. මෙම න්‍යායාත්මක විග්‍රහය පදනම් කරගෙන ලංකාවේ මේ වනවිට පවතින ද්විත්ව විධායකයක් සහිත ජනාධිපති ආණ්ඩුක්‍රමය දෙස බලනවා නම් එහිදී පෙනීයන්නේ පවතින ආණ්ඩු අස්ථාවරභාවය 1978 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන විධායකයේ උත්පත්තිමය දෝෂයකින් ඇති වූ දෙයක් විනා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇති වූ දෙයක් නොවන බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කර තිබෙන්නේ කුමක්ද යන්න පරීක්‍ෂා කර බැලීමේදී මෙම තත්ත්වය හොඳින්ම පැහැදිලි වේ.
19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළේ 2015 අප්‍රියෙල් 28 දිනය. එය කථානායකවරයා සහතික කළේ 2015 මැයි 15 දිනය. මේ අනුව බලන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථානුකූල නීතියක් ලෙස බලාත්මක වී ගතවී ඇති කාලය වසර හතරකුත් මාස දෙකක් වේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 2015 ජනවාරි මාසයේ බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නංවන ලද දින සියයේ වැඩසටහන යටතේය. එම සංශෝධනය මගින් සිදුකළ ප්‍රධාන වෙනස්කම් පහත දැක්වේ. 

1. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය හඳුන්වා දීම.
2. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06 සිට 05 දක්වා අඩුකිරීම.
3. එක් පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම.
4. ධුරය දරමින් සිටින ජනාධිපතිවරයා මියයාමෙන් හෝ වෙනත් හේතුවක් මත ජනාධිපතිධුරය පුරප්පාඩු වුවහොත් වැඩ බලන ජනාධිපතිවරයකු පත්කිරීමේ ප්‍රතිපාදන හඳුන්වා දීම. මේ අනුව ධුරය හිස්වී මාසයක් ගතවීමට ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිධුරය දැරීමට සුදුසු මන්තීවරයෙකු රහස් ඡන්දයෙන් සහ ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ගේ ඒකාන්ත බහුතරයෙන් තෝරාපත් කළ යුතුය. මෙසේ පත්කරන ජනාධිපතිවරයාට ධුරය දැරිය හැක්කේ ධුරය හිස් වීමෙන් පසුව ඉතිරි වී ඇති කාලය සඳහා පමණි. පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු පත්කරන තෙක් අගමැතිවරයා ජනාධිපති තනතුරේ වැඩ රාජකාරි ආවරණය කළ යුත්තේය.
5. ජනාධිපතිවරයා වෙත අතිරේක වගකීම් කිහිපයක් පැවරීම. ඒවානම්;
(අ). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්‍ෂා කරන බවට වගබලා ගැනීම.
(ආ). ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව වර්ධනය කිරීම.
(ඇ). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ අනෙක් ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවල නිසි ක්‍රියාකාරිත්වය පහසුකරලීම.
(ඈ). මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණය කොට තහවුරු කිරීම.
6. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම. එනම් ජනාධිපතිවරයා සම්බන්ධ මානව හිමිකම් කඩකිරීමකදී නීතිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් අධිකරණ වෙත යාමේ අයිතිය තහවුරු කිරීම.
7. 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අහෝසි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කරමින් ඉහළ උසාවිවල විනිශ්චයකරුවන්, ව්‍යවස්ථාපිත කොමිෂන් සභා සාමාජිකයන් සහ වෙනත් ඉහළ නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා භුක්ති වින්ද අභිමතානුසාරී බලය සීමා කිරීම.
8. කැබිනට් අමාත්‍යවරුන්ගේ උපරිම සීමාව හඳුන්වා දීම. 30 දක්වා.
9. පාර්ලිමේන්තුවේ නිලකාලය වසර 06 සිට 05 දක්වා අඩුකිරීම.
10. අලුතින් තේරී පත්වූ පාර්ලිමේන්තුවක් වසර හතර හමාරක් යනතුරු විසුරුවා හැරීමට නොහැකි වනසේ ජනාධිපතිවරයාගේ විසුරුවා හැරීමේ බලතල සංශෝධනය කිරීම. කලින් පැවති කාලසීමාව අවුරුද්දක් පමණක් විය.
11. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදීම
12. හදිසි පනත් පිළිබඳ ප්‍රතිපාදන අහෝසි කිරීම.
13. විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දීම.
14. මැතිවරණ, පොලිස් සහ රාජ්‍ය සේවා යන කොමිෂන් සභාවල බලතල වැඩිකිරීම.
15. විදේශයක පුරවැසිභාවය දරන පුද්ගලයකුට පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීම.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ලද මෙම වෙනස්වීම් මගින් අරමුණු කොට ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 මූලික ව්‍යවස්ථාවෙන් සහ අනතුරුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට කරන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ගොඩනැගූ විධායක ආඥාදායකත්වය වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යළි ස්ථාපිත කිරීමය. දෙවනුව රාජ්‍ය පාලනයේ විනිවිදභාවය හා වගවීම වර්ධනය කිරීමය. තුන්වනුව මහජනතාව සවිබල ගැන්වීමය. මේ කිසිදු සංශෝධනයකින් 1978 ව්‍යවස්ථාව යටතේ නිර්මාණය කරන ලද අවුල් සහගත විධායකයේ ව්‍යුහාත්මක පදනම වෙනස් කළේ නැත. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය වෙනස් කිරීමට අමතරව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර 1978 ව්‍යවස්ථාවෙන් ගොඩනගන ලද සම්බන්ධතා රටාව වෙනස් කළේද නැත. එසේනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රමය අස්ථාවර කර ඇතැයි යන චෝදනාව එල්ල කරන්නේ කුමන පදනමක් යටතේද යන්න ප්‍රශ්නයක් වේ. ආණ්ඩුව අස්ථාවර වීම කෙරෙහි බලපා තිබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නොව 1978 ව්‍යවස්ථාව යටතේ නිර්මාණය කර ඇති ද්විත්ව විධායක ක්‍රමය සහ එහි නායකත්වය දරන  ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇතිවන ගැටුම්ය. එසේනම් අහෝසි කළ යුත්තේ 1978 ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව මිස 19 ව්‍යවස්ථා සංශෝධනය නොවේ. මූලික ව්‍යවස්ථාව එසේම තිබියදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් ඉතිරි වන්නේ ජේ.ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරුන් දෙදෙනා ගොඩනැගූ විධායක ආඥාදායකත්වයයි. 19 වන සංශෝධනය අහෝසි කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ එම ආඥාදායකත්වය යළි ස්ථාපිත කිරීමටද යන සැකය සහ අවිශ්වාසය ඇතිවන්නේ එබැවිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ 
හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා