මහ මැතිවරණයට තවත් ඇත්තේ දින පහක පමණ කාලයකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ සියලු ප්‍රචාරණ කටයුතු ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන්නේ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේය. එම පනතට අනුව ඡන්ද විමසීමට පැය 48කට පෙර සියලු ප්‍රචාරණ කටයුතු නතර කළ යුතුය. ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මස 5 වැනිදාය. මැතිවරණ නීතියට අනුව නිහඬ කාලය ගණනය කරන ක්‍රමවේදයක් තිබේ. අගෝස්තු මස 5 වැනි දිනය ආරම්භ කෙරෙන්නේ අගෝස්තු මස 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසුවය. 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12.01ට පස්වැනි දිනය උදාවේ. ඒ අනුව පැය 48 ගණනය කරනුයේ 4 වැනි දින මධ්‍යම රාත්‍රි 12.01 සිට ආපස්සට පැය 48ක් සෑදෙන පරිදිය. ඒ අනුව බැලූ විට අගෝස්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට එම පැය 48 සම්පූර්ණ වේ. නිහඬ කාලය ආරම්භ වන්නේ ඒ අයුරිනි. එම නිහඬ කාලය ඡන්ද විමසීම නිමවන 5 වැනි දින පස්වරු 5 වනතෙක් ක්‍රියාත්මකය. එම කාලය තුළ ගෙන් ගෙට යෑම, පත්‍රිකා බෙදීම, ප්‍රචාරණය රැස්වීම ආදී කටයුතු සපුරා තහනම්ය.
 
මැතිවරණ නීතියට අනුව නිහඬ කාලයක් ලබා දෙන්නේ විද්‍යාත්මක පදනමක පිහිටාය. සෑම දේශපාලන පක්ෂයකම තරග කරන සෑම දේශපාලනඥයකුගේ හෝ ස්වාධීන කණ්ඩායමක හෝ අදහස් උදහස් සලකා බලා නිවැරදි තීරණයක් ගැනීමට ඡන්ද අපේක්ෂකයන්ට හැකියාවක් පවතියි. සිතා මතා තීරණයක් ගැනීමට නිහඬ කාලය භාවිත කරන්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ එනිසාය.

කොරෝනා වසංගතය ව්‍යාපත්වීම හේතුවෙන් මහ මැතිවරණයට නොයෙකුත් බාධක එල්ල වූවේය.  නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ටත් ඡන්ද අයිතියක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුලදී කීවේය. ඔහු ඒ සඳහා දිනයක්ද නිල වශයෙන් ප්‍රකාශ කළේය. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්දය විමසීම අද පැවැත්වෙන බව දේශප්‍රිය මුලින් කීවේය. තැපැල් ඡන්දය විමසන ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම සිදු කරන බවක්ද ඔහු කීවේ. හේතු සාධක පෙන්වා දෙමිනි’’. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්ද පත්‍රිකා ආරක්ෂිතව කවරවල බහාලනවා. ඡන්ද නිලධාරීන් සම්පූර්ණ වැසුනු ඇඳුමින් සෞඛ්‍යාරක්ෂිතව තමයි එවැනි ස්ථානවලට යන්නේ. ඡන්ද පත්‍රිකා 31 වැනි දින සිට අගෝස්තු 6 වැනි දින දක්වා සතියක පමණ කාලයක් වෙන්කර තබනවා. එවැනි කාලයකදී විසබීජ පවතින්න ඉඩක් නැහැ. ඒ නිසා එම ඡන්ද පත්‍රිකා අල්ලන්න ගණන් කරන්න නිලධාරීන්ට බිය විය යුතු නැතැයි’’ ද මහින්ද දේශප්‍රිය කීවේය.

එහෙත් එම ක්‍රමවේදයට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් මෙන්ම තවත් පාර්ශ්ව කීපයකින්ම විරෝධතා එල්ල වන්නට පටන් ගත්තේය. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම අත්හැර දැමීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන ඇතැයි දැන ගන්නට තිබේ. ‘දැන් බලන්න රෝහල්ගතව සිටින, දැඩි සත්කාර ඒකකවල සිටින පිරිසට ඡන්දය ලබා දෙන්න ක්‍රමයක් නැහැ. අතීතයේ තිබුණෙත් නැහැ. ඒ නිසා මේ අයත් රෝගීව ඉන්න පිරිසක් ලෙස සලකන්න පුළුවන්’ යැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බව වාර්තාවේ. දැනට   තිබෙන වාර්තා අනුව නිරෝධායනය වෙමින් සිටින පිරිසට බොහෝ විට ඡන්දය අහිමි වීමේ ඉඩකඩක් පවතියි. රජයේ වාර්තා අනුව නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන පිරිස අද වනවිට පන්සියයක් පමණ වෙති. ඔවුන්ට ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

මැතිවරණය කට උඩ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සජිත් පිලට කරණම් ගැසූ 115 දෙනකු එජාපයෙන් නෙරපා දමමිනි. ඒ අතර හිටපු ඇමැතිවරු, හිටපු රාජ්‍ය ඇමැතිවරු සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරුද වෙති. එම සංඛ්‍යාව 54කි. ඔවුන් මේ වනවිට එජපායෙන් නෙරපා ඇත. මීට අමතරව පළාත් පාලන නියෝජිතයන් 61 දෙනෙක් ද එජාපයෙන් නෙරපූ කණ්ඩායමේ වෙති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සමගි ජනබලවේගයට ගොස් සිටින තවත් පාක්ෂිකයන් පිරිසකට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවය. ඔවුන්ද ඉදිරියේදී පක්ෂයෙන් නෙරපා ඒ වෙනුවට අලුත් කණ්ඩායමක් බඳවා ගන්නා බවද අකිල විරාජ් කාරියවසම් කියයි. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හෝ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෝ තවමත් එජාපයෙන් ඉවත් කර නැත. මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පිළිබඳව කෙරෙන පරීක්ෂණ තවමත් නිමවී නැති බවය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන නියෝජිතයන්ට එම තනතුරු අහිමි වන අතර ඒ වෙනුවට පත් කිරීමට නියමිත අලුත් නියෝජිතයන්ගේ නාම ලේඛනයක්ද එජාප මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට යවා තිබේ.

‘‘සමගි ජනබලවේගය තැන් තැන්වල විවිධ කතා කියනවා. ඡන්දයෙන් පස්සෙ සිරිකොත බලය අල්ලන කතා කියනවා. එජාපයෙන් පත්වන මන්ත්‍රීවරු තමන්ගේ පැත්තට ගන්න බවක් කියනවා. ඒ නිසා පක්ෂය තීන්දුවක් ගත්තා සමගි ජන බලවේගයට පණිවුඩයක් දෙන්න. ඒ නිසා තමයි ඔය පිරිස පක්ෂයෙන් නීත්‍යානුකූලව නෙරපා දැමුවේ. එජාපයේ අරමුණ ඡන්දයෙන් පස්සෙ අලුත් නියෝජිතයන් හඳුන්වාදී පක්ෂය නැවත ගොඩගන්නයැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කීවේය. මේ අතර නවීන් දිසානායකද ඉකුත්දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ තමන්ද එජාප නායකත්වයට සුදුසු බවය. පසුව ඔහු කීවේ රනිල්ගෙන් පසුව තමා නායකත්වය ගන්නා බවය. ‘නවීන් දිසානායක එහෙම කියන්නේ පාක්ෂිකයන් රඳවා ගන්නයි. එතකොට එජාප පාක්ෂිකයන් හිතනවා රනිල්ගෙන් පස්සෙ එජාපයට නායකයෙක් ඉන්නවාය කියලා. ඒ නිසා තමයි නවීන් දිසානායක නායකත්ව කතාව කිව්වේ’ යැයි එජාපයේ තවත් නායකයෙක් පැහැදිලි කර තිබේ.

මහ මැතිවරණයෙන් පසුව ඉතා  ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන බව ආණ්ඩු පක්‍ෂය කියයි. මහ මැතිවරණ පනතට අනුව පාර්ලිමේන්තුව රැස් කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනවාත් සමගම ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනයද නියම කළේය. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමටවත් පාර්ලිමේන්තුව යළි කැඳවීමටත් සිදුවූයේ නැත.

ඒ අනුව මහ මැතිවරණය නිමවීමෙන් පසුව අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ කෙසේදැයි මේ වනවිට නීතිමය ගැටලුවක් පැන නැගී තිබේ. මෙවැනි තත්ත්වයකදී ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකටදැයි නීති පොතේ සඳහන්ව නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති. ඇතැම් විට ජනාධිපතිවරයාට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අභිනව පාර්ලිමේන්තුව රැස්කළ හැකි බවට පිරිසක් තර්ක කරති. තවත් පිරිසක් කියන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නව පාර්ලිමේන්තුව රැස් කරනු ඇත කියාය. ‘‘කොහොම නමුත් මෙතන නීතිමය ගැටලු තත්ත්වයක් තිබෙනවා. ඒ ගැටලුව ගැන නීතිපති උපදෙස් ගන්න පුළුවන්. නැත්නම් වෙනත් පියවරක් ගන්න වේවි. කොහොම නමුත් අලුත් පූර්වාදර්ශයක් විදියට හෝ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන්න වේවි’’ යැයි නීති විශාරදයෝ  පවසති.

මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අවසන් දින දෙකේ උපරිම ශක්තිය යෙදවීමටත් ප්‍රචාරණ කටයුතු දැඩි කිරීමටත් උනන්දුවන බව දැන ගන්නට තිබේ. ඒ අනුව සති අත්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රටපුරා දේශපාලන රැස්වීම්, කුඩා ජනහමු මෙන්ම වෙනත් සංදර්ශන ආදිය සංවිධානය කර තිබෙන බවට  මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබේ. මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ අවසන් දින දෙකේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවේදැයි බලා එලෙස සිදුවන්නේ නම් ඒවා නතර කරන ලෙසය. අවසන් දින දෙකේ ග්‍රාමීය ප්‍රදේශවල බයිසිකල් සංදර්ශන, රථ පෙළපාළි හෝ සංගීත සංදර්ශන සූදානම් කර ඇත්නම් ඒවා වහා නතර කරන ලෙසද මැතිවරණ කොමිසම මැතිවරණ නිලධාරීන්ට සහ පොලිසියට උපදෙස් නිකුත් කර තිබේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සහ ශ්‍රීලනිප කැස්බෑව ආසන සංවිධායකවරයකුව සිටි චන්දන කත්‍රිආරච්චි  ඉකුත්දා දේශපාලන කරණමක් ගැහුවේය. ඔහු යහපාලන ආණ්ඩු සමයේ ශ්‍රීලනිප ආසන සංවිධාකවරයකු ලෙස කටයුතු කළේය. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කළේය. චන්දන කත්‍රිආරච්චි ඉකුත්දා හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. එහි සාමාජිකත්වය ලබා ගත්තේය. චන්දනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  එන්නට කපුකම කර ඇත්තේ විජේදාස රජපක්ෂය. ඔහු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙන්ම බැසිල් රාජපක්ෂටත් කරුණු කාරණා කියා කපුකම සූදානම් කළේය. ඉකුත්දා බැසිල් රාජපක්ෂ  නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයට චන්දන කත්‍රිආරච්චි කැඳවා කරුණු සාකච්ඡා කළේය. පසුව හෝමාගම පැවති ජනහමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ  අතින් චන්දන පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. තමන් පොහොට්ටුවෙන් ඉදිරි දේශපාලන  කටයුතු සිදු කරන බවද චන්දන කත්‍රිආරච්චි කියන්නේය.

මෙවර මහ මැතිවරණයට රටපුරා මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර ස්වාධීන කණ්ඩායම් 313කට අයත් අපේක්ෂක අපේක්ෂිකාවෝ 3800ක් තරගයට එක්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ස්වාධීන කාණ්ඩායම් 26 ක් තරග කරන අතර අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාව පන්සිය හැත්තෑ දෙකකි. මේ අතර ස්වාධීන කණ්ඩායමකින් තරග කරන හිමායා නියාස් ඉකුත්දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළාය. ‘ඇත්තටම අපි දුප්පත්. මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍යයි. කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි දුගී පවුල් රැසක් මට හමුවෙලා තිබෙනවා. මට ඒ අයට වැඩ කරන්න අවශ්‍යයි. ඒ නිසා ජයග්‍රහණය කළාම බලයට පත්වන ආණ්ඩුවට එකතු වෙනවා නැත්නම් වැඩක් කරන්නෙ කොහොමද?  අපි පොහොට්ටුවේ ආණ්ඩුවට එකතු වෙනවා ආදී වශයෙන් හිමායා නියාස් කළ ප්‍රකාශයට ඇයගේම කණ්ඩායමේ ඇතමුන්ගේ විරෝධය පළවී තිබේ. ‘හිමායා’  නියාස් ස්වාධීන අපේක්ෂිකාවක් දිනපු පක්ෂයකට එකතු වෙනවාය කියනවා නම් එතන ස්වාධීනත්වයක් නැහැ යි  ඇතැම් පිරිස් චෝදනා කරන්නේය. ස්වාධීන අපේක්ෂිකාව අවංක වැඩියි. ඇයගෙ කටින් ඇත්ත පිටවුණා. දේශපාලනයට ආධුනික නිසා  ඔහොම වැරදීම් සිදු වෙනවා යැයි තවත් පිරිසක් ප්‍රකාශ කරති.

මේ අතර වැඩි වැඩියෙන් ස්වාධීන කණ්ඩායම් තරගයට පැමිණීම මැතිවරණ කොමිසමේ කණස්සල්ලට හේතුවී තිබේ. මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ ඇප මුදල අඩු නිසා ඕනෑම පිරිසකට ස්වාධීනව  තරග කළ හැකි බවය. ස්වාධීන අපේක්ෂකයකුගේ ඇප මුදල රුපියල් 2000කි. කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ස්වාධීන කණ්ඩායමකට  මුළු ඇප මුදල රුපියල් 44,000කි. එය රුපියල් ලක්ෂ 5 හෝ 10 දික්වාවත් වැඩි කළ යුතු බව මැතිවරණ කොමිසමේ අදහස වී තිබේ.

එහෙත් තව පිරිසක් කියන්නේ ඇප මුදල් අධික ලෙස ඉහළ දැමීම ප්‍රජාතත්ත්‍රවාදී නොවන බවකි.

- (*** කස්තුරි)