සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රකට සමාජ විද්‍යාඥයකු වන ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ධුරයට ඉකුත්දා පත්විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දශක සතරකට එනම් වර්ෂ හතළිහකට අත්‍යාසන්න නොපළුදු, නොබිඳුණු, නොවිසිරි, නොමසිඳි කල්‍යාණ මිත්‍රත්වයක උපරි සංකේතයක් වන ප්‍රණීත් අභයසුන්දර සහෘදයා අපගේ ඇසුරට ලැබෙන්නේ 1981 වර්ෂය අගභාගයේදී ය. ඒ විද්‍යොදය ශ්‍රී ජයවර්ධනපුර පුණ්‍යභූමියේ දී අප මෙන්ම ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යයකු වශයෙනි. එදා හඳුනාගත් ප්‍රණීත් සහෘදයාම ඔහුට සුපුරුදු නොවක් හද සමගම අදත් අප ඇසුරෙහි හිඳියි. මේ මොහොතේ මෙසොඳුරු හදවත හා බැඳුණු අත්දැකීම් අතුරින් කිහිපයක් ඔබ සමග බෙදාගනු රිසියෙමි.

ප්‍රණීත්ගේ සරසවි ජීවිතයේ මුල් තෙමස අයත් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයටය. අනතුරුව ඔහු සුහද මාරුවක් යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්නේ තදීය සමයේ සමාජවිද්‍යාව පිළිබඳ අතිකීර්තිමත් පඬිරුවනක් වූ සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා වෙතින්  තද්විෂය උගෙනීමේ පරමාභිලාෂයෙන් යුතුව ය.

ප්‍රණීත් පිළිබඳ මගේ ප්‍රථම මතකය අවදි වන්නේ අනිවාර්ය ඉංග්‍රීසි පාඨමාලාවත් සමග ය. අපි එකම පන්තියකට වැටුණෙමු. දිනක් ඉංග්‍රීසි පන්තිය පටන් ගන්නට පෙර ඉක්මන් ගමනින් අප වෙත පැමිණි ඔහු පැමිණියාටත් වැඩි ඉක්මණකින් පිටත්ව ගියේ “අම්මට සනීප නෑ සමන්. මං යනවා. මේ ලියමන අපේ ඉංග්‍රීසි මැඩම්ට දෙන්න. මේක ඔයා බලලම දෙන්න මං හදිස්සියෙ ලිව්වෙ.” එහි සටහන්ව තිබුණේ “මැඩම් මට අද පන්තියට ඉන්න වෙන්නේ නැහැ, අම්මට අසනීප නිසා මං යනවා. පන්තියේ කටයුතු සාර්ථක වේවා!” 

මේ සිදුවීම එදා වාගේම අදත් මට මතක ය. ඒ මොහොත සිහි කරන මේ මොහොතේත් මගේ සිතේ ඇඳී යන්නේ විසිවැනි දශකය ආරම්භයට අයත් ප්‍රසන්න තරුණයකුගේ සුන්දර රූපකායයි. එසේම මවකගේ සුවසෙත ගැන සිතන ආදරණීය පුතකුගේ මෙන්ම තමාට ඉගෙන ගන්නට ඉඩ ඇහිරීගිය දවසේත් සමකාලීන මිතුරු මිතුරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යි පතන කලණ මිතුරකුගේ ආධ්‍යාත්මික වූත් සුප්‍රසන්න වූත් දැවැන්ත රූපකාය යි.

සිංහල භාෂා සාහිත්‍යය පිළිබඳ වන මහදභිරුචිය ද ප්‍රණීත් සහ අප අතර බැඳුණු මිතුරුදම තවදුරටත් වැඩිවර්ධනය වන්නට බලපෑ තවත් සාධකයකි. අප දෙදෙනාගේම ප්‍රථම වර්ෂයේ විෂයයන් අතුරින් එකක් වූයේ සිංහල යි. එම වර්ෂයේ දී තද්විෂයයට  සාමාර්ථය ලද ශිෂ්‍ය නාමලේඛනයේ නම් අතර ප්‍රණීත්ගේත් මගේත් නම් දෙක ද විය. 

අද අප අතර නැති අපගේ සදාදරණීය ආචාර්යවරයකු වන ආචාර්ය සරත්චන්ද්‍ර ජයකොඩි ආචාර්යතුමා අපට එන්නට කියා විශේෂ උපාධි පාඨමාලාවට සිංහල විෂය තෝරා ගැනීම සම්බන්ධයෙන් වන අපගේ කැමැත්ත පිළිබඳ විමසුවා මට මතක ය. ප්‍රණීත් ඒ වනවිට සමාජවිද්‍යාව තෝරාගෙන තිබූ අතර මම ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමන්ගේ උපදෙස් පරිදි සංස්කෘත විෂය තෝරාගෙන සිටියෙමි. ජයකොඩි ආචාර්යතුමා අප දෙදෙනාටම එදා කළ සුබපැතුම ද ආශිර්වාදාත්මක මතකයකි. 

මෙහිදී සඳහන් කළයුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මෙරට අහිංසාවේ මෙන්ම ප්‍රඥාවේ උපරි සංකේතයක් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් නමැති දයාලූ ප්‍රඥාවන්තයාගේ ජීවන දර්ශනය ද අප දෙදෙනා එක්කළ තවත් සාධකයක් වූ බව ය. 

අපගේ ශිෂ්‍ය ජීවිත කාලයේ දී ඇසුරට ලැබුණ ඒ පැනැස අපට ලෝකය දැකීම සඳහා වන ඇසක්ම වූ බව මේ මොහොතේත් ගෞරවයෙන් සඳහන් කළයුතු ය. ප්‍රණීත් එචරිතයට කොපමණ ආදර ගෞරවයක් දැක්වීද යත් ඔහු අවසාන වර්ෂයේ ඉදිරිපත් කළ උපාධි නිබන්ධයේ කවර හෝ තැනකට ආචාර්ය අදිකාරම්තුමාගේ ප්‍රකාශයක් ඇතුළත් කිරීම ඔහුට අත්‍යවශ්‍ය දෙයක් විය. එම ප්‍රකාශය ලියවාගෙන රැගෙන ඒමේ වගකීම පැවරුණේ මට ය. 


ප්‍රණීත්ගේ අධ්‍යාපන ගමනට සුබ පතා අදිකාරම්තුමා එදා දුන් ඒ ලියවිල්ල වචනයකුදු වෙනස් නොකොට ඒ ආකාරයෙන් ම ඔහු සිය පොතට ඇතුළත් කෙළේ ය. බොහෝ දෙනකුට විවාදාපන්න සේ පෙනී යා හැකි ඒ ප්‍රකාශයේ සුගැඹුර එදාටත් වඩා දැනෙන්නේ අද ය. ඒ එකී මාධ්‍ය ලෝකයේ යහපතට වඩා අයහපත උදෙසා භාවිත කිරීමේ ප්‍රවණතා හැම පැත්තෙන්ම වර්තමානයේ දක්නට ලැබෙන බැවිනි. අදිකාරම්තුමාගේ ස්වාධීන චින්තනයට මෙන් ම ප්‍රණීත්ගේ කශේරුකාවට ද සාක්ෂි දරන එකී ප්‍රකාශය එම චරිත දෙකටම කරන ගෞරවයක් වශයෙන් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.



“රූපවාහිනිය මනුෂ්‍ය මොළයෙන් කරන ලද අපූර්ව සොයා ගැනීමකි. පොදුවේ ගත් විට එය හොඳ හෝ නරක නොවේ. එහෙත් අද රූපවාහිනිය යෙදී ඇත්තේ මනුෂ්‍යයාගේ විනාශයට යි. එහෙයින් රූපවාහිනිය ලෝකයෙන් තුරන් වේවා ය මම නිතර නිතර ප්‍රාර්ථනය කරමි.”
 

- ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්



මණ්ඩප තත්ත්වයෙන් මිදී ස්වාධීන විශ්වවිද්‍යාලයීය තත්ත්වය ලැබීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපතිවරයා බවට පත් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා එසේ කියද්දී මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති මහාවිද්‍යාධර මහාචාර්ය ආතර් සී. ක්ලාක් මහතා විසින් රූපවාහිනිය ගැන කරන ලද්දේ පහත සඳහන් ප්‍රකාශය යි.



“දැනටමත් අපේ දරුවන්ගේ කාලයෙන් සෑහෙන කොටසක් රූපවාහිනී ඉදිරියේ ගත වෙයි. අපි වැඩ කිරීම පසෙක තබා වැඩසටහන් නරඹන මිනිසුන් බවට පත්ව සිටිමු. අනාගතයේ අපට ලැබෙන ආශ්චර්යජනක බලය අපේ ස්වයං විනයට දරා සිටිය නොහැකි තරම් බලවත් වන්නට ඉඩ තිබේ.

එය එසේ වුවහොත් මිනිස් වර්ගයාගේ සොහොන් කොතේ සඳහන් කළයුතු වන්නේ මේ අදහස යැයි මම සිතමි.
“දෙවියන් තමන්ට විනාශ කිරීමට අවශ්‍ය වන අයට පළමුවෙන් ම දෙනු ලබන්නේ රූපවාහිනිය යි.”

මහාචාර්ය ආතර් සී. ක්ලාක්



මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යනු මෙසේ මහා දාර්ශනිකයන් මහා විද්‍යාඥයන් සොයා යමින් ඔවුන් වෙතින් උකහා ගත් දැනුම සිය ප්‍රථම උපාධි නිබන්ධය ඔස්සේ පවා සමාජගත කිරීමට වෙහෙසුණු සුලවතෙකි. තමා ජීවත් වන සමාජය පවතිනවාට වඩා අඟලකින් හෝ උඩට ගෙන ඒම සඳහා කටයුතු කිරීම උගත්කමේ මෙන්ම කල්‍යාණ මිත්‍රත්වයේ ද ලක්ෂණයකි. මේ අනුව ප්‍රණීත් සිය කල්‍යාණ මිත්‍රත්වය ප්‍රකාශකොට ඇත්තේ තමා ඇසුරු කළ චරිත විෂයයෙහි පමණක් නොව මුළුමහත් සමාජය කෙරෙහි ය. 


විෂ්ණුශර්මකෘත උපදේශශතක නම් ප්‍රචලිත සංස්කෘත උපදේශ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි “රහස් හෙළි කිරීම, යැදීම, රළු බව, චපල සිත, ක්‍රෝධය, අසත්‍යය සහ දූ කෙළිය යන මේවා මිත්‍රත්වය කිළිටි කරන ලක්ෂණ ය. එහෙත් එහි කියැවෙන මිතුරා තුළ නම් ඒ ලක්ෂණ එකක්වත් දක්නට නොලැබෙන බව කියැවෙයි.” ප්‍රණීත් සම්බන්ධයෙන් ද කිව යුත්තේ මිත්‍රත්වය කිළිටි කරවන ලක්ෂණ ඔහු වෙතින් අප කිසිදා නුදුටු බව ය. එහෙයින් එකී හිතෝපදේශ පාඨය මෙසේ ඔහු උදෙසා අපට නොබියව භාවිත කළ හැකි වෙයි.

“රහස්‍යභේදෝ යාඥා ච - නෛෂ්ඨුර්යං චලචිත්තතා
ක්‍රෝධෝ හි නි:සත්‍යතාද්‍යූත - මේතන්මිත්‍රස්‍ය දූෂණම්
අනේන වචනක්‍රමේන තදේකදූෂණමපි ත්වයි න ලක්ෂ්‍යතේ”

ප්‍රණීත් පිළිබඳ ඊළඟ ආදරණීය මතකය අවදි වන්නේ සොයුරු සමන් සිත්තරා හා බැඳුණු අත්දැකීම් සමගය. ඇසුරු කළ කාලය කෙටි වුවත් මටත් වඩා ගැඹුරින් ප්‍රණීත් හඳුනා ගත්තේ අය්යා ය යන හැඟීම දැනුදු මා තුළ වෙයි. 

90 දශකයේ පැවති එක්තරා සාහිත්‍ය උත්සවයක් සංවිධාන කිරීමේ දී වැඩියෙන්ම වෙහෙස වූයේ ප්‍රණීත් ය. එහෙත් උත්සවය පැවැති අවස්ථාවේ වේදිකාව මත අඩුවෙන්ම පෙනී සිටියේ ද ප්‍රණීත් ය. අඩුවෙන් ම වැඩ කළ අය වැඩියෙන් ම වේදිකාව මත සිටිනු අපි දුටුවෙමු. අදටත් ඒ තත්ත්වයේ වෙනසක් සිදුව නැත. දිනක් අය්යා මෙවන් ප්‍රකාශයක් කළා මට මතක ය. 

“මල්ලි, ප්‍රණීත්ට කියන්න සමාජ සේවය කියලා කියන්නෙ එක එක්කෙනාගේ ආත්මාර්ථකාමී වුවමනා ඉෂ්ට කිරීම නෙමෙයි කියලා.”

ප්‍රණීත්ගෙන් උදව් ලද ඇතැම් චරිතයක් ඔහුගේ මිනිස්කම්වලට සිනාසෙනු දකින විට මට අය්යා සිහිවෙයි. එහෙත් ඒ බහුතරයක් නම් නොවේ.

සහෘදය ස්වාමින් වහන්සේලා මෙන් ම කලණ මිතුරන් ද පළමුව අප ගෙදරට පැමිණියේ මා හමුවීමට ය. එහෙත් දෙවන දවසේ ඔවුන් පැමිණියේ ‘අය්යා ගෙදර ඉන්නවා ද’ යනුවෙන් අසාගෙන ය. ප්‍රණීත් අයත් වන්නේ ද ඒ කණ්ඩායමටය. 
අය්යාගේ අභාවය සිදුවන විට ප්‍රණීත් සිටියේ සිය ආචාර්ය උපාධියේ කටයුතු සඳහා විදේශගතව ය. නිවාඩුවකට මව්බිමට ආ ඔහු මේ ගැන දැනගත් වහා කළේ අප ගෙදරට පැමිණීමය. අය්යා මිහිදන් කළ තැනට මා සමගම ගිය ප්‍රණීත් නිහඬව බොහෝ වෙලාවක් එතැන රැඳී සිටියේය. සොයුරු සමන් සිත්තරා සිය ජීවිත කාලය තුළ තැබූ සුන්දර අර්ථවාහී ප්‍රකාශ තම දේශන මෙන්ම ලේඛනවල දී භාවිතයට ගන්නා චරිත අතර ප්‍රණීත් මුල් තැනක සිටී.

ප්‍රණීත් මහාචාර්ය ධුරයට පත් වන්නේ 2020 වර්ෂයේ දී ය. එහෙත් ඔහු තනතුරට අයැදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මෙයින් 20 වසරකට පූර්වයෙන් ද සපුරා සිටියේ ය. පසුගිය විසි වසර පුරා ද අඛණ්ඩව ඔහු විසින් සිදුකරන ලද්දේ ජාතික, ආගමික, සංස්කෘතික, සාමාජික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරකි. ඔහු විසින් එම කාලය තුළ සිදු නොකරන ලද්දේ එකී මෙහෙවර ‘ජාතික දායකත්ව’ යන ශීර්ෂය යටතේ ලේඛන ගතකොට මහාචාර්ය ධුරයට ඉල්ලුම් නොකිරීම ය.  

ප්‍රණීත් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට ආදරණීය ගුරුවරයෙකි. රසිකයන්ගේ සෞන්දර්යාත්මක අධ්‍යාත්මය පෝෂණය කරන ප්‍රවීණ ගේය පද රචකයෙකි. පන්සලින් පන්සලට, පාසලින් පාසලට, සරසවියෙන් සරසවියට යමින් දිවි අරුත සරු කරන දෙසුම් දෙන සුන්දර දේශකයෙකි. අර්ථකර ග්‍රන්ථ සම්පාදනයෙන් තමා ජීවත් වන සමාජය පෝෂණය කරන සුප්‍රකට ග්‍රන්ථ රචකයෙකි. එසේ ම ලියන නව පරපුරට හෘදයාංගම ලෙස අත හිත දෙනු කැමැති සැබෑ විද්වතෙකි. 

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා වරෙක අවධාරණයෙන් සඳහන්කොට සිටියේ ඉතා උතුම් දෙයක් වන යහළුකම කිසිවිටෙකත් ආත්මාර්ථයෙන් කිළිටි නොකළ යුතු බව ය. ප්‍රණීත් යනු බැඳි මිතුරුදම් කිසිවිටෙකත් කිළිටි නොකළ මිතුරෙකි. 1999 වර්ෂයේ දී මවිසින් ලියා පළකරන ලද ‘මිතුරුසඳ’ කාව්‍ය සංග්‍රහය පිළිගන්වන ලද්දේ ප්‍රණීත්ටයි. එහි පිදුමේ මෙසේ සඳහන් කෙළෙමි.

“දුකකදි නිතර ළඟ රැඳෙනා සබඳ        ප්‍රණීත්
වරෙකදි දෙකක නොව සිහිවෙයි නිබඳ  ප්‍රණීත් 
ඔබගේ අතින් ලියැවුණු ගී රැසකි         ප්‍රණීත් 
ලියු ගී නොවේ ගීතය මට ඔබ යි         ප්‍රණීත් ”

අප කලණ මිතුරා කලාකීර්ති සම්මානයෙන් පුද ලද අවස්ථාවේ ඔහු අද්‍යතනයේ සේවය කරන මානවවිද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිහිත ‘ප්‍රණීත් අභයසුන්දර අභිනන්දන උළෙලේ’ දී යට කී පද්‍ය නිර්මාණය  සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණවේදය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි සංගීතවේදියාණන් විසින් සංගීතවත්කොට ගායනය කරනු ලැබිණි. ඒ වූ කලී ප්‍රණීත්ට ආදරය කරන සියලු සහෘදයන්ගේ හෘදයාංගම වූත් ආදරණීය වූත්  හැඟීම පළකිරීමක්ම විය. ඉන් තෝරාගත් කොටසක් මෙසේය.

“ඔබගේ ජීවිතය නම් වූ සොඳුරු     ගසේ 
පිපි මල් සුවඳ ගැන ලොව කසුකුසුව    ඇසේ
ඔබ සුවඳක් ව නිබඳ ව හදවතෙහි   වෙසේ
සුමිතුර ඒ සුවඳ හැර යා හැකි ද   කෙසේ

මම ඔබ දකිමි හද සනහන බස් අසමි 
ඔබගේ වචන තුළ රැඳි මුදු බව දනිමි
ගංගාවක් ව ගලනා සෙනෙහස දකිමි 
මම බිම් කඩක් වී ගඟ දිය සිප ගනිමි”


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ