දුෂාන්බේ යනු ටජිකිස්තාන්හි අගනුවරය. ටජිකිස්තාන් යනු පැරණි සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවේ සාමාජිකයකුව සිට ස්වාධීන වී මිලියන නවයක පමණ ජනකායක් වෙසෙන මධ්‍යම ආසියානු රමණීය කඳුකර රාජ්‍යයකි. ආසියාවේ අන්‍යොන්‍ය ක්‍රියා සහ විශ්වාසය ගොඩනැඟීමේ උපාය පිළිබඳව වූ (CICA)  පස්වැනි සමුළුව මෙවර පැවැත් වුණේ එරට අගනුවර වූ දුෂාන්බේහිදීය. රුසියාව, චීනය, ඉන්දියාව වැනි ගෝලීය දේශපාලනය හසුරුවන ආසියානු කලාපීය බලවතුන් මෙන්ම ගෝලීය සහ කලාපීය දේශපාලනයේ වැඩි අවධානයට ලක් වී ඇති ඉරානය, තුර්කිය, ඇෆ්ගනිස්තානය, බහරේන්, පලස්තීනය, පාකිස්තානය, ඊජිප්තුව, දකුණු කොරියාව සහ ජෝර්දාන් ඇතුළු ආසියානු රටවල් විසි හයක රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සක්‍රීයව සහභාගී වූහ. එම සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වය සහිතව සහභාගී වූයේ තවත්  නියෝජිතයන් තිදෙනෙකි. ඉන් එක් අයකු වූයේ මේ ලියුම්කරුය. අනෙක් දෙදෙනා වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපාය.

මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු රාජ්‍ය සියල්ලම සහභාගී වූ මෙම සමුළුවේ ඉතාම වැදගත් කාරණය ලෙස මා දුටුවේ ලෝකයේ වඩාත් බලවත් වෙමින් පවතින කලාපයේ රාජ්‍ය අතර ඇති වෙමින් පවතින ආසියානු සාමුහික අනන්‍යතාව පිළිබඳව වූ මනෝභාවයයි. මනෝමය එකඟතාවයි. ඒ කලාපීය සහජීවනය පිළිබඳ ප්‍රවේශයකින් බැලූවිට පෙනෙන වැදගත්කමය. සංකීර්ණ සහ විවිධ එහෙත් ඒ විවිධත්වයට යටින් මහා හුයක් සේ එකිනෙක බැඳ තබමින් දිවෙන පොදු බවක් සහිත විසිතුරු සංස්කෘතීන්ට උරුමකම් කියන මේ කලාපය එවැනි මනෝමය බැඳීමක් සහ එකමුතුකමක් කාලයක සිට අපේක්ෂා කරමින් සිටියි. සිකා සමුළුව එහි දෘශ්‍ය ප්‍රකාශනයක් යැයි මට හැඟෙයි.

ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූවිට එම සමුළුව වැදගත් වන්නේ ආසියාව තුළ අප තනි වී නැතැයි සිතෙන නිසාය. මා ඒ සිතුවිල්ල වඩාත් තහවුරු වන සිද්ධියක ඇසින් දුටු සාක්ෂිකරුය. එනම් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර දුෂාන්බේ සමුළු පරිශ්‍රයේදී පැවැත්වුණු ද්වි පාර්ශවීය සාකච්ඡාව ඒ අදහස තහවුරු කරන්නකි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික සිදුවීම් පාවිච්චි කරමින් අනිසි සහ උපායික මැදිහත් වීම් සඳහා මාන බලන බාහිර බලවේගවල සහ රටවල්වල ක්‍රියාකාරිත්වය සහ ඒ සඳහා උදව් කරන දේශීය පුද්ගලයන් පිළිබඳ රුසියානු අවධානය පැසසිය යුතු කරුණකි. නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේ කේන්ද්‍රීය කරුණ වූයේ එයය. එම කරුණේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සමඟ එක පෙළට සිට ගන්නා බවට වූ රුසියානු නායකයාගේ පොරොන්දු ප්‍රකාශය අප වැනි රටකට අතිශයින්ම වැදගත් එකකි. සාකච්ඡාව අවසන් වුණේ දෙරටේ නායකයන් දෙදෙනා තම රටට පැමිණෙන ලෙසට එකිනෙකාට කළ ආරාධනා සහිත අතිශයින්ම කුළුපග සමුගැනීමකිනි.   

අනෙක් වැදගත්කම වන්නේ විශේෂයෙන්ම මධ්‍යම ආසියාතික, උතුරු සහ දකුණු ආසියානු රාජ්‍ය අතර ගොඩ නැඟෙන අන්තර් සංස්කෘතික මිත්‍රත්වය සහ ආර්ථික දේශපාලන සහයෝගිතාවයි. රුසියාව, චීනය සහ ඉන්දියාව මැදි කරගත් මේ මිත්‍රත්වය සහ සහයෝගිතාව නිසි ලෙසම වර්ධනය වුවහොත් ආසියාවේ රටකට එරෙහිව කිසිදු වෙනත් කලාපයක රටක් හෝ බලවේගයක් අත් නො උස්සනු ඇත. ආසියානුවන් උත්සාහ ගත යුත්තේ රුසියාව, චීනය සහ ඉන්දියාව මුල් කරගන්නා දැවැන්ත සහ අවංක ආසියානු ආර්ථික, ආරක්ෂක සහ වෙළෙඳ සහයෝගිතාවක් සඳහා වූ වැඩපිළිවෙළක් සඳහා එකමුතුව වැඩ කිරීමය. ආසියාවේ රැකවරණය ආසියාවම බාරගත යුතුය යන්න මගේ අදහසය. ආසියාව යනු හුදු භූ කලාපයක් පමණක් නොවේ. එය සමාන, එකිනෙකට බැඳුණු ආර්ථික, දේශපාලන, සංස්කෘතික, වෙළෙඳ සහ ආරක්ෂක මනෝමය පොදු අනන්‍යතාවක් සහිත කලාපයක් ද වේ. පොදු වැඩපිළිවෙළකට ඒ බැම්ම වැදගත්ය. ඒ අනුව සිකා සමුළුව නොහොත් ආසියාවේ අන්‍යොන්‍ය ක්‍රියා සහ විශ්වාසය ගොඩනැඟීමේ උපාය පිළිබඳව වූ සමුළුව අප වැනි රටකට පැති කීපයකින්ම වැදගත් වන බව අප රටේ යැංකි ඩිකීලත් වටහාගත යුතුය.

අලුත් කිසිවක් පැළවෙන්නේ නැති මේ රට ඇතුළ ගැන දැන් අවධානය යොමු කරමු. අප මේ ගෙවා දමන්නේ දේශපාලනයේ ‘කාන්තාර මොහොතකට’ යැයි මට සිතේ. මා ‘කතරක තනි වූ දේශපාලනය’ යැයි මේ ලිපිය නම් කළේ ඒ නිසාය. කෘතහස්ත දේශපාලනය සහ දේශපාලකයා ළතැවෙන්නේ ප්‍රේක්ෂකාගාරයක් නැතිවය. ප්‍රගතිශීලී දේශපාලනයට ‘ඕඩියන්ස්’ එකක් නැත. ඒ විතරක් නොවේ ධනංජය සිරිවර්ධන නම් රංගන ශිල්පියා මෑතක රුපවාහිනී වැඩසටහනක දී නිවැරැදිව කියූ ආකාරයට කලාවටත් ක්‍රිකට්වලටත් දැන් ඕඩියන්ස් එකක් නොමැත.

මීට හේතුව දේශපාලනය, කලාව සහ ක්‍රීඩාව තුළ බලවත් වූ අක් මුල් නැති අමුත්තන් හුදු පුද්ගල කේන්ද්‍රීය ආත්මාර්ථය මත ඒ ක්ෂේත්‍ර අවභාවිතාවේ යෙදවීම සහ කිළිටි කිරීමය. ඒ නිසා සිදු වූයේ ගුණාත්මක වශයෙන් ප්‍රශස්ත ප්‍රේක්ෂකාගාරය ඒ කලාපවලින් ඈත්වීමය. ඒ හිස්තැන පිරවුණේ අර අවභාවිතාකාරයන් සහ කිළිටි කරන්නන් විසින්ම මොළ සෝදා නිර්මාණය කරන ලද ලුම්පන් (පාදඩ) ‘ඕඩියන්ස්’ එකකිනි. සංගීත සංදර්ශන යැයි කියාගන්නා ඒවායේ දී අති විශාල භූමි වසාගෙන දූවිලි අවුස්සාගෙන දඟලන, ඞ්රෝන කැමරා යොදාගෙන පෙන්නන දස දහස් ගණනින් වූ මිනිස් ප්‍රාණීන් වූ කලී අන්න ඒ මොළ සේදු ‘ඕඩියන්ස්’ එකට මනා උදාහරණයක්ය. මේ තත්ත්වය තුළ මේ වන විට නියම දේශපාලනයත් කලාවත් ක්‍රීඩාවත් කතරක තනි වී ඇත. දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මේ කතර තරණය කොට නිල්වන් මනරම් භූමියකට දේශපාලනය කැන්දාගෙන යාමය.

වම ගැන මොහොතක් සිතමු. ප්‍රගතිශීලී වාම දේශපාලනය සමාජය කෙරෙහි වූ අනුරාගයකින් යුක්ත එකකි. ප්‍රගතිශීලීන් දේශපාලනය කරන්නේ දේශපාලනය කෙරෙහි වූ අනුරාගයකින් නොව සමාජය කෙරෙහි වූ අනුරාගයකින්ය. සමාජ අනුරාගය සහ දේශපාලන අනුරාගය යනු (විශේෂයෙන්ම මේ මොහොතේ) දෙකකි.  මේ දෙකම එකක් වන මොහොත වනාහි විප්ලවීය මොහොතකි. මේ වන විට ඒ සමාජ අනුරාගයෙන් යුත් වාම දේශපාලනය පරාජය කොට හුදු දේශපාලන අනුරාගයෙන් යුත් වින්දනකාරයන් සහකාරියන් කීප දෙනකු විසින් තම අතට වාම දේශපාලනය අසු කරගෙන ගුලි කරගෙන මහජන සමාජයෙන් ඈත් කරනු ලැබ ඇත. ජවිපෙ සහ පෙරටුගාමීන්ද ඔවුන්ගේ උගුලට හසු වී ඇති සෙයකි. පරණ වම බිය වී ඇති සෙයකි. 

එවැනි පසුබිමක වම කාන්තාරකරණය වී අලුත් කිසිවක් නොපැළවෙන පොළොවක් බවට පත් වී ඇත. මහජන සමාජයෙන් ඈත් වී අගනුවර ලගින න්‍යාය වමාරා තලුමරන දේශපාලන අනුරාගිකයන්ට (නියම යෙදුම දේශපාලන කාමුකයන් යැයි සිතේ) මෙය විපතක් නොව සැපතකි. ඔවුන්ට වෙනස්ව මා යෝජනා කරන්නේ දේශපාලනය ප්‍රගතිශීලී කර ගැනීමට නම් සමාජ අනුරාගය වැඩිදියුණු කර ගනිමු යන්නය. ඒ සමාජ අනුරාගය ගංජාවලින්, සිගරට්වලින් සහ අරක්කු විස්කිවලින් ලබා ගත නොහැකිය. 

පාදඩ ඕඩියන්ස් එක පුළුල් කිරීම අර මුලින් කී අක් මුල් නැත්තන්ගේ නොනිමි මෙහෙයුමකි. මන්ද ඔවුන්ගේ පැවැත්ම ඒ ඕඩියන්ස් එකය. එක පැත්තකින් ඒ ඕඩියන්ස් එක දැන් ස්වයංක්‍රීයව වර්ධනය වන තත්ත්වයකට පත්ව ඇත. ඊට සමගාමීව ප්‍රගතිශීලී ප්‍රශස්ත දේශපාලනය කාන්තාරකරණය වීම වේගවත් වී ඇත.

සමෘද්ධි ව්‍යාපාරයේ මේ මොහොත ගැන සිතන්න. ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම් ලබාදීමට ආණ්ඩුව තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රකාශවන ප්‍රධාන කරුණු දෙකකි. සමෘද්ධි ව්‍යාපාරය වනාහි දිළිඳුකම පිටුදැකීමට අදාළව අසාර්ථක වැඩපිළිවෙළක් යන්න පළමු කරුණය. එම ව්‍යාපාරයේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් වසර විසිපහක පමණ කාලයක් තිස්සේ වැය කළ බිලියන ගණනින් වූ මුදල්, කාලය සහ අනෙකුත් සම්පත් වතුරේ ගොස් ඇත. හය ලක්ෂයකට සමෘද්ධි දීම යනු ඒ ව්‍යාපාරය වසර විසිපහක් තිස්සේ සිදුකොට ඇත්තේ දිළිඳුකම පිටුදැකීම නොව දිළිඳුකම වර්ධනය කිරීම බවට වූ කදිම සාක්ෂියකි.

දෙවැනි කරුණ දේශපාලන එකකි. හැම ආණ්ඩුවක්ම සමෘද්ධි දුන්නේ එය ලබන්නාගේ අසරණකම නැතිකරනවට වඩා තම දේශපාලන අසරණකමට සරණක් ලෙසය. කලක් සමෘද්ධි ව්‍යාපාරය හැඳින්වූයේ ඡන්ද මැෂිම ලෙස බව ඔබටත් මතක ඇතැයි සිතමි. ඒ අතින් ගත් විට සමෘද්ධිය ලැබෙන්නේ දෙන්නාට මිස ලබන්නාටය යන්න වහන් කළ නොහැකි ගර්භිණී බව සේ වූ රහසකි. දිළිඳුකම පිටුදැකීම රාජ්‍ය වගකීමක් ඉටු කිරීමක් නොවී ආණ්ඩු බලය රැකගැනීම හෝ ලබා ගැනීම සඳහා වූ බල උපායක් වන්නේ නියම දේශපාලනය කතරක තනි වී ඇති නිසාය. ඉතින් අප මේ කතරින් එතෙර වන්නේ කවදාද? කොහොමද?

ධම්ම දිසානායක