පාස්කු කොමිසම් වාර්තා නිර්දේශ, එන්නත්කරණ ප්‍රමුඛතා, කොරෝනා මළ සිරුරු භූමදානය, වියත් මගට වූ දේ, විදෙස් මැදුම් පිළිවෙත, විපක්ෂය ඒකාබද්ධ කිරීම, ආර්ථික අර්බුදය විසඳන මග, ජනමාධ්‍ය නියාමනය කළ යුතු ආකාරය හා සමගි ජන බලවේගයේ වගකීම් කන්ද ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතායි.

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ කොමිසම් වාර්තාව ගැන පිරිසක් හොඳ කියනවා. පිරිසක් නරක කියනවා. ඇත්තටම ඔබට මේ වාර්තාව දැක්කම හිතෙන්නෙ මොකක්ද?
පිළිතුර:- මම තාමත් වාර්තාව කියවමින් ඉන්නේ. මගේ සිරිත පොත් හැදෑරීම මිස කියවීම නෙවෙයි. අපේ අතට මෙය ලැබුණේ බ්‍රහස්පතින්දානෙ. එහි සාමාන්‍ය නිරීක්ෂණයකින් නම් මට කියන්න තිබෙන්නේ අන්ධයන් පිරිසක් අලියගෙ හැඩේ කිව්ව වගේ වැඩක් කියලයි. ඒක චේතනාන්විතව සැලසුම්සහගතව කළා ද නොතේරුම්කමට කළා ද කියලා ප්‍රශ්නාර්ථ දෙකක් මට තිබෙනවා. එතැන හිටපු විදග්ධ පිරිස බැලුවාම නම් මේක නොතේරුම්කම වෙන්න බෑ.  

ප්‍රශ්නය:- බොදුබල සංවිධානය අන්තවාදී සංවිධානයක් හැටියට හඳුනාගනිමින් ලංකාවෙ ආගමික අධ්‍යාපනය නියාමනය ගැන වාර්තාවේ සඳහන් වෙනවා. ඉන්පසු ඥානසාර හිමි කාදිනල්හිමියන්ව දැඩිව විවේචනය කරනවා. වාර්තාවෙන් පසුව මේ සිදුවන දේවල් ගැන ඔබ හිතන්නේ මොකක්ද?
පිළිතුර:- ලංකාවේ ලාබාලම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා හැටියට කටයුතු කළ අයකු විදියට මම කියන්නේ ලංකාවෙ බෞද්ධ අධ්‍යාපනයේ විධිමත්භාවයක් තිබෙනවා. ආගමික අධ්‍යාපනයේ දී ඊට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි. හැබැයි මේ දේවල් කතා කරන කොමිෂන් වාර්තාවෙන් අප්‍රේල් 21 ප්‍රහාරයට ආසන්න හා දුරස්ථ හේතු, ජාත්‍යන්තර වශයෙන් දායකත්වයක් තිබුණාද නැද්ද දේශීය වශයෙන් සෘජු දායකත්වය කාගේද කියන කාරණාත් ආමන්ත්‍රණය වෙන්න අවශ්‍යයි. මින් මත්තට එවැන්නක් නොවීමට ගත යුතු පියවරත් අවශ්‍යයි. ඒවා මිලිටරි මෙන්ම සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ වශයෙන් අවශ්‍යයි.  88-89 න් පසුව පත්කළ තරුණ අසහන කොමිසමේ වාර්තාවේ සියල්ල සඳහන් වුණා. 1971 අපරාධ යුක්ති කොමිෂන් සභාව හා මහ නඩුව පදනම් කරගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ වැනි පුළුල් කටයුතු සිදුවුණා. දේශපාලනය විදග්ධ ආකාරයෙන් කරන අයකුට මෙයින් හැදෑරීමට දෙයක් නෑ. මේක හරි දුප්පත් වාර්තාවක්.

ප්‍රශ්නය:- කොරෝනා එන්නත්කරණ ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශයෙන්ම ප්‍රශ්න කරද්දී රාජ්‍ය ඇමැතිවරියම ඉහළින් එන දුරකථන ඇමතුම් ගැන කියනවා. කොරෝනා මඬින්නට විපක්ෂයත් ඒකාබද්ධ කරගන්නැයි කී අයකු හැටියට මේ තත්ත්වය දකින්නේ කොහොමද?
පිළිතුර:- මම මෙහිදී සිටින්නේ කිරිපිටි අරගලයේ දී මා දැරූ ස්ථාවරයේමයි. කිරිපිටිවල විෂ ගැන මම කතා කරද්දී හිටපු කතානායක කරු ජයසූරිය මහතා කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කල්කිරි දෙන නිසා බිය වන්න එපා කියලයි. එතකොට මම කිව්වෙ පාර්ලිමේන්තුවෙන් මට තේ එකක්වත් එපා කියලයි. මොකද මන්ත්‍රීවරුන්ට කල්කිරි දෙන එක ඇතුළෙ නොකියා කියන්නේ පිටිකිරිවල ප්‍රශ්නයක් තියෙන එකනෙ. රජයේ වියදමෙන් මම එන්නත් හෝ පී.සී.ආර්. කර නොගන්නා බව මෙම එන්නත එන්නත් කලින්ම කිව්වේ ඒ නිසයි. කොරෝනා දෙවැනි රැල්ලේ දී ආණ්ඩුවේ හැසිරීම අතිශය ලැජ්ජාසහගතයි. කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජයේ විද්‍යාත්මක භාවයක් හෝ ඒකමතිකභාවයක් නෑ.

ප්‍රශ්නය:- කොරෝනා මෘතදේහ භූමදාන වැඩපිළිවෙළ ගැනත් දැන් විවාදයක් තිබෙනවා. සමගි ජන බලවේගයේම ඇතැමුන් චෝදනා කරන්නේ තීන්දුව පමා කිරීමට තවමත් කටයුතු කරනවා කියලයි. මේ චෝදනා හරිද?
පිළිතුර:- මේකත් හරියට ආගමික අධ්‍යාපනය වගේ තමයි. මේ සමාජ ආතතිය නිර්මාණය කළේ ආණ්ඩුවමයි. ඊට පස්සේ වෙනත් ආගමික සංස්ථාවලට තලනවා. රජය තීරණාත්මක කාරණාවල දී වැඩ කරන්නේ කොත්තු කඩයක් වගේ. හැබැයි වියත් මග වැනි සංවිධාන සමග ජනතාව අපේක්ෂා කළේ මේක නෙවෙයි. ජනතාව හිතුවෙ වියත් සැලසුම් වියත් මගක ගිහින් වියත් ප්‍රතිඵල ලැබේවි කියලයි. කොන්ක්‍රීට් එක වේලෙන්න සැටලිම ගැහුවට ඒක වේලුණාට පස්සෙ සැටලිමෙන් ඵලක් නෑ. අද වියත්මගටයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයටයි අත්වෙලා තිබෙන්නේ කොන්ක්‍රීට් එකක් වේලෙන්න දාන සැටලිමකට අත්වෙච්ච දේ. ජනතාව මේ ආණ්ඩුව ගැන මවන් හිටපු හැටියි වැඩ සිද්ධ වෙන හැටියි අතරෙ තිබෙන්නේ අංශක එකසිය අසූවකටත් වැඩි අපගමනයක්.

ප්‍රශ්නය:- විදේශීය වශයෙන් එල්ල වන අතපෙවීම් සමඟ ජාතික දේශපාලනය කළමනාකරණය කරගැනීමට සිදුවී ඇති බව ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේ මතයයි. බැලූ බැල්මටම එවැනි තත්ත්වයකුත් තිබෙනවා නේද?
පිළිතුර:- එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, මාෂල් ටිටෝ, ශ්‍රී නේරු වැනි නායකයන් ආරම්භ කළ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සමග අනුගමනය කළේ නොබැඳි පිළිවෙතක්. පසුව ආ ආණ්ඩු ඒ පිළිබඳ වෙනස් මත දැරුවා. පොදු රාජ්‍ය මණ්ඩලයට නොබැඳි ව්‍යාපාරයට සාක් සංවිධානයට විවිධ අවස්ථාවල බර තැබුවා. අද වනවිට සාක් සංවිධානයත් දියවෙලා. ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන හොඳම අත්දැකීම 1987 කුප්‍රකට ඉන්දීය මැදිහත්වීමයි. හැබැයි මේ ආණ්ඩුවෙ සමහරු 2019 ජනාධිපතිවරණයට පෙර දිනය දක්වා ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන හැසිරුණේ හංදියේ චණ්ඩියා වගේනෙ. ජාත්‍යන්තර මැදිහත්වීම් කළමනාකරණය වගේම අතපෙවීම් සිදු නොවන ආකාරයට වැඩ කිරීමත් වැදගත්. මේවා කාරණාවලදි දුර්වල ආණ්ඩුකරණය නිසා තමයි ප්‍රශ්න මතුවෙන්නේ.

ප්‍රශ්නය:- දේශපාලන පලිගැනීමේ කොමිෂන් වාර්තාව යහපාලන ආණ්ඩුකරණය විශාල ලෙස ප්‍රශ්න කරනවා. පැවැති ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරූ අයකු හැටියට මේ චෝදනාවලට දෙන පිළිතුර මොකක්ද?
පිළිතුර:- මේ දේශපාලනීකරණය වූ කොමිෂන් ගැන අපට වෙනස්ම අදහසක් තිබෙන්නේ. අපේ ඒ අදහස මන්ත්‍රීවරුන් හැටියට එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ටකරමට ගල් ගැහුවාම බුරා පනින සුනඛයන් වගේ මෙහිදී කටයුතු කරන්න බෑ. දේශපාලන පලිගැනීම් සෙවීමේ කොමිසමේ නාමයෙන් අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කිරීම මුඵමනින්ම පරාජය කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. එය ඉදිරියේ දී රටටම දැකගත හැකියි.

ප්‍රශ්නය:- එම කොමිසම මුල් කරගෙන විපක්ෂය එක්සත් වීමක් ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. ඇත්තටම එවැන්නක් වේවිද?
පිළිතුර:- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෑමවිටම උත්සාහ කරන්නේ විපක්ෂයේ පක්ෂ අතර පළල් සාකච්ඡාවක් ගොඩනගා ගන්නයි. ආණ්ඩුව අභ්‍යන්තරයේ වුණත් ධනාත්මකව හා ප්‍රගතිශීලීව කල්පනා කරන පුද්ගලයන් හා කණ්ඩායම් පිළිබඳව අපි මෙහිදී අමතක කරන්නේ නෑ. එනිසා විපක්ෂය එක්සත් කිරීම කියන්නේ ප්‍රාථමික කරුණක් හා ආසන්න ඉලක්කයක් පමණයි. අපේ සැලසුම් තිබෙන්නේ එතැනින් එහා මුළු රටම එක මිටට ගැනීමයි. ඒ දක්වා සාකච්ඡා යනවා.   

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුටුව වූ කතානායක සමග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රමුඛ සමගි ජනබලවේගය නිතර ගැටෙනවා. ඔබත් විවාද කරගත්තා. ඇයි මේ?
පිළිතුර:- මේ කතානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙනෙක්. 1987 ඉන්දු-ලංකා ගිවිසුම වෙලාවෙ හෘදය සාක්ෂියට අනුව තීන්දු ගත් කෙනෙක්. මම කතානායකවරු දෙදෙනෙක් සමග වැඩ කරල තිබෙනවා. ඒ මොනව වුණත් කතානායකුමාගෙ වර්තමාන හැසිරීමට අපි කාටවත් එකඟවෙන්න බෑ. එනිසයි මේ ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ මංගල අයවැය 69 ලක්ෂය චූන් කරන අයවැයක් කියා ඔබ කිව්වා. හැබැයි ගෝලීය ආර්ථික තත්ත්වය සමග මෙපමණින් හෝ වැඩකටයුතු සිදුවීම ගැන තෘප්තිමත් විය යුතු බව ආණ්ඩුවේ නායකයන් කියනවා. කතාව වැරැදි ද?
පිළිතුර:- මේ කොරෝනා ව්‍යසනය ආරම්භ වූ 2020 මාර්තුවේ සිට මම දිගටම කිව්වේ පශ්චාත් කොරෝනා තත්ත්වය ගැන ගැඹුරින් බැලිය හැකි බලවත් කොමිසමක් පත්කරන්න කියලයි. විශ්ව විද්‍යාලවල ප්‍රාමාණිකයන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල විද්වතුන්, සමූපකාර ක්‍ෂේත්‍රවල උගතුන් ආදී සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි මේ කොමිසම සකස් කර සියලු විෂය සම්බන්ධයෙන් යෝජනාවලියක් එයින් සැකසිය හැකියි. උදාහරණයකට කර්මාන්ත ක්‍ෂේත්‍රය ගත්තොත් සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ ආදී වශයෙන්, කලාව ගත්තත් චිත්‍රපට, ටෙලිනාට්‍ය කර්මාන්තය ගැන හොයන්න පුළුවන්. හැබැයි එදාවේල ටුවර්ස් වගේ වැඩ කළා මිස ඒ මිනිසුන් ගැන හෙව්වේ නෑ. තවමත් ආණ්ඩුවට පියවර ගන්න පුළුවන්. යම්කිසි රෝගයක දී ඇඟිල්ල කපල අත බේරාගන්න වෙනවා. ඒත් ඇඟිල්ල බේරාගන්න ගිහින් සමහර වෙලාවට අතම කපන්න වෙනවා. එනිසා පළමුවෙන්ම මේ තත්ත්වය ගැන ගැඹුරු අධ්‍යයනයක් හා ඒ මත නිර්දේශ සකස් කරගත යුතුයි. එම නිර්දේශ මත පදනම් වී ක්‍රමෝපායක් හා ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යයි. එම ක්‍රියාකාරී සැලැස්ම සඳහා අරමුදල් සොයාගත යුතුයි. ඉන්පසු ඒ ගැන පසු විපරමක් හා ඇගයීමක් කළ යුතුයි. මේ විද්‍යාත්මක ක්‍රමවේදයේ ආණ්ඩුව ගමන් කරන්නේ නෑ. එහෙම දේවල් ගැන කතා කළ වියත් මගේ මිනිස්සු දැන් ඉන්නෙ කුණු බක්කියට දාලා.

ප්‍රශ්නය:- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ශ්‍රීලනිපය හා ඊපීඩීපීය ඇතුළු කණ්ඩායම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ යෝජනාවලිය එන්නේ කවදද?
පිළිතුර:- මේ පිළිබඳව අපේ කණ්ඩායම් මේ දිනවල දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ඉදිරි මාස කීපය තුළ අපේ අදහස් උදහස් යෝජනා ඔබට දැකගන්න ලැබේවි.     

ප්‍රශ්නය:- ආණ්ඩුව පුවත්පත් මණ්ඩලයේ බලය වර්ධනය වන සේ ජනමාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. හිටපු මාධ්‍යවේදියකු හැටියට මේ ගැන ඔබේ මතය කුමක්ද?
පිළිතුර:- වන්ස ජර්නලිස්ට් ඕල්වේස් ජර්නලිස්ට් කියනවා වගේ මගේ අදහස් දක්වන්න කැමැතියි. අපේ ආණ්ඩුවක් ආවත් මම කියන්නේ සමාජ, පෞද්ගලික හා රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒකෙදි අවශ්‍ය ස්වයං විනයක් මිසක් රජයේ මැදිහත්වීමක් නෙවෙයි. සෝෂල් මීඩියා බ්ලොක් කරන්න අපට පුළුවන්ද? ආණ්ඩුවට පුවත්පත් මණ්ඩලේට බලය දීලා ඕනෑ නම් සාම්ප්‍රදායික මාධ්‍ය ටික පාලනය කරන්න පුළුවන්. තවදුරටත් ගුවන් විදුලිය, රූපවාහිනී, පුවත්පත්, සඟරා ආදී ප්‍රකාශනවලට අත දාන්න පුළුවන්. හැබැයි නව මාධ්‍යයට අත දාන්න බෑනෙ. එහෙම නම් අර චීනයේ හෝ ඇතැම් අරාබි රටවල වගේ ඊයේ පෙරේදා බුරුමයේ වගේ බ්ලොක් කරන්න වෙනවා. දේශපාලකයන් ඇයි මාධ්‍යට බය වෙන්නේ. හරි දේ කරනවා නම් ඒක ජනගත කරගන්න පුළුවන් නම් මාධ්‍යයට අල්ලන් තඩිබාන්න ඕන නෑ.  

ප්‍රශ්නය:- ඔබ කිරිපිටි සමාගම් සම්බන්ධයෙන් සටනක් ගෙන ගියා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් ඒ කාලේ ඒ ගැන කතා කළා. ඒ සටනට මොකද වුණේ?
පිළිතුර:- මම ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලා ක්‍රියාමාර්ග ගැනීමේ පියවරේ දී තමයි ජනාධිපතිවරණයක් ආවේ. කොරෝනා නිසා එය යට ගියා. මට විමල් වීරවංශ මන්ත්‍රීතුමා පවා කිව්වේ පිටිකිරි සම්බන්ධයෙන් එතුමා ඉතිහාසයේ දුටු හොඳම වාර්තාව ඒක කියලයි. එතුමා ඒක කිව්වේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට. අද විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට ඒ හොඳ වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න ලෑස්තියි.

ප්‍රශ්නය:- අභ්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකැසීම ආදී වශයෙන් ආණ්ඩුකරණයට අවශ්‍ය විශාල යෝජනා මාලාවක් ගැන ඔබ නිතර කතාබහ කරනවා. මේ අදහස් සක්‍රීය කරගන්න සමගි ජන බලවේගය ඇතුළෙ ඔබට අවස්ථාවක් තිබෙනවද?
පිළිතුර:- ඇත්තවශයෙන්ම එදා එක්සත් ජාතික පක්ෂය තුළ අත්දැකීමට වඩා මගේ අද අත්දැකීම ඉතා වෙනස්. මම සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා. සමගි ජන බලවේගයේ පළමු වැනි පුටුවේ පක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක මහත්වරුන් පෙරමුණේ සිටියදී මාව පක්ෂයේ දෙවැනි පේළියට ගෙනැත් තිබෙනවා. ඒ කියන්නෙ මගේ හැකියාව ගැන පක්ෂය තැබූ විශ්වාසයයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ මාව නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධුරයේ තැබුවා. පාර්ලිමේන්තුවේ පුටු පේළිවලින් තුනේ වුණාට තනතුරින් දෙවැනි පේළියට ගෙනැල්ල තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්තයට හිටියේ සජිත් හා දුලාංජලී කියලා දරුවෝ දෙන්නෙක්. එතුමාගේ තුන් වැනි දරුවා වූ ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ කැඳවුම්කරු බවට මාව පත්කරල තිබෙනවා. එනිසා එදාට වඩා සතුටින් අත පය දිගෑරලා මම වැඩ කරනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා වශයෙනුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙනුත් සුචරිත ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙනුත් සජිත් ප්‍රේමදාස මහතා මා කෙරෙහි තබා ඇති තෙවැදෑරුම් විශ්වාසය තහවුරු කිරීමට මම උපරිම ලෙස කැප වී සිටිනවා.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)