අප, දකුණු ඉන්දීය සිනමාව ප්‍රිය කරන්නේ එහි ඇති සටන්කාමීත්වය නිසාය. එම දමිළ චිත්‍රපටවල එන සටන් ජවනිකා, ජාවාරම්කරුවන් සම්බන්ධ සිද්ධි මෙන්ම චණ්ඩීන්ගේ ක්‍රියාදාමයන් නැරඹීමෙන් අපි උද්දාමයටත් උද්දීපනයටත් පත්වීමු. එහි ඇති වීරවික්‍රම සටන් ජවනිකා තාත්විකය. කතාවට කියන්නේ දකුණු ඉන්දියාවේ “ගුරුත්වාකර්ෂණ බලය” නොමැති බවය. එම සටන් ජවනිකා වැඩි කොටසක් පොළොවෙන් අඩියක් පමණ උඩ සිදුවෙන ඒවාය. ඒ තරමටම එහි සටන් ජවනිකා ඇඟ කිලිපොලා යන ඒවාය. එවන් වූ සැලෝලයිට් පටවල මෙන් අපේ රටේ “පාතාල අයියලා” ද දැන් දැන් මේ කියන දකුණු ඉන්දියාවේ සිට රඟන්නේ එවන් වූ චිත්‍රපට ආකාරයට දැයි සිතෙයි.

තම ප්‍රතිවාදී කල්ලි සාමාජිකයන්ගෙන් මෙන්ම ලංකාවේ පොලිසියෙන් බේරීමට මේ අයියලා දැන් දැන් පැන යන්නේ ඉන්දියාවටය. ඒ ගමන ඉතාමත් පහසුය. ලෙහෙසිය. අවශ්‍ය වන්නේ යහමින් මුදල් පමණය. ඒ අයියලා වෙස් ගන්නේ “ධීවරයන්” ලෙසිනි.
මන්නාරමේ සිට බහුදින ධීවර බෝට්ටුවලින් ඉන්දියාවට පලා යාම මේ කෙරුමන්ට ඉතාමත් සුළු කටයුත්තකි. කරන්නට අවශ්‍ය වූ සියල්ල සිදුකර ලංකාවට “ආයුබෝවන්” කියා මෙරටින් බෝට්ටුවකට නගින මොවුන් නතර වන්නේ ඉන්දියාවේ ය.

මේ කෙළි නිමාකොට ඉන්දියාවට පැන යන්නට මේ අයියලාට පාර කපන්නේ “කිඹුලා ඇළේ ගුණා” යැයි කීවොත් එය නිවැරදි බවට දැන් දැන් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නකි. ඒ ආකාරයෙන් ඉන්දියාවට ගෙන්වා ගන්නා මෙරට පාතාල ක්‍රියාකාරීන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආරක්ෂාව සහ රැකවරණය ද ලබා දෙන්නේ කිඹුලා ඇළේ ගුණා විසින් බව ද මෙරට ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත.

“කිඹුලා ඇළේ ගුණාට ඉන්දියාවේ ත්‍රීවීල් 2000ක් විතර තියෙන ලොකු යාඩ් එකක් තියෙනවා. ඒ දේපළ අයිති ගුණාට. ඒ ත්‍රීවීල් යාඩ් එකේ විතරක් ගුණා යටතේ සේවකයන් 2500ක් විතර වැඩ කරනවා.”

කිඹුලා ඇළේ ගුණා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති නවතම තොරතුර එයයි. එම දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම තොරතුරු හෙළිවී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ කියනා කාරණයත් සමග අපට දැන් දැන් මැවෙන්නේ දකුණු ඉන්දීය සිනමාව ම නොවන්නේ ද? මේ රටේ අපරාධකරුවන් මන්නාරම මුහුදෙන් බෝට්ටු මගින් ගෙන්වා ගෙන කිඹුලා ඇළේ ගුණා ඇතුළු ඉන්දියාවේ වෙසෙන ජාවාරම්කරුවන් මේ සිදුකරන්නේ කුමක් ද?
ඉන්දියාවේ සිට දැමූ සෙල්ලම් ලෙල්ලම් වූ අංගොඩ ලොක්කා ගැන ද මේ අවස්ථාවේ සිහිපත් වෙයි. අයියලා කෙතරම් ඉදිමුණත් ගැහැනු ගැටයකින් ජීවිතයෙන් වන්දි ගෙවූ මේ අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පලා ගොස් සිටි ලඩියාත්, ලඩියාගේ ගෝලයා වූ මධුරංගත් ගැන දැන් කිසිදු කතාබහක් නැත.

2017 වර්ෂයේ දී කළුතර එතනමඩල ප්‍රදේශයේ දී රණාලේ සමයං ඝාතනයත් සමගම අංගොඩ ලොක්කා ඉන්දියාවට පලා යන්නේ ලඩියා සමග ය. ඒ අවස්ථාවේ දී ද අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා බලා කියා ගන්නේ ද මේ කියනා කිඹුලා ඇළේ ගුණාය. එවකට ඩුබායි රාජ්‍යයේ සිටි මාකඳුරේ මදූෂ් මෙහි සම්බන්ධීකරණය සිදුකළ බව කියැවෙයි. ඉන්දියාවේ සිටිය දී අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගැනීමට මදූෂ් නොගත් උත්සාහයක් නැත. එහි එක් අවස්ථාවක දී ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ඉන්දියාවේ චෙන්නායි සිට ඩුබායි බලා යාමට පැමිණි අංගොඩ ලොක්කාත් ලඩියාත් චෙන්නායි ගුවන් තොටුපළේ දී පොලීසියට කොටුවෙති. පසුව මාස හයක් පමණ චෙන්නායි බන්ධනාගාරයේ පසුවූ මොවුන් දෙදෙනා ඉන් නිදහස්ව නැවත ඉන්දියාවේ ජීවත් වූයේ ඩුබායි බලා යෑමේ අරමුණ ද සහිතවය. අද අංගොඩ ලොක්කා අවසන් ගමන් ගොසින්ය. එහෙත් ලඩියාට සිදුවූ දෙයක් නැත.

මෙවැනි පිම්මක් පැනීමට ගොස් වැඩේ අනාගත් ලංකාවේ පොලිස් නිලදරුවකු ගැන ඉකුත් දා ඉන්දීය පුවත් අනාවරණය කරන්නේය. වෙනත් වැඩකට තමිල්නාඩු වැල්ලට ආ තමිල්නාඩු පොලීසිය දැක පුද්ගලයකු පණ එපා කියමින් දිව යන අයුරු එම නිලධාරීහු දුටහ. වැඩේ පැත්තක දැමූ පොලීසිය මේ පුද්ගලයා පසුපස දිවගොස් ඔහු අල්ලා ගත්තේය. දෙමළ භාෂාව නොදත් මේ පුද්ගලයා එම නිලධාරීන් විසින් කුදලාගෙන එනු ලබන්නේ ඉන්දියාවේ දනුෂ්කොඩිය පොලීසිය වෙතය. පසුව සරණාගත කඳවුරක සිටි සිංහල භාෂාව දත් පුද්ගලයකු වහාම කැඳවූ පොලීසිය මොහු කවුරුන්දැයි ප්‍රශ්න කර සිටියේය.

“ලංකාවෙන් මාව මරන්න හොයනවා. බේරෙන්න ඕනෑ නිසයි මම බෝට්ටුවක නැගලා ආවේ.”
“මොකටද මරන්න හොයන්නේ?”
එහෙත් ඉන්දීය පොලීසියට මේ තොරතුරු ප්‍රමාණවත් නොවූ බැවින් වහාම මේ කියන පුද්ගලයාගේ ජංගම දුරකතනය සහ පසුම්බිය භාරයට ගෙන එය පරීක්ෂා කර බලා තිබිණි. වැඩේ අසුවන්නේ ඉන් පසුවය.
“උඹ ශ්‍රී ලංකා පොලීසියේ නේද?”

මේ සියලු තොරතුරු ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කිරීමෙන් පසු මොහු කවුරුන්ද යන්න හෙළි විණි. ඔහු, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඒ.එම්. ප්‍රදීප් කුමාර බණ්ඩාරය.

සපුගස්කන්ද ප්‍රදේශයේ වඩුමඩුවකින් රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලීසියට හමුවන්නේ ඉකුත් 02 වැනිදාය. වඩුමඩුවේ ලෑලි තොගයක් අස්සේ වූ බෆල් දෙකක් අස්සේ සඟවා තිබිය දී මෙම හෙරොයින් තොගය පොලීසියට කොටු වෙයි.

“මේ කුඩු කාගේද?” පොලීසිය ඇසූ පැනයට පිළිතුරු දුන්නේ වඩුමඩුවේ හිමිකරුය.
“සර් මේවා ගෙනල්ලා දුන්නේ මල්ලි. එයා වැඩ කරන්නේ සී.සී.ඩී. එකේ. එයා මේවා අරගෙන ආවේ ත්‍රීවිල් එකකින්. මට පරිස්සම් කරන්න කියලා තමයි දුන්නේ. හැබැයි හත් අට සැරයක් මෙතනින් බඩු අරගෙන ගියා.”

පොලීසියේ ඊළඟ ඉලක්කය වූයේ මේ කියන පොලිස් කොස්තාපල්වරයා සෙවීමය. තම සහෝදරයා අත්අඩංගුවට පත්වූ බව කන වැකුණු සැනින් කොස්තාපල් බණ්ඩාර හදිසි අසනීප තත්ත්වයක් යැයි පවසමින් කොළඹ ජාතික රෝහල වෙත යන්නේ එදින උදේ 10ට පමණය. එහෙත් එදින දහවල් 11 වන විට ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත වෙයි. පසුව ඔහු හමුවෙන්නේ ඊට පසුදින එනම් 03 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩුවේ දීය.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි කොස්තාපල් බණ්ඩාරගේ බිරිය ජීවත් වන්නේ හොංකොං රටේ සුපිරි සාප්පු සංකීර්ණයක බවත් ඔහු ඉන්දියාවේ සිට සිය බිරිය සිටින රට වෙත පලා යන්නට සැලසුම් කරමින් මේ ආකාරයට ඉන්දියාවට පලා යන්නට ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නකි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල සෙවීමට නම් මේ කියන පොලිස් නිලධාරියා අවශ්‍යම වෙයි. ජාවාරමුන් වහාම ඔහු ඉන්දියාවට ගෙන්වා ගන්නේ ඒ කියන ජාවාරම තවත් එක් අභිරහසක් බවට පත් කිරීමටය. කොස්තාපල් බණ්ඩාරට ඉන්දියාවට ගොස් සම්බන්ධ වන්නට කියන්නේ “සුරේෂ්” නමැත්තෙකුටය. මේ කියනා සුරේෂ් යනු, කිඹුලා ඇළේ ගුණාගේ සොහොයුරාය. කොස්තාපල් බණ්ඩාර ඉන්දියාවේ දනුෂ්කොඩිවලින් බැස රාමේෂ්වරන් වෙරළට යන්නේ සුරේෂ් සම්බන්ධ කර ගැනීමටය. ඒ මොහොතේ සුරේෂ්ගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබී ඇත. කර කියාගත නොහැකිව වෙරළේ එහේ මෙහේ යමින් සිටි කොස්තාපල් බණ්ඩාර පොලීසියට කොටු වන්නේ පොලීසිය දැක පලා ගිය නිසාය. දැන් මොහු ඉන්දීය පොලීසියේ අත්අඩංගුවේය. කොස්තාපල් බණ්ඩාරගේ සිද්ධිය ද මේ වන විට එරට පොලීසිය විසින් එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත්තේ අංගොඩ ලොක්කාගේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුගේ යම් කිසි සම්බන්ධයක් ඇත්දැයි සෙවීම සඳහා බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොස්තාපල් බණ්ඩාර පැය විසි හතරක් යන්නට මත්තෙන් මෙරට මුහුදු සීමාවෙන් පැන යන්නේ ඉතාමත් සූක්ෂම අයුරිනි. ඉකුත් දා මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් මුහුදේ ජීවත් වන බවය. එය එසේ වී නම් මුහුද ආරක්ෂා කරන අපේ රටේ නාවික හමුදාව මෙන්ම මෙරට බුද්ධි අංශ නිලධාරීන් ද විවර වූ දෙනෙතින් සුපරික්ෂාකාරීව සිටීම ඉතාමත් වැදගත් නොවන්නේද?
හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවි සලක සඟවා තිබිය දී අවි ආයුධ තොගයක් පොලීසිය අත්අඩංගුවට ගන්නේ ඉකුත් ජුලි මස 28 වැනිදාය. ටී 56 ගිනි අවි 11ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් ඇතුළු ආයුධ තොගයක් එලෙසින් පොලීසිය සොයා ගනිද්දි ඊට දින තුනකට පසු තවත් එවැනිම ආයුධ තොගයක් එම ප්‍රදේශයේදීම පොලීසිය සොයා ගනී. ග්‍රෙනේඩ් බෝම්බ 07ක්, රිපීටර් ගිනි අවියක්, බොඩි ආමර් 2ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 77ක්, රිපීටර් ගිනි අවිවලට යොදන උණ්ඩ 4ක් මෙන්ම හඳුනානොගත් උණ්ඩ 4ක් ද එහි තිබී ඇත.

“මේ ආයුධ කාගේද?”
“මොකද ගෙනාවේ?”
“මේවා පාතාලයේ ඒවාද? එහෙනම් පාතාලයට දුන්නේ කවුද?”
මෙකී දහසක් වූ ප්‍රශ්න හමුවේ දැන් පිළිතුරු සොයමින් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒවායේ පිළිතුර කෙසේ වනු ඇත්දැයි විමසිල්ලෙන් සිටින්නේ මේ රටේ ජනතාවයි. නිරායුධ සාමකාමී පරිසරයක ජීවත් වීමට කැමැති අපි සැවොම මේ පාතාල අවි හරඹයන් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුමය. එකම කාසියේ දෙපැත්ත වූ හෙරොයින් ජාවාරමත් පාතාල අවි ක්‍රියාත්මක වීමත් සරල රේඛීයව සිදුවන්නකි. මේ සියල්ල පිටුපස හිඳින්නේ බල අරගලයක පොරකන “අයියලා” ය.

ඈත මුහුදේ කොහේදෝ යන නැවකින් ‘හෙරොයින්’ පන්නාගෙන රට තුළට ගෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු කිහිප දෙනා අද හිරබත් කති. තවත් නිලධාරීහු පිරිසක් රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ ‘වමාරමින්’ සිටිති. ‘අහක යන නයි රෙද්ද අස්සේ දමාගන්නට’ මේ නාකොටික් නිලධාරීන්ට උඩගෙඩිදුන් එස්.ටී.එෆ්. එකේ නිලධාරීන් ද සිට ඇත. පාතාලයත් හෙරොයින් මත්ද්‍රව්‍යයත් එකම කාසියේ දෙපැත්ත වූ කලී පාතාලය රැකුමට ‘ආයුධ’ කරලියට විත් තිබේ. ඈත මුහුදේ ගිය හෙරොයින් ගත්තාට දායාද වශයෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් ගිනි අවි ද ලබා දී ඇත. “කුඩු ඇල්ලුවා” යැයි ජයග්‍රහණයේ ජය පැන් බොමින් සිටි මේ කියන නාකොටික් නිලධාරීන් එම ආයුධ ද ඔවුන් අතර බෙදාගෙන තිබිණි. ඉන් රිවෝල්වර පහක් පොලීසිය සොයාගෙන තිබුණි. එකක් සොයා ගත්තේ එක් නාකොටික් පොලිස් පරීක්ෂකවරයකු සතුව තිබිය දීය. අනෙක් හතර නාකොටික් නිලධාරීන් “බඩෝවිට ලොකූට” ලබා දී තිබූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කරුණු ඉදිරිපත් වී තිබිණි. බඩෝවිට ලොකූ සොයා ගැනීමට පොලීසිය උත්සාහ ගනිද්දි ලොකූ කෙසේ වෙතත් ආයුධ නම් හමු විය. දැන් හෙළිවී ඇති කරුණු අනුව මේ කියනා “බඩෝවිට ලොකූ” ද දැන් ඉන්නේ ඉන්දියාවේය. ඔහු ධීවර බෝට්ටු කිහිපයක හිමිකරුවකු වන අතර බෝට්ටුවක නැග ධීවර වෙස් ගෙන ඉන්දියාවට පලා ගොස් ඇතැයි පොලීසිය මේ වන විට කරුණු හෙළිකරගෙන ඇත.

මේ අවි ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී රහස් පොලීසියට තව තව සෙල්ලම් හෙළිවෙමින් ඇත.
“තවත් ආයුධ හැත්තෑවක් තියෙනවා හොයා ගන්න”
“එහෙනම් කෝ ඒවා?”
“කා ළඟ ද තියෙන්නේ”

පාතාල කෙරුමන් බල අරගලය හේතුවෙන් මේ ආයුධ රැස් කර තබා ගන්නේ ප්‍රතිවිරුද්ධ කල්ලියේ එවුන් විනාශ කර දැමීමටය. මොවුන්ට වෙන හීන නැත. ඇත්තේ එකම හීනයක් පමණි. ඒ අනිකාගේ බෙල්ල කැපීමේ හීනයම පමණි. ඉන් එහා දෙයක් හිතන්නට ඔවුන්ට බුද්ධියක් නැත. රටට හෝ සමාජයට වන විනාශය ගැන ඔවුන්ට වගේ වගක් නැත. ඒ ගැන සොයන්නට ද ඔවුන්ට වෙලාවක් නැත. කොයි මොහොතේ හෝ ගේමක් ගසා අනිත් පැත්තේ අයියා බිම හෙළීම විනා ඔවුන් දන්නා වෙන දෙයක් නැත.

“මේ ආයුධවලින් 25ක් තියෙන්නේ ගොනාකෝවිලේ රොහා” ළඟ. මේ කියනා ඔත්තුව පොලීසියට ලැබුණේ ඉකුත් දින කිහිපයේදීය.
“මේ කියනා රොහා, කවුද?”
මොරටු සමන්ගේ ඇවෑමෙන් පාතාලයට අත්පොත් තබන මේ ගොනාකොවිලේ රොහා, රත්මලාන, ගල්කිස්ස, මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සිය අණසක පතුරමින් සිටි අයෙකි. රොහාගේ ප්‍රතිවාදියා වන්නේ “ගොනාකෝවිලේ අංජු” ය. තම සහෝදරයා මැරූ පලිය ගැනීමට රොහාගේ බෙල්ල සොයමින් අංජු දැන් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඉකුත් දා රත්මලාන ප්‍රදේශයේ දී ආපන ශාලාවකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය ද අංජු සහ ධර්මසිරි විසින් සිදුකරනු ලබන්නේ “රොහා” සොයා ගැනීමටය. වරෙක ගල්කිස්ස අධිකරණය තුළ දී රොහා ඝාතනය කිරීමට මාකඳුරේ මදූෂ්ගේ ද සහාය අංජු විසින් ඉල්ලා තිබිණි. ඒ වෑයම ද අසාර්ථක වූයේ පොලිසිය වහා ක්‍රියාත්මක වූ නිසාය. පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රොහා මත්කුඩු ජාවාරම සිදුකර ඇත්තේ වෙලේ සුදාගේ සහායෙන්ය.

දැන් මේ කියනා රොහා සොයා පොලිස් දැල එළා තිබුණේ ජාවාරම්කරුවන්ගේ ආයුධ මොහු සතුව ඇති බවට වූ තොරතුර හේතුවෙනි. එහෙත්, “රොහා ත් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනලා”... මේ කියනා තොරතුර ද දැන් රහස් පොලීසිය වෙත ලැබී ඇති බව ද එහි උසස් නිලධාරියෙක් පැවසීය. එසේ වී නම්, මේ ආයුධ සම්බන්ධ විමර්ශනය අවසන් කරන්නේ කවදාද? විමර්ශකයන්ට දැන් සිදුව ඇත්තේ මෙවැනි ගැටලු රාශියකි.

මෙහි සිට පාතාල සෙල්ලම් දමා දැන් මොවුන් ඉන්දියාවට පැන යන්නේ එහි සිට සෙල්ලම් දමන අයියලාගේ ආශිර්වාදය ලබා ගැනීමටය. රැකවරණය ලබා ගැනීමටය. ජම්පටා වීදියේ කුඩු සෙල්විගේ දරුවන් දෙදෙනා, පූකුඩු ඛන්නා, බුම්බා, කොට ගාමිණී, අතුරුගිරියේ ලඩියා, මධුරංග මේ කියනා බොහෝ කෙරුමෝ අද ඉන්දියාවේ සිට මෙහේ රඟති.

තවත් බොහෝ පාතාලයේ අයියලා ඩුබායි රාජ්‍යය ඉතාලිය ප්‍රංශය එංගලන්තය වැනි රටවල සුර සැප විඳිමින් මේ රටේ පාතාලය හසුරමින් සිටිනා බව අප කවුරුත් දන්නා කරුණකි. කෙසේ වෙතත් ඉක්මනින් මෙරටින් පලා යෑමේ ක්‍රමයක් ලෙස බෝට්ටුවෙන් ඉන්දියාවට පලා යෑම මොවුන් අතීතයේ සිට යොදාගත් උපක්‍රමයකි. එය දැන් දැන් වේගයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ඇත. ආරක්ෂක අංශවලට වැලි ගසා මොවුන් පැන යන්නේ අපේ රටේ අහිංසක තරුණ පරපුර මත් රකුසාට බිල්ලට දෙමිනි. මොවුන් මේ පලා යන ආරක්ෂක අංශවල හිඩැස වහ වහා වසා දැමිය යුතු ය. එසේ නම් ඒ සඳහා බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතු නොවේද?

 

(*** විමුක්ති කුමාරසිංහ)