මැදි වයස ඉක්මවූ රාජ්‍ය සේවකයෙකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලටද මුහුණපෑමට සිදුවේ.


පඩිගත් දිනයට පසුදින ඔහු සිරිත් පරිදි මිතුරෙකු සමග අවහන්හලකට ගොඩවිය. මිතුරාද අප කතා නායකයාද පාවිච්චි කළේ එකම වර්ගයේ බෑග් දෙකකි. එදා වැසි දිනයක්ද වූ නිසා අවහන්හලේ සිටි කාලය දැනුනේද නැත. දෙදෙනොගේම බෑග් තබා තිබුණේ එකම තැනය. මේ අතර මිතුරා සාක්කුවේ තිබූ යමක් ගෙන එය බෑගයේ දැමුවේය. වැස්ස තුරල් කළ පසු දෙදෙනාම විසිර ගියේ කන සාක්කුවට වැටෙන තරටම රත්වීමෙන් පසුවය.


ඔහු නිවසට ගොස් කෙළින්ම ගියේ කාමරයේ ඇඳ සොයාගෙනය. ප්‍රමාදයට හේතුව දැන සිටි බිරිඳද ඇඳ සූදානම්කර තිබුණාය. පසුදින උදෑසන අවදිවී කාර්යාලයට යෑමට සූදානම් වූ ඔහුට බිරිඳගේ වෙනසක් දැනිණ. වෙනදාමෙන් නොව දැඩි කෝපයකින් සිටින බවක් පෙනිණි. “ඇයි මොකද අද ඔයාට වෙලා තියෙන්නේ” ඔහු ඇසුවේය.


“වෙලා තියෙන්නේද? කොහේද ඊයේ ගියේ? මේ මොනවද “අසමින් ඇය ඔහුගේ බෑගයේ තිබූ උපත් පාලන කොපු පැකැට්ටුවක් ගෙන ඔහුගේ ළඟට විසි කළාය. ඔහුට තරු විසිවිය. මෙය තමාගේ බෑග් එකට ආවේ කෙසේදැයි ඔහුටද ගැටලුවක් විය. එහෙත් බිරිඳගෙන් ඔහුට කිසිම ගැලවීමක් නැත. මිතුරා වැරදීමකින් මෙය තමාගේ බෑග් එකට දමන්නට ඇතැයි ඔහු සිතුවේය. එනිසා ඔහු වහාම දුර කතනයෙන් මිතුරා ඇමතුවේය.


“හරි මචං මම ඊයේ රාත්‍රි ක්ලබ් එකේදි මගේ බෑග් එක කියල හිතාගෙන ඕකදාල තියෙන්නේ උඹගේ බෑග් එකට. සොරි මචං. එනකොට ඕක අරගෙන වරෙන්” මිතුරා පිළිතුරු බැන්දේය. එහෙත් එම පිළිතුර බිරිඳගෙන් බේරීමට තරම් නිදහසට කාරණයක් නොවීය.


“හරි යනවකෝ අද මමත් එන්නම් ඔය යාළුව හම්බවෙන්න” බිරිඳගේ සිත සන්සුන් නැත. එදින උදේ සහ දහවල් ආහාරයද නැතිවම ඔහු කාර්යාලයට ගියේය. එහෙත් බිරිඳ දහවල් කෑම පාර්සලයක්ද රැගෙන කාර්යාලයට ආවාය. එහිදී මිතුරාද කැටුව ඇය වෙත පැමිණ ඔහු සිද්ධිය  මිතුරාගේ අත්වැරදීමකින් සිදුවූවක් බව කියා සිටියේය.


මිතුරාද ඇය ඉදිරියේ වැඳවැටෙමින් තමාගේ අතින් සිදුවූ වරද පිළිබඳ සමාව ඉල්ලුවේය. මෙය පවුලේ ආරවුලක් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් ඇයගේ සැකය වූයේ දෙදෙනාම එකට හොර ගමනක් ගොස් ඇති බවය. පසුව ඇය නිවසට ආවත් දින ගණනක් යනතුරු ඔහු සමග කතාබස් කළේ නැත.
(උණවටුන ඩී.ජී. සුගතපාල)