ගොවිජන පදයක මුල්ම පදිංචිකරුවන් වන ඔවුන් දැන් වැඩිමහල්ලන්ය. සැමියා 65 හැවිරිදිය. බිරිඳට අවුරුදු 62කි. මේ අඹුසැමියන් දෙදෙනා පමණක් නිවසේ ජීවත්වන අතර දරුවෝ ආවාහ විවාහවීමත්, රැකීරක්‍ෂාවල නියුතුවීමත් නිසා ගමෙන් පිට පළාත්වල පදිංචිවූහ.


ඔවුනට කුඹුරු වතුපිටි මෙන්ම ට්‍රැක්ටරද තිබේ. අතමිටද සරුය. මුදල් හදල් ද යහමින් ඇත.


දෙදෙනාම තවමත් කුඹුරු වතුපිටි රැකබලා ගනිති. ඒවා අස්වද්දති. දෙදෙනාට දෙදෙනා සෙනෙහෙසින් සිටි අතර රණ්ඩු සරුවල් වීම් කවදාවත් නැති බව අසල්වැසියෝ කියති.


එහෙත් දෙදෙනා නිවසේ වාසය කරන්නේ කාමර දෙකකය. එම කාමර දෙකේ තම තමන්ගේ ඇඳ අල්මාරිද අත්‍යවශ්‍ය බඩු භාණ්ඩද තබා ඇත.


දිනක් මධ්‍යම රාත්‍රියේ බිරිඳගේ කාමරයේ පුටුවක පය පැටලෙනවාත් සමග අල්මාරියේ දොර ද ඇරෙන හඬ යන්තමට ඇයට ඇසිණි.


 “මොකක්ද මනුස්සයෝ මේ දෙගොඩ හරියේ එහෙමෙහෙ යන්නෙ නින්ද යන්නේ නැත්නම් රේඩියෝව දාලා පිරිත් ටිකක් අහනව. එතකොට නින්ද යයි” බිරිඳ එසේ කීවේ තම ස්වාමියා කාමරයට ඇවිත් යැයි යැයි සිතාගෙනය.


ටිකක් වේලාවකින් සැමියාගේ කාමරයේද කවුදෝ පුටුවක වදින හඬක් ඇසී ඔහුට ඇහැරිණි. අඩ අඳුරේ යම් ඡායාවක්ද එහා මෙහා වනු පෙනුණි.


“මොකෝ හාමිනේ ඉලත්තට්ටුව හොයන්න ආවයි. ඉලත්තට්ටුව හොයා ගත්තත් අද බුලත් නැහැ යන්න නිදාගන්න” යනුවෙන් පැවසුවේ තම බිරිඳ කාමරයට ඇවිත් යැයි සිතාගෙනය. බිරිඳ වෙනදාටත් කාමරයට ඉලත්තට්ටුව ගෙන ඒමට ඉඳ හිට ගියාය. ඇහැ ඇරුනොත් බුලත් විටක් කෑම ඇගේ පුරුද්දය.


පසුදා පහන් විය. දෙදෙනාගේම කාමරවල අල්මාරිවල දොරවල් විවෘතය. එහි තුළ තිබූ රෙදි ද එක දෙක බිම වැටිලාය.


විමසිල්ලෙන් බලන විට අල්මාරිවල ලාච්චුවල තිබූ මුදල් හා රන් භාණ්ඩ කිසිත් නැත. එය ගණනින් ලක්‍ෂ 5කට අධිකය.


එහෙනම් හාමිනේ ඊයේ රෑ අපේ කාමරවලට ඇවිත් තියෙන්නේ හොරෙක්. අපි යමු දැන්ම පොලිසියට සැමියා කීය.
(සත්‍ය සිදුවීමකි)
(අම්බලන්ගොඩ විශේෂ ඩී. ජී. ජයසුන්දර)