රක්වාන ඩබ්ලිව්. ඒ. සිරිසේන



පියාගේ අවමංගල්‍ය උත්සවය අවසානයේදී පවුලේ අය වෙනුවෙන් සිදුකළ ස්තූති කතාවේදි පුතා විසින් වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමේ අපූරු සිද්ධියක් රක්වානේ එක්තරා ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
මියගිය පුද්ගලයාගේ පුතා රැකියාව ලෙස මැණික් ගැරීම කරගෙන ගියේය. ඔහුගේ පියා වයස්ගත අයෙකි. ඔහු හදිසියේම පසුගියදා මිය ගියේය. මියගිය පියාගේ අවසන් කටයුතු පුතාගේ කරපිට පැටවුණි. ඔහුට එය තනියෙන් සිදු කරගැනීමට තරම් මුල්‍යමය හැකියාවක් නොවීය. ඒ නිසා ඔහු ප්‍රදේශයේ මැණික් විකුණන සුළු මැණික් ව්‍යාපාරික හිතවතකු හමුවීමට ගොස් පියාගේ හදිසි අභාවය ගැන දන්වා සිටියේය. 
මැණික් ව්‍යාපාරිකයා ද වහාම ඔහුට මුදලින් උපකාරයක් කළේය. ‘‘තවත් මොනවා හරි කරන්න ඕනි නම් තමන්ට පවසන්නයි’’ කියා පසුව මළ ගෙදර පැමිණෙන බව ද පැවසීය..


ඔහු එම ආධාරය රැගෙන ගොස් ගම්වාසීන්ගේද සහය ද ඇතිව පියාගේ දේහය නිවසට ගෙන විත් දින දෙකක් නිවසේ තබා ගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීමට සුදානම් විය. එම අවස්ථාවට ගම්වාසීන්, මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ. ඊට සහභාගි වී සිටි ස්වාමීන් වහන්සේලාගේ ආගමික වතාවත් හා අනුශාසනාවලින් පසු ගිහි ගුණ කතා කිහිපයක්ද ගම්වාසීන්ගෙන් එහිදී ඉදිරිපත් කෙරිණි.
සියලු‍ දෙනාගේ ගුණ කතාවලින් පසු එළඹියේ පවුලේ ස්තුති කතාව ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මියගිය පුද්ගලයාගේ පුතා ඉදිරිපත් විය. ‘‘මේ අවුරුදු සමයේ ඔබ ලැබෙන ලොකු පොඩි ඕනෑම වර්ගයක වටිනා මැණික් කැටයට විශ්වාසවන්තව උපරිම මිලක් ලබා ගැනීමට නම් ........ මුදලාලි මහතා වෙත රැගෙන යන්න”‍ කියා මා පළමුවෙන් අපේ මැණික් ගරන හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පවසමින් ස්තුති කතාව ආරම්භ කළේය.
 එය ඇසුණු සියලු‍ දෙනා පුදුමයට පත්වුහ. ඒ අවමංගල්‍ය උත්සවයක් අවසානයේ සිදු කරන ස්තුති කතාවකදී මෙවැනි වෙළෙඳ දැන්වීමක් කියවීම ප්‍රථම වතාවට සවන් දීමට සිදුවීම නිසාවෙනි.
ඊට දින ගණනාවකට පසු ගම පුරා පැතිර ගිය කතාව ද අමුතු එකකි. පියාගේ අවමංගල්‍ය කටයුතු සඳහා මූල්‍යමය ආධාරය ලබාදුන් සුළු මැණික් ව්‍යාපාරික හිතවතා වෙනුවෙන් ඔහුගේ ව්‍යාපාරය තවත් දියුණු වේවායි ආශිර්වාද පතමින් කළගුණ සැලකීමක් ලෙසට එම වචන කිහිපය එම අවස්ථාවේදී සිදු කර ඇති බවයි.