අප්‍රිකාවට අයත් ඝානා රාජයේ ආරක්ෂක අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීහු අට දෙනෙක් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූහ.

ඝානා ජනාධිපති ජෝන් මහමාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ජුලියස් දෙබ්රා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඔමානේ බෝමා, පරිසර අමාත්‍ය ඊබ්‍රාහිම් මුර්තලා මුහම්මද් ඇතුළු අට දෙනකු හෙලිකොප්ටරයේ සිටි බවත්, අනතුරින් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත්ය. 

මියගිය සෙසු පිරිස අතරේ, හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයකු මෙන්ම නියෝජ්‍ය ජාතික ආරක්ෂක සම්බන්ධීකාරකවරයකු ලෙස ද කටයුතු කළ අල්හාජි මොහොමඩ් මුනිරු ලිමුනා මෙන්ම, ජනාධිපති මහමාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් පක්ෂයේ උප සභාපති සැමුවෙල් සාර්පොං ද සිටින බව පැවැසෙයි.

හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ අශාන්ති කලාපයේය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. අනතුර සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව, ජනාධිපති ජෝන් මහමා සොව පළ කර ඇත. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ද වාර්තා වේ.