‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හොංකොං සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට එරට සෞඛ්‍ය අංශ තමන්ට උපදෙස් ලබා දී ඇතැයි හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හොංකොං නුවර, සුරතල් සතුන් අලෙවිසැලක, අලෙවියට තැබූ හැම්ස්ටර් මීයකුට ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබේ. සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට සෞඛ්‍ය අංශ තීරනය කර ඇත්තේ මේ නිසාය.

එම හැම්ස්ටර් මීයාට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත්තේ වෙළෙඳසැලේ සේවකයකුගෙනි. එම සේවකයාට ආසාදනය වූයේ ‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතිය යැයි පසුව අනාවරණය විය. හැම්ස්ටර් සතුන් හොංකොං බලා රැගෙනවිත් ඇත්තේ නෙදර්ලන්තයෙනි. ඒ අනුව, ‘කොවිඩ් 19’ ආසාදිත හැම්ස්ටර් සත්වයා ඇතුළු සෙසු හැම්ස්ටර් සතුන් 2,000 ක් මරා දැමීමට සිදුවනු ඇති බව හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබේ.

‘කොවිඩ් 19’ අයත් වන්නේ ‘කොරෝනා’ වයිරස පවුලටය. ‘කොරෝනා’ යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. ‘කොවිඩ් 19’ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් වාර්තා විය. වයිරසය වවුලන් සහ කබැල්ලෑවන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වූ බව පැවැසෙයි. කෙසේ නමුත් මෙය සියයක් තහවුරු වී නැත.

(රොයිටර්)