2024 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට එරෙහිව ජර්මනියේ හැම්බර්ග් නගර වැසියෝ විරෝධය පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයකදී හැම්බර්ග් නගරයේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට විරුද්ධව 51.7% ක පිරිසක් විරෝධය පළ කර ඇත. ජනමත විචාරණය සඳහා හැම්බර්ග් නගරයේ හා අසල්වැසි කියෙල් නගරයේ වැසියෝ ඡන්දය ප්‍රකාශ කළහ.

2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමේ සටනට ඉතාලියේ රෝම නගරය, ප්‍රංශයේ පැරිස් නුවර, හංගේරියාවේ බුඩපස්ට් හා අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගර ඉදිරිපත්වී සිටිති. ජර්මනියේ හැම්බර්ග් නගරාධිපති ඔලාෆ් ස්කොල් ජනමත විචාරණයේ තීන්දුව පිළිගන්නා බව කියමින් ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වයට තරග වැදීමෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

2024 ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලි සඳහා සත්කාරක නගරය තෝරාගැනීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීය. මීට පෙර ජර්මනියේ මියුනිච් නගරයේදී 1972 වසරේදී ඔලිම්පික් තරගාවලියක් පැවැත්විණි.