මෙතෙක් කලක් සෞදි අරාබියට ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වීම සඳහා විදේශ රැකියා ආයතන විසින් සෞදි හාම්පුතුන්ගෙන් අය කළ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි රියාද් 4000කින් (රුපියල් 142600) අඩු කිරීමට පියවර ගන්නා බව පසුගිය සතියේ සෞදි අරාබියේ සංචාරයක නිරතවූ  ශ්‍රී ලංකා විදේශ රැකියා සංගමයේ සභාපති ෆයිසර් මකින් මහතා සදහන් කළේය.

රියාද් නුවරට පැමිණි විදේශ රැකියා සංගමය සභාපති  ෆයිසර් මකින් මහතා සඳහන් කරනුයේ ශ්‍රී ලාංකික කතුන් සදහා  තව තවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා ලබාදීමේ මුලික පියවරක් ලෙස මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තාවක් මෙරටට ගෙන්වීම සදහා අයකරන ලද සෞදි රියාල් 15.000 ක මුදල රියාල් 11,000 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා සංගමය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් හය දහසක් පමණ සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස මාසයකට පැමිණීම දස දහස දක්වා වැඩි කිරීම මෙහි එක් අරමුණක් බවද ෆයිසර් මකින් මහතා සදහන් කළේය. සෞදි පාර්ශවයෙන් මෙම ගාස්තු අවම කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට රාමසාන් මාසයෙන් පෙර හෝ රාමසාන් මාසයෙන් පසුව සෞදි කම්කරු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවද සඳහන් කරයි.

කෙසේ වුවද සෞදි අරාබියේ ගෘහ පාලිකා සහ ගෘහ සේවක ඇතුළු අනිකුත් ගෘහස්ත  රැකියා  සදහා පැමිණීමට යෝජිත කාන්තාවන් සහ පිරිමින් සදහා සති තුනක කාලයක් පෙර පුහුණුවක් ලබා දීමට නියමිතය. මෙම කරුණු පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සෞදි රජය විසින් මෙම වස‍ර මුල් කාර්තුවේදී රියාද් නුවරදී  ගිවිසුමක්ද අත්සන් කළ බවද ඔහු සඳහන් කරයි. මකින් මහතා කීවේ විදෙස් ගතවන සියලුම ගෘහ පාලිකාවන්ට තම ගමන් බලපතෙහි අදාළ රැකියාව පිළිබඳවත් ලැබිය යුතු වැටුප් සහ වැටුප ගෙවන බැංකු සටහන්ද අදාළ ගිවිසුමද තම භාෂාවෙන් ලබා දීමට නියමිත බවයි.

මේ වනවිට ගල්ෆ් කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන 1.7 විවිධ රැකියාවල යෙදෙමින් ශ්‍රී ලංකාවට විශාල විදෙස් විනිමයක් වාර්ෂිකව උපයා දෙනු ලබයි.

විශේෂ ස්තුතිය මොහොමඩ් රසුල්දීන් මහතා - ඇරැබ් නිවුස් රියාද්