ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හඳුනා නොගත් රෝගයකින් එක් අයෙකු මියගොස් 227 දෙනකු රෝහල් ගතකර තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ රෝගී වූ පුද්ගලයන් පුලුල් පරාසයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.  

රෝගීන්, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ සහ ගැස්ම, සිහිසුන්ව ඇද වැටීම වැනි තත්ත්වයන් ද පෙන්නුම් කරන බව ඔවුහු පවසති.  

රෝගීවූ දරුවන් පවසා ඇත්තේ ඇස් දැවිල්ලක් ඇති බවයි.

රෝගීන්ගේ රුධිර සාම්පල වල වෛරස ආසාදනයක් ඇති බවට කිසිම සාක්ෂියක් පෙන්නුම් නොකරන බව වෛද්‍යවරු පවසති.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන්ද බහුලව වාර්තා වන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ මෙම හඳුනා නොගත් රෝගය වැළඳුනු රෝගීන් කොරෝනා ආසාදිතයින නොවන බවයි.

ජලය හෝ වායුව දූෂණය වීම හේතුවෙන් මෙම රෝගය හටගන්නට ඇතැයි සැකයක් පවතින බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සති අන්තයේ එලරූ නගරය පුරා පැතිර ගිය මෙම රෝගයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය බලධාරීහු පවසති. මේ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එලරූ වෙත යවන බව ප්‍රාන්ත මහ ඇමති ජගන් මෝහන් රෙඩ්ඩි පවසයි.

(බීබීසී ඇසුරිණි)

085