ආර්ථික සහ දේශපාලනික අර්බුද රැසකට මුහුණ දෙන ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනපති ධුරය සඳහා තේරී පත්ව සිටි සියෝමාරා කස්ත්‍රෝ ඊයේ (28) එම ධුරයේ දිවුරුම් දුන්නාය.

62 හැවිරිදි සියෝමාරා කස්ත්‍රෝ, වාමාංශික විමුක්ති පෙරමුණට නායකත්වය දෙමින් පසුගිය 2021 නොවැම්බර් 28 වැනිදා පැවැති ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළාය.

දිවුරුම් දීමේ උළෙල හොන්ඩුරාස් රාජ්‍යයේ තෙලුසිගල්පා අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අතර, සියෝමාරා කස්ත්‍රෝගේ ආධාරකරුවන් සහ වාමාංශික විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දහස් ගණනින් රැස්ව සිටියේ හොන්ඩුරාස් ධජ අතැතිවය.

හොන්ඩුරාස් රාජ්‍යය දේශපාලනික වශයෙන් පමණක් නොව, සමාජීය වශයෙන් ද අර්බුද රැසකට මුහුණ දෙයි. ආර්ථික අර්බුද ජයගනිමින්, දූෂණ වංචා නැවැත්වීමටත් හොන්ඩුරාස් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවටත්, දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් සියෝමාරා කස්ත්‍රෝ ප්‍රතිඥා දුන්නාය.

දිවුරුම් දීමේ උළෙලට විශේෂ අමුත්තියක ලෙස ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ද හොන්ඩුරාස් රාජ්‍යය බලා පැමිණ සිටියාය. කමලා හැරිස් පැමිණ සිටියේ ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් ද සමඟය.

ඊට අමතරව අසල්වැසි කලාපීය රටවල් කීපයක රාජ්‍ය නායකයෝ ද ආරාධිතයන් ලෙස දිවුරුම් දීමේ උළෙලට සහභාගී වූහ. කෙසේ නමුත් පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් එල් සැල්වදෝර්, ගෞතමාලා සහ නිකර්ගුවා යන රටවල රාජ්‍ය නායකයන්ට දිවුරුම් දීමේ උළෙලට ඇරැයුම් කර තිබුණේ නැත.

(රොයිටර්)