ලන්ඩන් නුවර අතුල දස්සන බෞද්ධ විහාරස්ථානයේ මෙහෙයවීමෙන් ලක් නිදහස සැමරීමේ සංස්කෘතික සංදර්ශනයක් ජනවාරි 30 වැනි දා පවත්වනු ලැබිය.

"සිංහ සීසන් 4" නම්වූ මෙම සංදර්ශනයේදී අතුල දස්සන දහම් පාසලේ දරුදැරියන් සහ සරෝ නර්තන කණ්ඩායමේ ශිල්පීන් දර්ශනීය නර්තන අංගයන් ඉදිරිපත් කෙරුණි.

වැඩසටහන සංවිධානය කෙරුණේ අතුල දස්සන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක වඳුරඹ කස්සප නාහිමියන්ගේ අනුශාසකත්වයෙනි.  මේ පිළිබඳව අදහස් දක්වන කස්සප නාහිමියෝ "හෙළ මුතුන් මිත්තන් ජාතික වීර වරයන් හා  වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් නිදහස අර්ථ ගන්වන්නට එක්සත් රාජධානියේ ඉන්නා අපි මුලින්ම අදහස් කළේ මීට වසර හතරකට පෙරාතුවය. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වාර්ෂිකව "සිංහ" නමින් මෙම ජාතික උත්සවය ලන්ඩනයේදී සංවිධානය කළෙමු. මෙවර පැවැත්වෙන්නේ එහි 4 වැනි අදියරයි."

හීත්රෝ අතුල දස්සන බෞද්ධ විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් බොදු සැදැහැවතුන්ගේ සියලුම ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම මුලික කොට කටයුතු කරන අතර අතුරු පලයක් වශයෙන් කවදත් හෙළ සිරිතට මුල්තැන දෙමින් ලන්ඩනයේ වෙසෙන ලාංකිකයන්ට හා ඔවුන්ගේ දරුවනට හෙළ සිරිත් විරිත්, සිංහල භාෂාව, ජාතික නැටුම්, ජන ක්‍රීඩා ආදිය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් ලබාදීම සඳහා ද ගෙන කටයුතු කරයි. වාර්ෂික නිදහස් සැමරුම් උළෙලට අමතරව සිංහල අලූත් අවුරුදු උත්සවය, ලන්ඩන් එල්ලේ සැණකෙළිය වැනි උත්සව අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙය වීමෙන් සංවිධානය කෙරෙයි.

විහාරස්ථාන දායක දායිකාවන්ගේ හා දහම් පාසලේ දෙමාපියන්ගේ කැපවීම වෙහෙස මහන්සිය උත්සවයේ සාර්ථකත්වයට හේතු පාදක වූ බවද  කස්සප හිමියෝ පැවසුහ. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ලන්ඩන් ශාඛාවේ සහභාගීත්වය මෙවර උත්සවය සඳහා ලැබී ඇත. එංගලන්ත යුද හමුදා බෞද්ධ උපදේශක ආචාර්ය සුනිල් කාරියකරවන මහතා ආරාධිත දේශනය කළේය.

National_&_Cultural_Show-15[1] National_&_Cultural_Show-19[1] National_&_Cultural_Show-62[1] National_&_Cultural_Show-116[1] National_&_Cultural_Show-258[1]