ඔස්ට්‍රියාවේ බ්රුනාවූ ඈම් ඉන් හි පිහිටි ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිවස නාසිවරුන්ගේ වන්දනා භූමියක් වීම වළක්වාලමින් එම ගොඩනැගිල්ල මිලට ගැනීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දැනට විශ්‍රාමික කාන්තාවකට අයිති එම ගොඩනැගිල්ල මිලදී ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් ව්‍යර්ථ විය. එය මිලට ගැනීමෙන් අනතුරව එම ගොඩනැගිල්ලට කුමක් කරන්නේද යන්න තවමත් තීරණය කර නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට එම ගොඩනැගිල්ල මුළුමනින්ම කඩාදැමීමට අවශ්‍ය අතර රජයේ ඉහල තනතුරු දරන අනෙක් අයට එය කෞතුකාගාරයක් හෝ සාප්පු සංකීර්ණයක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වී තිබීමෙන් එම තීරණය මතබේදාත්මක ස්වරුපයක් ගෙන තිබේ.

ගොඩනැගිල්ලේ පරණ නාසි වැකි ලියා තිබෙන අතර බොහෝ පිරිස් ඒ අවට රැස්ව ඒවා කියවති.එමෙන්ම මිට පෙර අවස්ථා කිහිපයක් හේතුවෙන් එම නිවස එරට රජයට හිසරදයක් වී තිබිණි. හිට්ලර්ට ආදරය කරන නාසිවරුන් තවමත් එහි පැමිණෙන අතර එම නිවස ආශ්‍රයෙන් යම් යම් ගැටළු සහගත අවස්ථා කිහිපයක් ඇති විය.

භයානක අතීතය මතක් කරන එවන්   සිහිවටන තබා නොගනිමින් එම ගොඩනැගිල්ලෙන් යහපත් ආකාරයේ ප්‍රයෝජනයක් ගත යුතු බව එරට රජයේ බොහෝ අයගේ මතයයි.

එම නිවාසය මිලදී ගැනීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වූ පසු දේශපාලන,පරිපාලන,ශාස්ත්රාලීය සහ ප්‍රජා සමාජය නියෝජනය වන විද්වත් පුද්ගල කමිටුවක් මගින් එහි අනාගතය තීරණය කෙරෙනු ඇත.