සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම නිෂ්පාදනය කළ " සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටය ලන්ඩනයේ 18 වැනි ආසියා සිනමා උළෙල සඳහා තේරී ඇත. එහි අධ්‍යක්ෂ නුවන් ජයතිලකයි.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ සංගීතඥයකු වූ  පී.එල්.ඒ.සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි. සංස්කරණය කළේ සමන් ඇල්විටිගලයි.

 “සුළඟ අප රැගෙනයාවි” නව පරපුරේ අධ්‍යක්ෂවරයකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා අත්දැකීම වේ. එමෙන්ම මෙම නිර්මාණයට දායක වී ඇති සංගීතඥ අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ද ඇතුළු කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේද කුළුඳුල් සිනමා අත්දැකීම මෙය වීම විශේෂත්වයකි.

දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත කර ඇත.

නුවන් සිය නිර්මාණය පිළිබඳව මෙසේ කියයි.

 "ඉහවහා ගිය මහා ආශාවකින් කුහුඹුවකු පසුකළ සෑම වේදනාබර නිමේශයක්ම හෘදයාංගමව මෙනෙහි කරමි. පසුබසින්නට සිතු නුමුත් දිරියෙන් මා ඉදිරියට තල්ලු කළ දයාබර සියලු දෙනාගේ දහදිය සමඟ මේ උජාරුව මුහු කරමි.වෑයමෙන් විවර කරන අගුලු ලා ඇති මේ විසල් මන්දිර හෙට දවස දිනන ලාංකික ස්වාධීන සිනමා කරුවන්හට තෝතැන්නක් වේවායි පතමි. ඒ හුදෙක් හෙට දවසේ ලෝක සිනමාව වෙත පියතැබීම වෙනුවෙන් දහදිය හෙලන සුවහසක් අංකුර සිනමා කරුවන් මේ ඇසුරෙන් දිරි ගැන්වෙයි යන සිතුවිල්ලෙනි"

තම කුළුදුල් නිෂ්පාදනය ලන්ඩනයේ ආසියා සිනමා උළෙලට තේරීම පිළිබඳව අදහස් දක්වන නිෂ්පාදිකා මායා නවගත්තේගම මෙය නිෂ්පාදක කණ්ඩායමේ සියල්ලගේ අසාමාන්‍ය කැපවීම, වෘත්තීය දක්ෂකම සහ උනන්දුවේ ප්‍රතිඵලයක් බවත් ඒ සඳහා සම්බන්ධවූ අත හිත දුන් සියලුම දෙනාට සිය ප්‍රණාමය පුදකරන බවත් කීවාය. 

“සුළඟ අප රැගෙනයාවි” චිත්‍රපටය සඳහා සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, සේමිනී හෙන්නායක යන ළමා නළු නිළියන් සමග අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියාල් යන ප්‍රවීණ නළු නිළියෝ රංගනයෙන් දායක වෙති.

"සුළඟ අප රැගෙනයාවි” 2016 මාර්තු 9 වන බදාදා සවස 7.30 ට හැරෝ කලා මධ්‍යස්ථාන සිනමා හලේදී තිරගතවෙයි.