
දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
75 හැවිරිදි රුෂ්ඩිට කතා කිරීමට නොහැකි අතර, ඔහු වෙන්ටිලේටර් (ස්වසන) යන්ත්‍රයකට සම්බන්ධ කර ඇතැයි පැවැසෙයි. රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ රුෂ්ඩිට සැත්කමක් සිදු කළ බවය.
සල්මාන් රුෂ්ඩි, පසුගිය සිකුරාදා (12) පිහි ප්‍රහාරයකට ලක් වූයේ උදෑසන 10.45 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටිද්දීය.
පිහි ප්‍රහාරය එල්ල කළේ, දේශනයට සවන් දීමට පැමිණි පිරිස අතරේ සිටි 24 හැවිරිදි තරුණයෙකි. මුස්ලිම් සම්භවයක් සහිත මෙම තරුණයා රුෂ්ඩි දේශනය ආරම්භ කිරීමට අසුන් ගත් සැණින්, වේදිකාවට කඩා වැදී රුෂ්ඩිට පිහි ප්‍රහාරය එල්ල කළේය.
ප්‍රහාරය එල්ල කළ තරුණයා හදි මටාර් නමැත්තා බවත්, මොහු ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් අන්තවාදී අදහස් ඇත්තකු බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.
හදි මටාර් නිව් ජර්සි ප්‍රාන්තයේ ෆෙයාර්විව් නගරයේ පදිංචිකරුවෙකු බව ද පැවැසෙයි. හදි මටාර්, ඇමෙරිකාවේ උපත ලැබූවකු වන නමුත් ඔහුගේ මාපියන් ලෙබනනයේ යරූන් නමැති නගරයේ සිට ඇමෙරිකාවට ආ සංක්‍රමණිකයන්ය. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉරාන හිතවාදී සංවිධානයකි.
හදි මටාර්, 15 වතාවක් රුෂ්ඩිට පිහි ප්‍රහාර එල්ල කර ඇති අතර, රුෂ්ඩිගේ ගෙලට, උදරයට, එක් අතකට සහ ඇසකට තුවාල සිදුවිය. වෛද්‍යවරුන් පවසන්නේ, රුෂ්ඩිගේ ඇසට හානි වී ඇති බවත්, ඔහුට එම ඇස අහිමි වනු ඇති බවත්ය. උදරයට එල්ල වුණු ප්‍රහාරයෙන් අක්මාවට තුවාල සිදුවී ඇත. අතට එල්ල කළ ප්‍රහාරයෙන් අතේ නහර කැපී ඇති බව පැවැසෙයි. දේශනය මෙහෙය වූයේ හෙන්රි රීස් නමැත්තාය. ඔහුගේ හිසට ද පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඔහු ද පසුව රෝහල් ගත කෙරුණි.
රැස්ව සිටි පිරිස සහ ආරක්ෂක අංශ නිලධාරීන් හදි මටාර් වෙත කඩා පැන ඔහු මෙල්ල කර ගනිද්දී, දේශන ශාලාවේ සිටි වෛද්‍යවරයකු වහා රුෂ්ඩිට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන් බව පැවැසෙයි.
පොලිසිය පැමිණ හදි මටාර් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය ආධාරකරුවන් කණ්ඩායමක් වහා පැමිණ රුෂ්ඩිට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී ගුවන් මගින් ඔහු ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. රුෂ්ඩි රෝහලට ගෙන යෑම සිදුවූයේ හෙලිකොප්ටරයකිනි.
රුෂ්ඩි ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ හදි මටාර් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව ද පැවැසෙයි.
සල්මාන් රුෂ්ඩි, උපත ලැබුවේ ඉන්දියාවේදීය. ඒ, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවට නිදහස හිමිවීමට මාස දෙකකට පෙරය. අවුරුදු 14 දී ඔහු එංගලන්තය බලා ගියේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. ඉන්පසු රුෂ්ඩිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය. සාහිත්‍යයට නැඹුරු වූ රුෂ්ඩි ලියූ දෙවැනි නවකතාව ‘මිඩ්නයිට් චිල්ඩ්රන්’ ය. මෙම නවකතාව බුකර් සම්මානයෙන් පිම් ලැබුවේය. ඒ අනුව රුෂ්ඩි ප්‍රකට නවකතාකරුවකු බවට පත් විය.
රුෂ්ඩි මුස්ලිම් ලෝකයේ උදහසට ලක් වූයේ 1988 වසරේ ‘සැටනික් වර්ස්’ නවකතාව එළිදැවීමෙන් පසුවය. මෙම නවකතාව හරහා ඉස්ලාම් දහමටත්, මහම්මත්තුමාටත් අපහාසයක් සිදුවන බව මුස්ලිම් වැසියන්ගේ අදහසය. ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ මුස්ලිම් රටවල සැටනික් වර්ස්’ නවකතාව තහනම් කෙරුණි.
1989 වසර වනවිට රුෂ්ඩිට එරෙහිව විරෝධතා වර්ධනය වීමට පටන් ගත් අතර, ඉරානයේ තෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ගල් ප්‍රහාරයක් ද එල්ල විය.
එදා ඉරාන ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා රුහොල්ලා, රුෂ්ඩිගේ හිසට මිලක් නියම කරමින් ‘ෆට්වා’ ආඥාවක් නිකුත් කළේය. රුෂ්ඩි මරා දමන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 27 ක් දෙන බව ඉරානය පැවැසූ අතර, 2012 දී එම මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 30 ක් තෙක වැඩි කෙරුණි. 2019 දී ට්විටර් සමාගම රුෂ්ඩිගේ ට්විටර් ගිණුම අහෝසි කිරීමට ද කටයුතු කළේය. ඒ, ෆට්වා ආඥාව නීත්‍යාණුකූල වූ බැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සල්මාන් රුෂ්ඩිට බරපතළයි