සිරියානු රජයේ හමුදා විසින් වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව තුර්කි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉඩ්ලිබ් පළාතේ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇති බව තුර්කියේ හැටේ පළාතේ ආණ්ඩුකාර රහ්මි ඩෝගන් පවසයි.

"අපේ සොල්දාදුවන් තිස් තුන්දෙනෙක් ගුවන් ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස දිවි පිදුවා." යැයි ඩෝගන් මහතා සඳහන් කළේය.  

සිරියාවේ ප්‍රධාන මිලිටරි සගයා වන රුසියාව කියා සිටියේ තුර්කි හමුදා සිරියානු හමුදාවන්ට පහර දෙන විට ජිහාඩ් සටන්කරුවන් සමඟ ක්‍රියාත්මක වූ බවයි.

රුසියාව විසින් සහාය දක්වන රජයේ හමුදා තුර්කියේ පිටුබලය ලබන කැරලිකරුවන්ගෙන් ඉඩ්ලිබ් ආපසු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර කැරලිකරුවන් ප්‍රධාන නගරය වන සරකේබ් නැවත අත්පත් කර ගැනීමෙන් පසුව ගුවන් ප්‍රහාර එල්ල විය.

ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් අන්කාරාහි හදිසි ඉහළ පෙළේ ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමෙන් පසුව තුර්කි හමුදා සිරියානු රජයේ සියලු ඉලක්ක වෙත ගොඩබිම සහ ගුවන් ප්‍රහාර ආරම්භ කිරීමට පටන් ගත් බව තුර්කි සන්නිවේදන අධ්‍යක්ෂ ෆරෙටින් අල්ටුන් පැවසීය.

කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට පවසන්නේ බෙහුන් ප්‍රදේශයේ “ත්‍රස්තවාදීන්” සමඟ ක්‍රියාත්මක වෙමින් සිටියදී තුර්කි සොල්දාදුවන් “බෝම්බ ප්‍රහාරයකින්” මිය ගොස් ඇති බවයි. 

තුර්කි හමුදා එම ප්‍රදේශයේ සක්‍රීයව සිටින බව දැනුම් දී නොමැති බව රුසියාව වැඩිදුරටත් පවසයි.

 

(බීබීසි පුවත් ඇසුරිණි - 085)