නැගෙනහිර යුක්රේනයේ ඉතිරිව සිටින සියලුම සිරකරුවන් හුවමාරු කර ගැනීමට රුසියාවේ සහ යුක්රේනයේ නායකයන් අද (10) පැවති සාකච්ඡාවේදී එකඟවී තිබේ.

රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි අතර ප්‍රථම මුහුණට මුහුණ හමුව පැරිසියේදී පැවැත්වුණ අවස්ථාවේ මෙම තීරණයට එළඹ ඇත.

දෙරටේ නායකයෝ පැය නවයක කාලයක් සාකච්ඡා සඳහා ගතකළහ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් සාකච්ඡා සම්බන්ධීකරණය සිදුකරන ලදී.

නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කළාපයේ සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට ද ඉදිරි මාස හතර තුළදී එහි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ද දෙරටේ නායකයෝ එකඟවූහ.

වර්ෂ 2014 දී ආරම්භ වූ නැගෙනහිර යුක්රේනයේ ගැටුමෙන් මේ වනවිට 13000 කට අධික පිරිසක් මියගොස් තිබේ.

කෙසේ වුවද සාකච්ඡා අතරතුර දෙරටේ නායකයන් අතර සුහදත්වයක් පෙනෙන්නට නොතිබූ බව මාධ්‍ය සඳහන් කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)