පසුගිය සමයේ සයිබීරියාවේ මතුවූ මහා ආගාධයන් හා නැව් හා ගුවන්යානා අතුරදන්වන්නේයැයි කියන බර්මියුඩා ති‍්‍රකෝණය අතර සබඳතාවක් පැවතිය හැකියැයි විද්‍යාඥයෝ කියති.

සයිබීරියාවේ යමාල් හා ටයිමයිර් අර්ධද්වීපයන්ගේ මහා ආගාධයන් 3 ක් ඇතිවුනු අතර ඒවා එකක් ගැඹුරින් අඩි 70 ක් පමණ විය. ආගාධයක මුවවිට අඩි 80 ක පමණ විශ්කම්භයකින් යුතුවිය.

මෙම ආගාධ ඇතිවන්නට ඇත්තේ කෙසේදැයි පැහැදිලි කිරීමට නොයෙකුත් මතයන්ද ඉදිරිපත් විය.

මේ වන විට බොහෝ දෙනෙකු පිළිගන්නා මතයක් බවට පත්ව ඇත්තේ පොළව යට ගෑස් පිපිරීමක් සිදුවී මෙම ආගාධයන් ඇතිවන්නට ඇතැයි යන්න වන අතර එම සංසිද්ධිය බර්මියුඩා ති‍්‍රකෝණය වෙත ඈදා ගැනීමට දැන් විද්‍යාඥයෝ සැරසෙති.

පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් කුට්ටි වල ගෑස් අණු සිරවී පවතින බවත් මෙම අයිස් කුට්ටි දියවීමේදී මෙම ගෑස් අණු නිදහස් වන බවත් ආවාට ඇතිවීම පැහැදිලි කිරීම සදහා ඉදිරිපත්ව ඇති ගෑස් පිපිරීමේ මතයෙන් කියැවේ.

මෙසේ නැවත නැවත ගෑස් අණු නිදහස්වී එක් අවස්ථාවකදී පුපුරායෑමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම මහා ආගාධයන් උද්ගතවී තිබෙන බව එයින් පැවසේ.

පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් දියවන්නට ඇත්තේ කෙසේදැයි පැනයටත් පිළිතුරක් දී තිබෙන මෙම මතය ඉදිරිපත් කළ විද්‍යාඥයෝ පවසන්නේ පසුගිය සමයේ සයිබීරියාවේ තිබූ උණුසුම් කාලගුණය ඊට හේතුව බවයි.

මෙය නැව් හා ගුවන්යානා අතුරුදන්වන කලාපයක් ලෙස සැළකෙන උතුරු අත්ලන්තික සයුරේ බර්මියුඩා ති‍්‍රකෝණ කලාපයේ සිදුවීම් පැහැදිලි කිරීම සඳහාද යොදාගත හැකි යැයි ඇතැම් විද්‍යාඥයින්ගේ අදහසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම කලාපයේ මුහුදු පතුලේ මෙසේ ගෑස් පිපිරීම් සිදුවන්නේ යැයි සිතුවහොත් ගෑස් බුබුලූ ජලයට එක්වන නිසා ජලයේ ඝණත්වය පහළ ගොස් එය මතින් ගමන්ගන්නා නෞකාවක් ගිලී යෑමේ අවදානමක් ඇති වන බවයි.

අනෙක් අතට ගෑස් පිපිරීම් සිදුවී වායූන් ඉහළ වායුගෝලයට එකතුවීම නිසා වායුගෝලයේ ඝණත්වයද වෙනස්වී ගුවන්යානා පියාසර කරවීමේ ගැටලූද ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි.

කෙසේනමුත් බර්මියුඩා ති‍්‍රකෝණයේ ඔය කියන ආකාරයේ නැව් අතුරුදන්වීමක්වත් ගුවන්යානා විනාශ වීමක්වත් සිදුනොවන බව අවධාරණය කර සිටින විද්‍යාඥයෝද වෙති.

ඔවුන් පවසන්නේ එම කලාපයේ අතුරුදන්වන හො විනාශ වන හෝ නැව් හා ගුවන්යානා ප‍්‍රමාණයත් ලොව වෙනත් ප‍්‍රදේශයක විනාශ වන ප‍්‍රමාණයත් අතර වෙනසක් නොමැති බවයි. ක්ෂණිකව සිදුවන කාලගුණ විපර්යාස, ගමන් මාර්ගය තීරණය කිරීමේදී ගන්නා අයහපත් තීන්දු තීරණ මේ කලාපයේ නැව් හා ගුවන්යානා විනාශ වීම කෙරෙහි බලපා ඇති කරුණු වන්නේයැයි ඔවුන් කියයි.

නමුත් ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය පවසන්නේ එම කරුණු වලට වඩා වැඩි යමක් මේ කලාපයේ ඇති බවයි. සයිබීරියාවේ මහා ආවාටයන් මේ අභිරහස පැහැදිලි කරදෙන බවක් පෙනෙන හෙයින් මේ පිළිඹද වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුව ඇතැයි ඔවුන්ගේ මතයයි.

1412940156731_wps_9_YAMAL_CRATER_1_Siberian_s 1412940248821_wps_10_YAMAL_CRATER_edge_of_the_