සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව පුරා රටවල් 60ක පමණ සමාගම් රැසක පරිගණක පද්ධති අඩපණ වී ඇතැයි වාර්තා වේ.
සයිබර් ප්‍රහාරයට යොදාගත් වයිරසය හේතුවෙන් මුම්බායි සිට ලොස් ඇන්ජලීස් දක්වා වරාය කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ චොක්ලට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද වසා දැමීමට සිදුව තිබේ.
මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරය සහ ඉකුත් මැයි මාසයේදී “වෝනාක්‍රයි” නමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයත් නිසා සිදු වූ මුළු ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් යැයි සයිබර් ප්‍රහාර සහ එහි ආර්ථික පාඩුව විශ්ලේෂණය කරන ආයතනයක් වන “සියෙන්ස්” ආයතනය පෙන්වාදෙයි.
සයිබර් ප්‍රහාරවල වර්ධනයක් සිදු ව ඇතැයි ද මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් ඉතා වැදගත් පරිගණක පද්ධති ජාල තාවකාලිකව බැහැර වෙන බව ද එම සමාගම පෙන්වාදෙයි.
“පද්ධති බිඳ වැටුණාම සමාගම්වලට ආදායම් ජනනය කරන්න බැහැ. එය විශාල ප්‍රශ්නයක්” යැයි ආරක්ෂක මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ‘ක්‍රවුඞ්ස්ට්‍රයික්’ සමාගමේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් කර්ට්ස් මහතා පැවැසීය.
සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම වැඩි වීම නිසා කඩිනමින් ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි පද්ධති සහ ජාලවල ඉතා හොඳ ආරක්ෂාවක් ලබාදීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
‘ගෝල්ඩන්අයි’ හෝ ‘පෙත්ය’ යන නම්වලින් හඳුන්වන මෙම වයිරසය ව්‍යාපත්වීම ආරම්භ වූයේ අඟහරුවාදා (27) ය. යුක්රේනයෙන් ආරම්භ වූ මෙම වයිරසය එරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකට මෙන්ම රාජ්‍ය ආයතනවලට ද බලපෑවේය.
ඩෙන්මාර්කයේ නාවික කටයුතු සම්බන්ධ සමාගමක් වන ‘ඒ.පී. මොලර්-මාර්ස්ක්’ සමාගමේ නෞභාර සටහන් පද්ධතියේ වැඩ කටයුතු නවතා දැමීමට සිදු වූ අතර ඒ හේතුවෙන් එම සමාගම හා සම්බන්ධ වරායවල් 76ක කටයුතුවලට බාධා එල්ල විය.
පද්ධති ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නම් ඩොලර් 300ක මුදලක් අවශ්‍ය බව සඳහන් කරමින් පණිවිඩයක් ද එවා ඇති අතර එය පසුගිය මැයි මාසයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයට සමාන බව ද පැවසේ.
යුක්රේනයේ කිව් නුවර ගුවන්තොටුපොළ, මහ බැංකුව සහ එරට බලශක්ති අමත්‍යාංශය ද සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වු බව වාර්තා විය. ඊට අමතරව ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර භාණ්ඩ සැකැසුම් කන්ටේනර් අංගනවල කටයුතු පවා සයිබර් ප්‍රහාරය හේතුවෙන් අඩපණ විය.
සයිබර් ප්‍රහාරය සඳහා භාවිත කර තිබෙන වයිරසය ඉතා ශක්තිමත් වයිරසයක් යැයි ද නැති වූ දත්ත නැවත ආපසු ගැනීමට නොහැකි යැයි ද ඔවුහු පෙන්වාදෙති.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්‍රහාර ව්‍යාප්ත වෙන්නේ ගොඩක්ම පරිශීලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා.