සිම්බාබ්වේහි හරාරේ අගනුවර ජාතික වීරයන් සඳහා වෙන් කරන ලද ස්මාරක පිහිටි සොහොන් භූමියක එරට හිටපු පාලක රොබට් මුගාබේගේ සිරුර භූමදානය කිරීමට පවුලේ සාමාජිකයෝ අද (13) එකඟත්වය පළ කළහ.

නිදහස් සිම්බාබ්වේ පළමු රාජ්‍ය නායකයා වූ රොබට් මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 95 වැනි පසු වූ රොබට් මුගාබේ එක් අවස්ථාවකදී අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කිරීමට නායකත්වය දුන් ගරිල්ලා වීරයා ලෙස ජනතාව අතර ප්‍රසාදයට පත්විය.

එහෙත් ඔහුගේ 37 වසරක පාලනය අවසන් වනවිට ඔහු ඒකාධිපතියකු යැයි බොහෝ පාර්ශවවල චෝදනාවට ලක්විය. 2017 වසරේදී එරට සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේ බලයෙන් පහ කෙරුණි.

රොබට් මුගාබේගේ සිරුර බදාදා (11) සිම්බාබ්වේ වෙත රැගෙන ආ අතර ඔහුගේ සිරුර භූමදානය කිරීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සහ ජනාධිපති එමර්සන් මුනගැග්වා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

ජනාධිපති එමර්සන් මුනගැග්වා වසර ගණනාවක් රොබට් මුගාබේගේ සමීපතමයකු සහ ආධාරකරුවකු ලෙස කටයුතු කළ නමුත් අවසාන මොහොතේදී ඔහුට විරුද්ධ විය.

හරාරේ නුවර පිහිටි ජාතික වීරයන්ගේ ස්මාරක පිහිටි භූමියේ රොබට් මුගාබේගේ දේහය භූමදානය කිරීමට පවුලේ සාමාජිකයන් එකඟ වුණා යැයි රොබට් මුගාබේගේ බෑනා කෙනකු වන ලියෝ මුගාබේ පැවැසීය.

මුගාබේ පවුලේ ප්‍රධානීන් එම තීරණය ගත් බව ද පෞද්ගලික අවමංගල්‍ය උත්සවයක් වෙනමම පැවැත්වෙන බව ද හෙතෙම කීය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා යන රාජ්‍ය නායකයන් ද රොබට් මුගාබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත යැයි වාර්තා විය.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055