සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවට දොර විවෘතව ඇතැයි තලෙයිබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ සාමය සඳහා එකම මාර්ගය සාකච්ඡා පැවැත්වීම බව විදෙස් මාධ්‍යයක විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ ප්‍රකාශකවරයෙකු වන ෂර් මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි පැවසීය.

තලෙයිබාන් සංවිධානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා මියගිය බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුව තලෙයිබාන් සංවිධානයේ මෙම අදහස ප්‍රකාශයට පත්විය.

වසර 18 ක් පුරා පැවති ගැටුම් අවසන් කරමින් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවය සාමය වෙත ප්‍රවිශ්ටවීමේ ලකුණු මෙම මස මුලදී දක්නට ලැබුණි.

කෙසේ වෙතත් පසුගිය 6 වැනිදා තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු සොල්දාදුවෙකු ඇතුළු 11 දෙනෙකු මරණයට පත්වීම හේතුවෙන් අමෙරිකාව සාම සාකච්ඡා වෑයම අත්හැර දැමුවේය.

-226-

 

(බීබීසී ඇසුරෙනි)