IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ස්පේස් එක්ස් කක්ෂීය යානය ගමන් අරඹයි

අභ්‍යවකාශ සවාරි වාණිජකරණය කරමින්, අතමිටසරු ඕනෑම කෙනකුට අභ්‍යවකාශයට යෑමට ඉඩ සලසා දෙමින්, ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම ඔවුන්ගේ පළමු සිවිල් අභ්‍යවකාශ සංචාරය ඊයේ (15) සවස ආරම්භ කළේය.

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමය. මෙම සීමාව ඇත්තේ කි.මී. 100 ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. කෙසේ නමුත්, ස්පේස් එක්ස් සමාගමේ ගගන කැප්සියුලය ගගන සංචාරකයන් රැගෙන මෙම සීමාව පසු කර පෘථිවි කක්ෂයේ වැඩි දුරකට ගමන් කරයි. එය අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇති සීමාව පසු කර ඉහළට යෑම සිදුවෙයි.

මීට පෙර සිදුවුණු අභ්‍යවකාශ සංචාර මෙන් නොව, ස්පේස් එක්ස් සමාගමේ අභ්‍යවකාශ සංචාරය සුවිශේෂී එකක් වන්නේ ඊට දින තුනක් ගතවීමය. ගගනගාමී සංචාරකයන් රැගත් ස්පේස් එක්ස් කැප්සියුල පෘථිවි කක්ෂයට පිවිසීමෙන් අනතුරුව එය පෘථිවිය වටා ගමන් කරයි. ඒ අනුව, පහළින් ඇති පෘථිවිය නරඹමින්, ඇති තරම් ශුන්‍ය ගුරුත්වයේ පා වෙමින් ඒ අපූරු අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදා වෙයි.

සංචාරයේ අවසන් දිනය වෙද්දී, කැප්සියුලයේ ඇන්ජින් පණ ගැන්වීමක් සිදුවන අතර, එය යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙයි. යෝධ පැරෂූට් දිග හැරී, වේගය අඩාල වන අතර කැප්සියුලය පතිත වන්නේ ෆ්ලොරීඩාවට ඔබ්බෙන් සාගරයටය. ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටින අතර ගගනගාමීන් පමණක් නොව නැවැත නැවත භාවිතයට කැප්සියුලය ද ගොඩබිමට රැගෙන ඒම සිදුවෙයි.

ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම, ඇමෙරිකාවෙන් නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන අතර, මේවනවිටත් නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ රඳවා ඇති අභ්‍යවකාශ නැමැතුම්පොළට රැගෙන යෑම සිදුවන්නේ 'ස්පේස් එක්ස් ෆෝල්කන් 9' රොකට්ටුවෙන් සහ 'ඩ්‍රැගන් රිසිලියන්ස්' නමැති ගගන කැප්සියුලයෙනි. ගගන සංචාරකයන් අභ්‍යවකාශයට රැගෙන යෑම සහ ආපසු ගෙන ඒම සිදුවන්නේ 'ස්පේස් එක්ස් ෆෝල්කන් 9' රොකට්ටුව සහ 'ඩ්‍රැගන් රිසිලියන්ස්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි.

'ස්පේස් එක්ස්' සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමේ මෙම මෙහෙයුම නම් කෙරුණේ 'ඉන්ස්පිරේෂන් 4' යනුවෙනි. ඊට සිවුදෙනෙක් එක්වූහ. රොකට්ටුව සහ ඊට සම්බන්ධ කළ කැප්සියුලය ගුවන්ගත වීමට නියමිතව තිබුණේ ෆ්ලොරීඩා හි බ්‍රෙවාඩ් ප්‍රාන්තයේ, නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.ෙ

ස්පේස් එක්ස් සමාගමේ 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුම 'ෂිෆ්ට් 4' නමැති සමාගමේ හිමිකරු මෙන්ම තවත් බිලියනපතියකු ද වන කළේ 38 හැවිරිදි ජාරෙඩ් අයිසෙක්මන්ගේ සංකල්පයකට අනුව සිදුවන්නකි.

ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධානී ඉලොන් මස්ක් සහ අයිසෙක්මන් පළමු ගගන සංචාරය ආරම්භ කරන්නේ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වීම විශේෂත්වයකි. 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට සම්බන්ධ වන සෙසු තිදෙනා තෝරා ගැනීම කළේ අයිසෙක්මන්ගේ කැමැත්ත පරිදි යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අයිසෙක්මන් අභ්‍යවකාශ සංචාරයට ඇරැඹීමට තීරණය කළේ, ටෙනිසි ජනපදයේ මෙම්පිස් හි ශාන්ත ජූඩ් රෝහල වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට සඳහාය. ශාන්ත ජූඩ් යනු පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන රෝහලකි. රෝහල නියෝජනය කරමින් ගගන සංචාරයට කෙනකු යෝජනා කරන්නැයි අයිසෙක්මන්, ශාන්ත ජූඩ් රෝහලේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළ අතර, ප්‍රධානීන් ඒ සඳහා යෝජනා කළේ 29 හැවිරිදි හෙයිලී ආසනෝව් ය.

හෙයිලී ආසනෝව්, කුඩා කාලයේ අස්ථි පිළිකාවකින් පීඩා වින්දාය. ඇය ශාන්ත ජූඩ් රෝහලෙන් ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු දැන් වෛද්‍ය සහායිකාවක ලෙස එම රෝහලේ රැකියාව කරයි. පිළිකා තත්ත්වය නිසා වෛද්‍යවරුන් හෙයිලිගේ එක් පාදයක දණහිසට ඉහළින් අස්ථි ඉවත් කර ලෝහමය කෘත්‍රිම අස්ථියක් සවි කර තිබේ.

හෙයිලී ආසනෝව්, 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට එක් වන්නේ කණ්ඩායමේ වෛද්‍ය නිලධාරිනිය ලෙසය. ඊට අමතරව සිරුරේ කෘත්‍රිම කොටසක් බද්ධ කළ අභ්‍යවකාශයට යන පළමු පුද්ගලයා වන්නේ ද ඇයයි. 'මා කුඩා කාලයේ සිහින මැව්වා ගගනගාමියකු වෙන්න. ඒත් පිළිකා රෝගයෙන් පීඩා විඳි නිසා අවුරුදු 18 වෙනකල් මගේ සිහින සැබෑ කර ගන්න ලැබුණේ නැහැ. මං ජීවිතේ හුඟක් වේදනා විඳි කෙනෙක්. නාසා ආයතනය මං වගේ කෙනෙකු කිසිම අවස්ථාවක ගගනගාමියකු ලෙස තෝරා ගන්නේ නැහැ. ඒත් ස්පේස් එක්ස් හරහා මට ඒ අවස්ථාව උදා වුණා. දැන් ඕනෑම කෙනකුට සල්ලි තිබෙනවා නම් අභ්‍යවකාශයට යන්න එන්න පුළුවන්' යැයි හෙයිලි පවසා තිබේ.

හෙයිලී, 'නෙට්ෆ්ලික්ස්' සමාගම සමඟ සම්බන්ධ වී ඇගේ අත්දැක්ම් සියල්ල රූගත කරන අතර, ඒවා ඇසුරින් වාර්තාමය වැඩසටහන් මාලාවක් නිර්මාණය කරයි. එය ඉදිරියේ දී තිරගත වනු ඇත.

හෙයිලි ආසනෝව් සමඟ අභ්‍යවකාශ සවාරියට එක් වන අනෙක් දෙදෙනා වෙනුවෙන් ද බර පැන දරන්නේ අයිසෙක්මන්ය. අනෙක් ගගන සංචාරකයන් දෙදෙනා තෝරා ගැනීම සිදුවූයේ ද ශාන්ත ජූඩ් රෝහල හරහා සමාජ මාධ්‍ය ජාල සමඟ සම්බන්ධ වෙමිනි.

අනෙක් සංචාරකයන් දෙදෙනාගෙන් එක් කෙනකු වන්නේ භූගෝල විද්‍යාඥයකු මෙන්ම අධ්‍යාපනඥයකු ද වන 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර්ය. කළු ජාතික කාන්තාවක වන මැය පෘථිවි කක්ෂයට යන සිවුවැනි කළු ජාතික කාන්තාව වනු ඇතැයි පැවැසෙයි. අනෙක් තැනැත්තා 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී ය. මොහු ලොකීඩ් මාර්ටින් ගුවන් යානා නිෂ්පාදන සමාගමේ සේවකයෙකි. මොහු කලක් ඇලබාමා ස්පේස් කැම්ප් අධ්‍යාපන කඳවුරේ උපදේශකයකු ලෙස කටයුතු කර ඇතැයි පැවැසෙයි.

ශාන්ත ජූඩ් රෝහලේ සිදු කළ දිනුම් ඇදීමකින් ගගන සංචාරය සඳහා ස්පේස් එක්ස් කැප්සියුලයේ අසුනක් දිනා ගැනීමට සමත් වූයේ ක්‍රිස් සෙම්බ්‍රොකීගේ මිතුරෙකි. කෙසේ නමුත් එම මිතුරා ගමනට අදිමදි කළ බැවින්, ඔහු එම අවස්ථාව ක්‍රිස් ට ලබා දී තිබේ. ගගනගාමීන් නොවන නමුත්, කෙටි කාලීන පුහුණුවකින් පමණක් ගගනගාමීන් බවට පත් වී, පෘථිවි කක්ෂයට ගිය මෙම සිවුදෙනාගේ 'සවාරිය' අවසන් වී ඔවුන් යළි පෘථිවියට පැමිණෙනු ඇත්තේ ලබන 19 වැනිදාය.

දැනටමත් අභ්‍යවකාශ ගමන් බිමන් පෞද්ගලිකකරණයටත්, වාණිජකරණයටත් ලක් වී තිබේ. පළමුවෙන් සිවිල් වැසියන් අභ්‍යවකාශ සංචාරයකට එක් කර ගැනීම සිදුවූයේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති රිචඩ් බ්‍රැන්සන්ගේ 'වර්ජින් ගැලැක්ටික්' සමාගමය. බ්‍රැන්සන්, බ්‍රිතාන්‍ය ඇමෙරිකන් ව්‍යාපාරිකයකු වන අතර, වර්ජින් ගැලැක්ටික් සමාගමේ එම පළමු ගගන සංචාරයට ඔහු ද එක්විය. එම ගගන සංචාරය සිදුවූයේ ජූලි 11 වැනිදා ය.

ඉන්පසු ජූලි 20 වැනිදා, ඇමෙරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්, ඔහුගේ 'බ්ලූ ඔරිජින්' සමාගම නිපදවා ඇති රොකට්ටුවෙන් සහ ගගන කැප්සියුලයේ ආධාරයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියේය. එම ගමනට බෙසෝස්ගේ සොයුරාත්, ගගනගාමිනියක ලෙස අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබුණු 82 හැවිරිදි වොලි ෆන්ක් ද එක් කර ගැනුණි. ඒ අනුව, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණි වයස්ගතම තැනැත්තිය ඇය විය.

ඊට අමතරව බෙසෝස් සමඟ එම ගමනට 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නමැති ඔහු නෙදර්ලන්ත ජාතික කෝටිපති තරුණයකු ද එක් විය. අභ්‍යවකාශය බලා ගිය ළාබාලතම තැනැත්තා බවට ඔහු පත් විය. ස්පේස් එක්ස් ගගන සංචාර මෙන් නොව, 'වර්ජින් ගැලැක්ටික්' සමාගමේ සහ 'බ්ලූ ඔරිජින්' සමාගමේ ගගන සංචාර මිනිත්තු කීපයකට සීමා වෙයි. දින දෙකක් වැනි කෙටි කාලයක පුහුණුවකින් පසු අභ්‍යවකාශය බලා යෑමට හැකියාව ලැබේ.

(රොයිටර්)



අදහස් (0)

ස්පේස් එක්ස් කක්ෂීය යානය ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site