සෞදි අරාබිය නූතනත්වයට පත් කිරීමට අවශ්‍ය වන්නේ ‘මැදිහත් ඉස්ලාම්’ දහම යැයි එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් ප්‍රකාශ කර තිබේ.
 
ගල්ෆ් කලාපයේ රාජධානිය වන සෞදි අරාබියෙන් අන්තවාදය කඩිනමින් තුරන් කරන බව ද ඔටුන්න හිමි කුමරු පැවැසීය.  රියාද් නුවර පැවැති ආර්ථික ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඔටුන්න හිමි කුමරු මෙම කරුණු කීය.
 
 “සෞදි ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් වයස අවුරුදු 30ට අඩුයි. අපට අවශ්‍ය වන්නේ ඉවසීම සහිත අපේ මැදිහත් ඉස්ලාම් දහම” යැයි ද සෞදි රාජධානියේ ඔටුන්න හිමි කීය.
 
සෞදි රජ පවුල හා එරට ආගමික පද්ධතිය සුන්නි ඉස්ලාම් දහමේ අන්තවාදී එසේත් නැතිනම් තද හා උග්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරන අතර එය වහාබිවාදය යනුවෙන් හඳුන්වයි. සෞදිය තුළ ඉස්ලාමීය ආචාර ධර්ම තදින් ක්‍රියාත්මක වන අතර හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදියට පවා එය ක්‍රියාත්මක වේ. තෙල් සම්පතින් පොහොසත් රටක් වන සෞදියට ‘දැක්ම 2030’ නමින් සමාජ ආර්ථික වෙනස්කම් රැසක් සහිත පුළුල් සැලසුමක් හඳුන්වාදීමට සෞදියේ ඔටුන්න හිමි කුමරු පසුගිය වසරේදී කටයුතු කළේය.
 
එම ප්‍රතිසංස්කරණවල කොටසක් සෞදි රාජ්‍යට අයත් තෙල් සමාගම පෞද්ගලීකරණය කළ යුතු බව ද 32 හැවිරිදි ඔටුන්න හිමි කුමරු පවසා තිබේ.

සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබා දෙන බව සෞදියේ සල්මාන් රජු පසුගිය සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේය. ඊට දීර්ඝ කාලයක් තිස්සේ ආගමික ප්‍රජාවගෙන් විරෝධය එල්ල විය. එම විරෝධතා නොතකමින් අදාළ තීන්දුව ගැනීමට සල්මාන් රජු කටයුතු කළේය.විනෝදාස්වාද ක්ෂේත්‍රය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන සෞදි ආණ්ඩුව සිනමාශාලා ඉදි කිරීම, ප්‍රසංග පැවැත්වීම සම්බන්ධයෙන් ද සලකා බලා තිබේ.
 
“අපිට ආයෝජන ප්‍රජාව නැවත සෞදියට ගෙන්වා ගත යුතුයි. අපි හිටපු තත්ත්වයට පත්විය යුතුයි. මැදිහත් ඉස්ලාම් දහම ඕනෑම ආගමකට විවෘතයි. සෞදිය සෑම ආගමකට විවෘත කළ යුතුයි. ලෝකයේ සෑම ජනතාවකට සෞදිය විවෘත කළ යුතුයි. සෞදිය සෑම සම්ප්‍රදායකටම විවෘතයි. අපි එය කළ යුතුයි. මැදිහත් ඉස්ලාම් දහම ඉවසීම හා කරුණාව ගැන කියා දී තිබෙනවා. ඒ නිසා නූතන සෞදියට අවශ්‍ය වන්නේ මැදිහත් ඉස්ලාම් දහම” යැදි සෞදි රාජධානියේ ඔටුන්න හිමි  මොහොමෙද් බින් සල්මාන් වැඩිදුරටත් කීවේය.