නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

විහාරාධිපති පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කළ මේ කටයුතු අධීක්ෂණයට සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී. 

අලුත්වැඩියා කිරීම සඳහා සුදුසු පාසල් සහ නිවාස කිහිපයක් සුමන හිමියන් නේපාලයේදී තෝරාගෙන ඇති අතර ඒවායේ පිළිසකර කිරීම්  දැනටමත් ආරම්භ කර ඇති බවද පියදස්සී හිමියෝ ලංකාදීප එසැණ පුවත් වෙත පැවසුහ. 

මෙම වැඩකටයුතු සඳහා ආධාර එකතු කිරීමේ වැඩසටහන්  කින්ස්බරි විහාරස්ථානය වටා පිහිටි සුපිරි වෙළඳසැල් සංකීර්ණයන් කිහිපයකදී ක්‍රියාත්මක විය.

සද්ධාතිස්ස විහාරස්ථානයේ සැදැහැවතුන් පිරිසක් මේ සඳහා ස්වේච්චාවෙන් සහායවු බවත් ආධාර එකතු කිරීමේදී ලන්ඩනයේ පදිංචි නේපාල ජාතිකයින්ගෙන්ද විශාල දායකත්වයක් සහ සහයෝගයක් ලැබුණ බවත් ආධාර එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කළ ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය.

නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සිහිපත් කර කින්ස්බරි විහාරස්ථානයේ විශේෂ ආගමික වතාවත් පැවැත්විණි. ඒ සඳහා සහභගී වූ බොහෝ දෙනෙක්ද නේපාල අරමුදලට මුල්‍යමය වශයෙන් ආධාර දුන්හ.

සද්ධාතිස්ස විහාරස්ථානය සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ගායන ශිල්පී නිලන්ත සිරි පතිරණ සහභාගිවූ සංගීත ප්‍රසංග කිහිපයක්ද නේපාල අරමුදලට ආධාර ලැබිණි

බලාපොරොත්තු නොවූ තරමේ ආධාර මුදලක් එකතු කරගැනීමට හැකිවූ බවත් ඒ සියලුම මුදල් නේපාලයේ පාසල් සහ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පමණක් යොදාගන්නා බවත් කිසිම මුදලක් වෙනත් කටයුත්තක් සඳහා වියදම් නොකිරීමට වගබලා ගන්නා බවත් ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය. 

සුමන හිමියන් නේපාලයට ගොස් ඇත්තේත්  එහිදී උන්වහන්සේගේ අවශ්‍යතා ඉටු කරගන්නේත් සුමන හිමියන්ගේ පෞද්ගලික වියදමින් බවද නේපාලයේදී උන්වහන්සේගේ වැඩකටයුතු සඳහා පවුලේ අය මෙන්ම නෑදෑ හිතමිත්‍රාදීන්ගේ උදව් ලබාගන්නා බවත් අරමුදලේ සල්ලි සුමන හිමියන් භාවිතා නොකරන බවද  ඔහු පැවසීය.

10955290_10152985209058752_605318942038786270_o 11174349_10152974428738752_2485298991990834956_o 11217751_10152985209788752_5476715399009355169_o 11312588_10153000278378752_8611023890674841084_o