සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ ආයෝජන සමුළුව වෙනුවෙන් පවත්වාගෙන ගිය වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝක්ජිගේ ඝාතනයට විරෝධය පළ කරමින් එම හැකර් ප්‍රහාරය එල්ල කර ඇත.‘හැකර්කරුවන්’ අනවසරයෙන් එම වෙබ් අඩවියට පිවිස සෞදියේ ඔටුන්න හිමි කුමරු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිසා ගසා දමන ඝාතකයකු ලෙස පෙනෙන අයුරින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් ද වෙබ් අඩවියේ පළ කර ඇත. සල්මාන් කුමරු මාධ්‍යවේදී ජමාල්ගේ හිස ගසා දමන්නට සැරසෙන අයුරු ඡායාරූපයේ දැක්වේ.

‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ අද (23) ආරම්භ වීමට නියමිතව තිබිණි. එහෙත් මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතනයත් සමඟ සමුළුව කල් දැමීමට සෞදි බලධාරීහු තීරණය කළහ.

ගෝලීය වශයෙන් සෞදියට එල්ල වූ දැඩි පීඩනයත් සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි රාජ්‍ය නායකයන්, මුදල් අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, ලෝ ප්‍රකට සමාගම්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සමාගම් ඊට සහභාගී නොවන ප්‍රකාශ කිරීමත් සමඟ සෞදියට එලෙස ආයෝජන සමුළුව කල් දැමීමට සිදුවිය.

055