ආන්දෝලනයට තුඩු දුන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර දැමීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය කටයුතු කරන ලකුණු පෙනෙන්නට තිබේ.

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මන්නාරම් බොක්ක,පාක් සමුද්‍ර සන්ධිය, හා බෙංගාල බොක්ක යන ප‍්‍රදේශයන් යා කරමින් නාවික ගමන් මාර්ගයක් ඇති කිරීමට සකස් කෙරුණකි.

2004 වසරේ එවක පැවැති කොංග‍්‍රස් රජයෙන් ඉදිරිපත් කෙරුණු මෙම ව්‍යාපෘතියට ශී‍්‍ර ලංකාව දැඩි විරෝධය පළ කළේය.ගමන් මාර්ගය ඉදිකළහොත් සිදුවන පරිසර විනාශය මෙන්ම ආගමික වශයෙන් වැදගත් වන ස්ථානයන් විනාශය ඒ සදහා ප‍්‍රධාන හේතු විය.මේ ආකාරයේම විරෝධයක් ඉන්දියාවෙන්ද නැගුණු අතර ඒවා පසුපස සිටියේ හින්දු භක්තිකයින්ය.නාවික ගමන් මාර්ගය ඉදිකළහොත් පාක් සමුද්‍ර සන්ධියේ විසිර පවතින ‘‘ආදම්ගේ පාලම‘‘ නැතහොත් ‘‘රාම් සේතු‘‘ නම් වන වැලි තීරය විනාශ වන බවත් වැලි තීරය පිහිටුවා ඇත්තේ රාමා යැයි විශ්වාස කෙරෙන හෙයින් ඒවාට ඉහළ ආගමික වටිනාකමක් ඇති බවත් ඔවුහු පවසන්නට යෙදුණි.

රාමායණයේ සදහන් පරිදි රාමා ඉන්දියාවේ සිට ශී‍්‍රලංකාවට පැමිණීම සදහා තැනූ පාලමේ අද දිනයේ ඉතිරිව ඇත්තේ මෙම වැලි තීරය බව හින්දු ජාතිකයෝ විශ්වාස කරති.

කොංග‍්‍රස් රජය මෙම විරෝධතා ගැන වැඩි සැළැකිල්ලක් දැක්වූයේ නැතත් භක්තිමත් හින්දු ආගමිකයෙකු ලෙස සැළැකෙන නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ව්‍යාපෘතියේ ඇති සංවේදීභාවය ගැන වැඩි සැළකිල්ලක් දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට එරෙහිව නැගෙන චෝදනා විභාග කිරීම ආරම්භ වූ අතර එහිදී මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන බව ශී‍්‍ර ලංකාව ස්ථීර ලෙසම ප‍්‍රකාශ කර සිටියේය.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් දෙරටේ රජයන් තවමත් ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා නැත.

ඬේලි මිරර් ඇසුරිනි.