අල්ලස්, දූෂණ සහ විදේශ මුදල් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරු වූ සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇත.

75හැවිරිදි බෂීර්ගේ වයස හේතුවෙන් ඔහු බන්ධනාගාරයකට නොයවා ප්‍රතිසංසකරණ මධ්‍යස්ථානයකට යවන බව විනිසුරුවරයා පැවසීය.

බෂීර්ගේ නිවසේ තිබී සොයාගත් යූරෝ මිලියන ගණනක් සහ සුඩාන පවුම් රාජසන්තක කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

සුඩානයේ ඩාර්ෆූර් කලාපයේ යුද අපරාධ සහ ජන සංහාර යන චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ද බෂීර්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ.

සාම්ප්‍රදායික සුදු වස්ත්‍ර හා හිස් වැස්මක් පැළඳ සිටි බෂීර්, විනිසුරුවරයා තීන්දුව කියවන විට විත්ති කූඩුවේ සිට නිහඬව බලා සිටියේය.

හිටපු ජනපති බෂීර්ට එරෙහිව සුඩාන අධිකරණයේ  තවත් නඩු කිහිපයක් ආරම්භ කර තිබේ.

ඔමාර් බෂීර්ගේ දශක තුනක පාලනයට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති වීථි විරෝධතා වලින් පසුව පසුගිය අප්‍රේල් මාසයේදි ඔහුව නෙරපා හරින ලදී.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)