සුඩානයේ ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව එරට අගනුවර වන කාර්ටොවුම් පවත්වන ලද විරෝධතා පෙළපාළියක රජයේ හමුදා විසින් වෙඩිතැබීම හේතුවෙන් දෙදෙනකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
මේ වනවිට විරෝධතාවයට සති පහක් ගතවී ඇති අතර තවත් නගර හයක විරෝධතා පැවැත්වෙන බව සඳහන් වේ.
 
විරෝධතාවය අතරතුර මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 24ක් බව රජය පවසන නමුත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බවයි.
 
ඉහළ යන ජීවන වියදම ඉලක්ක කරගෙන විරෝධතාවයන් ආරම්භ වූ අතර පසුව එය ජනාධිපතිවරයාගේ අවුරුදු 30ක පාලනයට එරෙහිව නැගී සිටීමක් දක්වා වර්ධනය විය.
 
විරෝධතාවයේ යෙදුණු 816 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)