සුඩානයේ බටහිර ඩාර්ෆූර්හි අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 24දෙනකු පමණ මියගොස්  17දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර සාම සාධක හමුදාව පවසයි.

අරාබි ගෝත්‍රික පිරිසක් අවතැන් කඳවුරට පැමිණ වෙඩි තබා ඝාතනය කළ බවත් කඳවුරට ගිනි තැබූ බවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ප්‍රකාශක අෂ්රෆ් අයිසා පැවසීය. 

ඔවුහු අසල පිහිටි රෝහලට කඩා වැදී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කර ලේ බැංකුව ද විනාශ කර ඇත.

කඳවුරේ සිටි බොහෝ පුද්ගලයින් ආසන්න කඳුකරයට පලා ගොස් තිබේ.

ප්‍රචණ්ඩත්වය අවට ප්‍රදේශයට ද පැතිරී ඇති බවත් අවම වශයෙන් ගම් 10ක් පුළුස්සා ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවද බලධාරීහු පවසති.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)