දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙරිකා කිමිදුම්කාරියක ඒවා අන්තර්ජාලයට එක්කැර ඇත.
මේ ඡායාරූපවලින් හෙළි වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සිට මේ දක්වාම මුහුදු පත්ලේ නොකැළැල්ව පැවති ටොන් 191,000ක නාවුක යුද කදවුරකි. පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාව ආසන්නේය පිලිපීන් දූපත් සමූහයේ පිහිටි කොරල්පරවලින් වටවූ අභ්‍යන්තර කලපුවක් සහිත චූක් දිවයින වර්තමානයේ මයික්‍රොසීනියාවට අයත් ස්වාධීන රාජ්‍යයකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය මේ දූපතේ පවත්වාගෙන ගිය නාවුක කදවුර ඇමෙරිකා ගුවන් හමුදාව විසින් 1944 පෙබරවාරි 17 දා බෝම්බ දමා විනාශ කරන ලදී. ඇමෙරිකා හමුදාවේ 58 වැනි කාර්ය බලකාය මේ ප්‍රහාරය එල්ල කළේය.
එම ප්‍රහාරයට ඇමෙරිකාව පුපුරණ ද්‍රව්‍ය ටොන් 400ක් පමණ භාවිතා කළ බවත් පැය 36ක් පුරා බෝම්බ දැමූ බවත් යුද ඉතිහාසය සාක්ෂි දරයි. දින දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ මේ ප්‍රහාරය දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකාවට පැසිෆික් සාගරයේ බලය අල්ලා ගැනීමට ඉතා වැදගත් විය.
විනාශ වූ නාවික කදවුරේ සබ්මැරීන්, යුද ටැංකි, යුධ ට්‍රක් රථ, තුවක්කු, බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් වූ බව ද පැවසේ. මේ ප්‍රහාරයේ දී ජපන් සෙබළු 2,000ට වැඩි පිරිසක් මියගියහ.
පැසිෆික් සාගරයේ ඉතා අලංකාර අතිශය වර්ණවත් කොරල්පර වලින් එදා විනාශ වූ නාවුක කදවුර අද වැසී පවතී. චූක් කලපුවේ මුහුදුබත් වී ඇත් මේ යුද වාහන හා උපකරණ නිහඩව ප්‍රකාශ කරන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන හමුදා කදවුරක ස්වභාවයයි.
එම වාහන හා උපකරණ දැන් මුහුදු පත්ලේ අඩි 100ත් 80ත් අතර ගැඹුරින් රැදී පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග මේ සියල්ල අමතකව ගොසිනි. මේ කලපුවේ තැන තැන මුහුදු බත් වූ යුද උපකරණ ස්ථාන 40කින් හමුවන බව ඒවා ඡායාරූපයට නැගූ ඇමෙරිකන් ජාතික බ්‍රැන්ඩි මුලර් මහත්මිය පවසයි. බ්‍රැන්ඩි ඇමෙරිකාවේ කිමිදුම් උපදේශකවරියකි. තවමත් 32හැවිරිදි වියේ පසුවන ඇය පවසන්නේ මුහුදු පත්ලේ දී තමන් මේවා දැකීමෙන් මහත් සේ විශ්මයට පත්වූ බවයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ බ්‍රැන්ඩිගේ ඡායාරූප අනුව මෙය ලෝකයේ සංචාරකයන් වඩාත්ම ප්‍රියකරන ස්ථානය බවට පත්වනු ඇති බවයි. එය ලෝකයේ මුහුදුබත් වූ යුද නෂ්ඨාවශේෂ ඇති හොඳම ස්ථානය බවට විවාදයක් නැතැයි යන්න විචාරකයන්ගේ අදහසයි.
සතියක් පුරා දිනකට පස්වතාවක් දිය යට කිමිදෙමින් තමන් මේ ස්ථානයේ ඡායාරූප ගත් බව බ්‍රැන්ඩි පවසයි. විනාශ වූ යුද උපකරණ මුහුදු පත්ලේ තැන්පත්ව ඇති ආකාරය ස්වභාවික අලංකාරය මතුවන අයුරින් ඡායාරූප ගත කිරීමට තමන් ඒ සෑම අවස්ථාවක දී ම උත්සාහ ගත් බව ද ඇය කීයන්නීය.
ජපන් යුද තොරතුරු අනුව මේ චූක් කලපුවේ ගුවන්යානා 400ක් ජපාන යුද නැව් 50ක් ඇතුළු උපකරණ තොගයක් විනාශ වී ඇත.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ ......... " ජපනුන්ටත් අමතක වුණු දේ සොයාගත්තාට බ්‍රැන්ඩි මුලර් මැතිනියට ස්තුතියි! මේ ගැන අපට කිව්වට 'ලංකාදීපයට' පින්! (නි)
සෑහෙන වටිනා ලිපියක්.. ! (අ)
හරිම සුන්දරයි, මෙවන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඇය කළ කැපවීම අගය කළ යුතුයි. (බ)
ඔබට දීර්ඝායු වේවා!!!! (ම)
ලංකාදීප පත්තරේට පින් වැඩිපුර ලැබෙන්න ඕනෑ මේ වගේ දෙයක් පළකළාට. නැත්නම් ඉතින් අපි ළිං මැඩියෝ වගේ ජාතියක්නේ. අපි මේ වගේ දෙයක් හොයලා කියවන්නෙම නැහැනේ (නි)