බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 

ඉදිරි වසර පහක කාලය සඳහා ද චීනයේ ජනාධිපතිවරයා ලෙස ෂී ජින්පින්ග් තෝරා පත් කරගැනීමට එරට කොංග්‍රස් සමුළුවේදී අද (25) තීරණය විය. 
 
එම තීරණය ගනු ලැබුවේ ෂී ජින්පින්ගේ නම චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙන් දිනකට පසුවය. එම තීරණයත් සමඟ මාවෝ සේතුංගෙන් පසු චීනයේ බිහි වූ විශිෂ්ටතම හා බලවත්ම නායකයා ලෙස ද ෂී ජින්පින්ග් හඳුන්වා දී තිබිණි. 
 
ෂී ජින්පින්ග් ඉදිරි වසර පහ සඳහා චීනයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබුණත් එයින් පසු ජනාධිපතිධුරයට පත්වන්නේ කවුදැයි නම් කර නොමැති බව ද වාර්තා විය. ඒ අනුව ඔහු වසර පහකට වැඩි කාලයක් බලයේ සිටිනු ඇතැයි ද වාර්තා විය. මාවෝ සේතුං සහ දෙන් ෂියාවෝපින්ග්ට පසුව චීනයේ බිහි වූ විශිෂ්ටතම නායකයා, චින්තකයා හා නව යුගයක නිර්මාතෘවරයකු ලෙස නම් කරමින් ෂී ජින්පින්ග්ගේ නම කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කොංග්‍රස් තීරණය කරන ලදි. 
 
එය තවදුරටත් වත්මන් ජනාධිපතිවරයාගේ බලය තහවුරු කිරීමක් හා ශක්තිමත් කිරීමක් විය. ව්‍යවස්ථාවට නම ඇතුළත්වීමත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පින්ග්ට එල්ල වන ඕනෑම තර්ජනයක් කොමියුනිස්ට් පක්ෂ පාලනයට එල්ල වන තර්ජනයක් වශයෙන් සලකා කටයුතු කෙරෙනු ඇත. 
 
ඉදිරි වසර පහක කාලය සඳහා ෂී ජින්පින්ග් චීන ජනාධිපතිවරයා ලෙස නම් කරගැනීමට සමගාමීව එම කාලය සඳහා චීනයේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලය පත් කරගැනීම ද සිදුවිය. මෙම මණ්ඩලයේ චීනයේ බලවත්ම මණ්ඩලයයි. චීනයේ අගමැතිවරයා ලෙස ලී කෙකියෑන්ග් නැවත පත්වූ අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු හත් දෙනකුගෙන් යුතු කමිටුවේ ඉතිරි පස්දෙනා සම්බන්ධයෙන් වැඩි තොරතුරක් තවමත් මාධ්‍යයට අනාවරණය වී නැත. 
 
චීනයේ ප්‍රධාන පෙළේ තීන්දු තීරණ ගන්නා කමිටුවේ තනතුරු දැරූ පුද්ගලයන් පස් දෙනාම නියමිත නීති රීතිවලට අනුව වයස්ගත බැවින් විශ්‍රාම ගෙන ඇති අතර අලුතෙන් පත් වූ පස් දෙනා වයස 60 සීමාවට ආසන්න යැයි ද වාර්තා වේ. පක්ෂයේ මීළඟ කොංග්‍රස් සමුළුව 2022 දී පැවැත්වෙනු ඇතැයි තීරණය වී ඇත. 
 
ෂී ජින්පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලයට පත්වූයේ 2007 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 54ක් විය. ඉන් අනතුරුව 2012 වසරේදී හිටපු ජනාධිපති හූ ජින්තාඕගෙන් පසු හෙතෙම චීනයේ ජනාධිපතිවරයා ලෙස පත්විය. 
 
055