ඇමෙරිකාවේ ප්‍රාන්ත බොහොමයක, 1960 දශකයේ සිට ක්‍රියාත්මක වන, වසරකට දෙවතාවක් ඔරලෝසුවේ වේලාව වෙනස් කිරීමේ සම්ප්‍රදාය අවසන් කරමින්, ‘දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව’ ස්ථිර ලෙසම පවත්වාගෙන යෑම සඳහා වන පනත් කෙටුම්පත ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් සම්මත විය.

ඡන්ද 308-117 ක් ලෙස සම්මත වීමත් සමග පනත් කෙටුම්පත සෙනෙට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. පනත් කෙටුම්පත සම්මත වුවහොත්, නොවැම්බර් මාසයේ සිට ඔරලෝසු වේලාවන් නැවතත් සාමාන්‍ය සම්මත වේලාව වෙත හැරවීම සිදු නොකෙරෙන බව පැවැසෙයි.

එසේ වුවත්, අවශ්‍ය නම්, තව අභිමතය පරිදි, වසර පුරා පවතින මෙම වේලාව ක්‍රියාත්මක නොකර සිටීමට ප්‍රාන්ත රජයන්ට අවස්ථාව පවතින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නිසා මිනිසුන්ගේ නින්දට බාධා වන බවත්, සේවා ස්ථානවල සිදුවන අනතුරු ඉහළ යන බවත්, සහ මාර්ග අනතුරු වැඩි වීමට එය හේතු වන බවත් ඇතැමුන්ගේ මතය වී තිබේ.

වසර පුරා ඔරලෝසුවේ වේලාව පැයකින් ඉදිරියට තබා ගැනීමෙන් ශීත ඍතු මාසවලදී සවස් කාලයට වැඩි දිවා ආලෝකයක් ලැබෙන අතර, එය ආර්ථික කටයුතු ප්‍රබෝධමත් කිරීමට ද ඉවහල් වන බව මේ සම්බන්ධයෙන් සුබවාදීව අදහස් දක්වන බොහෝ දෙනෙක් පවසති.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වසරකට දෙවතාවක් වේලාව වෙනස් කිරීමේ ක්‍රමය නතර කරන ලෙස දිගින් දිගටම ඉල්ලා තිබූ අතර, ඔහු මෙම පියවරට දැඩි ලෙස සහයෝගය දක්වන ද පැවැසෙයි.

මෙම තීරණයට විරුද්ධ වන්නන් පවසන්නේ, මෙම වෙනස නිසා ශීත ඍතුවේ උදෑසන කාලයේදී හිරු උදාවීම පැයකින් ප්‍රමාද වන බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාසල් යන දරුවන්ට සහ රැකියා සඳහා යන ජනතාවට අලුයම අඳුර පවතින අවස්ථාවේදීම නිවෙස්වලින් පිටත්වීමට සිදුවනු ඇති බවය.