ළමා කාලයේ දී වෘකයකුගේ ප්‍රහාරයකින් දත් සහ මුඛය විරූපී වූ 65 හැවිරිදි පුද්ගලයකුගේ මුහුණේ පෙනුම සැකසීමේ ශල්‍යකර්මයක් සාර්ථක වූ බව චීනයේ වෛද්‍යවරු කියති. ඒ වසර 56ට පසු වීම විශේෂත්වයකි.

වයඹ දිග චීනයේ කඳුකර ගයිසු පළාතේ ඩේටෑන් ගමේ ජීවත් වූ 65 හැවිරිදි ෂියුං අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 දී ය. වෘකයා ඔහුගේ මුහුණ උලාකෑමෙන් විරූපී ස්වභාවයක් ලැබී ඇති අතර එදා පටන් දියරමය ආහාරවලින් පමණක් ජීවත් වීමට ඔහුට සිදුව තිබිණි.

මුහුණේ විරූපී බව හේතුවෙන් ඉන් පසු පාසල් යාම නතරකැර දැමූ ඔහුට විවාහ වීමට ද හැකිවූයේ නැත. රැකියාවක් ද නොලැබුණු ෂියුං හුදකලා ජීවිතයක් ගත කළේය.

මේ විකෘති ස්වභාවය යළි නිසි පරිදි සකස් කිරීමේ ශල්‍ය කර්මය කළ වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ මුඛය සැබැවින්ම නොමැති බවයි. එමෙන් ම හකු පවා විකෘත්ති වී ඇතැයි ඔවුහු කියති. මෙතෙක් චීනයේ මුහුණ හා හකු සම්බන්ධව කරන ලද වඩාත්ම අභියෝගාත්මක ශල්‍යකර්මය ලෙස සැළකෙන්නේ ද මේ ශල්‍ය කර්මයයි.

ශල්‍යකර්මයට විවිධ ක්ෂේත්‍ර නියෝජනයකරන වෛද්‍යවරු 20 දෙනකු පමණ සහභාගී වූහ. වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී චෙං පවසන්නේ රෝගියාගේ ඉහළ සහ පහළ තොල් මෙන් ම මාංශ පේෂි පවා යළි සකස් කැර ඇති බවයි.

මුහුණේ පෙනුම ලබා ගැනීමට අවශ්‍ය පටක ලබාගෙන ඇත්තේ ඔහුගේ පාදයෙනි. මූළික සැත්කම දැන් අවසන් කැර තිබේ. එසේ වුව ද ඔහුගේ දත් යළි නිසිපරිදි සකස් කිරීමට තවත් මාස හයකින් දෙවැනි ශල්‍යකර්මය සිදුකළ යුතුය.

wolf 4 - Copy

wolf 1

wolf 2

wolf 3