ගැබ් ගැනීම්වලින් වැළකී සිටීමට පවුල් සැළසුම් ක්‍ර‍ම භාවිතා කරන ලෙස බ්‍ර‍සීලයේ සෞඛ්‍ය අංශ එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙයට හේතුවී ඇත්තේ මදුරුවන් මගින් පැතිරෙන සිකා නමැති බැක්ටීරියාවකි. බැක්ටීරියාව පැතිරීම වැළැක්වීමට රජය මේ තීරණය ගෙන ඇත.

දරු ගැබක් දරා සිටින මවකට මේ වෛරසය ඇතුළු වීමෙන් නූපන් දරුවාගේ ස්නායු පද්ධතිය ආසාදනය වී මොළයේ වර්ධනය සීමා කරන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පෙන්වාදෙන්නේ මෙම වෛරසය අාසාධනය වූ මව්වරුන් බිහිකරන්නේ නිසි පරිදි වර්ධනය නොවූ කුඩා මොළයක් සහිත දරුවන් බවයි.

දරුවකු බිහිකිරීම සඳහා ගැබ් ගැනීම අතිශය පුද්ගලික කරුණක් වුව ද පවතින අවිනිශ්චිත තත්ත්වය සමග ගර්භනී වීම කල් දමා ගැනීමට පවුල් සැළසුම් ක්‍ර‍ම ක්‍රියාත්මක කරන්නැයි ළමා රෝග ආසාදන පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය ඇන්ජෙලෝ රොවා මහත්මිය පවසයි.

බ්‍ර‍සීලයේ ප්‍රාන්ත විස්සකින් දැනට මේ තත්ත්වයට ගොදුරු වූ දරුවන් 2400ක් වාර්තා වී ඇති අතර ඉන් 29 දෙනකු මියගොස් ඇතැයි ද රජය පෙන්වාදෙයි. සිකා නැමැති වෛරසය ආසාධනය වීමෙන් ඇතිවන රෝගය මයික්‍රොසෙෆලි යනුවෙන් හඳුන්වයි. පර්යේෂකයන් පවසන්නේ මයික්‍රොසෙෆලි තත්ත්වයට ගොදුරු වූ දරුවන් එරට ප්‍රාන්ත විස්සකින් ම වාර්තා වී ඇති බවයි. රෝගයට ගොදුරු වූ දරුවන් වැඩිම පිරිසක් වාර්තා වූ ප්‍රාන්ත නමයක දැන් හදිසි තත්ත්වයක් ද ප්‍ර‍කාශයට පත්කැර ඇත.

මේ වෛරසය සිරුරට ඇතුළු වූ පසු ගර්භණී මවුවරුන්ගේ හිස රදය, මද උණ සහ සිරුරේ තැන තැන පලු මතුවීම් දක්නට ලැබුණු බවත් එවැනි ගැබිණි මවුවරු බිහිකළ දරුවන් මේ රෝගයට ගොදුරු වී සිටි බවත් පර්යේෂකයෝ කියති. මේ තත්ත්වයට සිකා නමැති වෛරයසය සෘජුව ම බලපාන්නේ ද යන්න සෙවීමට දැනටමත් පර්යේෂන ආරම්භ කැර ඇත.

සිකා උණ මුල් වරට වාර්තා වන්නේ 1940 දී උගන්ඩාවෙනි. බ්‍ර‍සීලයේ මේ වෛරසය ඇති බවට තහවුරු කරගෙන ඇත්තේ 2015 දී ය. වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ පාපන්දු ලෝක කුසලානය පැවති අවස්ථාවේ දී මේ වෛරසය ආසාධිත පුද්ගලයන් පැසිෆික් කලාපයේ සහ ආසියානු රටවලින් එරටට පැමිණීම හේතුවෙන් වෛරසය රටට ඇතුළුවන්නට ඇති බවයි.